*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

Analysis: වුහාන් වෛරසය නැවතත් චීනයේ – ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මුනිවත රකින්නේ ඇයි?

2020 ජනවාරි 11 වැනිදා, එනම් හරියටම මෙයට අවුරුදු 2 කට පෙර කෝවිඩ් වසංගතය හිස එසවූ චීනයේ වුහාන් පළාතෙන් පළමු මරණය වාර්තා විය.ඒ මුල් කාලයේ එය හැඳින්වූයේ කොරෝනා වෛරසය ලෙස නොව ‘වුහාන් වෛරසය’ ලෙස ය. එම 61 හැවිරිදි පුද්ගලයා වසංගතයේ උප්පත්ති ස්ථානය වූ අපකීර්තිමත් වුහාන් ජීවී සතුන් වෙළදපොළේ නිරන්තර ගනුදෙනුකරුවෙකු විය. එදා බෙයිජිං පාලනය එම මරණයට හේතුව විස්තර කළේ ‘අබිරහස්, නියුමෝනියාව බඳු රෝගයක්’ හේතුවෙන් ඔහු මිය ගිය බවට ය. නමුත් මිනිසාගෙන් මිනිසාට රෝගය ‌සම්ප්‍රේෂණය වන බවට කිසිම සාධකයක් නැතැයි ද චීනය එදා කීවේය.

නමුත් ඒ වසර 2 කට පෙර තත්වයයි. අද වන විට රෝගය මිනිසුන්ගෙන් එකිනෙකාට සම්ප්‍රේෂණය වන බවට කිසිදු සැකයක් නැත. ගතවූ පැය 24 තුළ ඇමරිකාවෙන් පමණක් නව රෝගීන් මිලියන 1.3 ක් වාර්තා වී තිබේ. එය නව ගෝලීය වාර්තාවකි.

ගතවූ වසර 2 තුළ ලෝකයේ සිටි සමස්ත කෝවිඩ් රෝගීන් ගණන මිලියන 310 කි. මිය ගිය ගණන මිලියන 5.4 කි!

කෝවිඩ්වල ප්‍රභේද කීයක් තිබේදැයි තවම කිසිවෙකු නොදනිති. එම ප්‍රභේදවල නම් පවා මතක තබාගැනීමට අපහසු තත්වයක් උදා වී ඇත. නවතම ප්‍රභේදය වන ඔමික්‍රෝන්, ලැව් ගින්නක් මෙන් ලෝකයේ පැතිරී යයි.

එය චීනය වේගයෙන් ආක්‍රමණය කරමින් තිබේ. එය ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන ඔලිම්පික් ගම්මානය වෙත ද ළඟා වී ඇත. චීනයේ නගර 3 ක් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර දමා ඇත. අලුතින්ම ලොක්ඩවුන් කළ අන්යැන්ග් නගරයේ මිලියන 5.5 ක ජනතාවක් ජීවත් වෙති. ෂියාන් නගරයේ ලොක්ඩවුන් කර ඇති ජනගහනය මිලියන 13 කි. යූසූ නගරයේ ලොක්ඩවුන් කර ඇති ජනගහනය මිලියන 1.1 කි. ඒ අනුව දළ වශයෙන් මිලියන 20 ක චීන ජනතාවක් ලොක්ඩවුන් කර තිබේ.

ටියැන්ජින්, ෂැන්ග්ෂු සහ ෂෙන්සෙන් යන නගරවලින් ද තවමත් රෝගීන් වාර්තා වෙයි.

චීන ජනගහනය තුළ 104,000 ක ජනතාවක් මේ මොහොතේ ද පසුවන්නේ කෝවිඩ් පොසිටිව් තත්වයේ ය. ඒ අනුව ශීත ඔලිම්පික් උළෙල සංවිධානය කරන විට චීනය පම්පෝරි ගැසූ ‘සීරෝ කෝවිඩ් ප්‍රතිපත්තිය’ අහස් මාළිගාවක් බවට පත් වෙමින් තිබේ.

මේ සියලු කාරණා සලකා බලමින් චීන ඔලිම්පික් උළෙල අවලංගු කළ යුතුද?

මේ සියල්ල අතරවාරයේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බෙයිජිං හි ‘කොවිඩ් විරෝධී සැලසුම’ (‘anti-covid plan’) ශක්තිමත් එකක් සේ පෙනෙන බවයි!

කතාව ඇත්තද? ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් චීනය පවසන බස් විශ්වාස කළ යුතුද?

උදාහරණයක් ගනිමු. කෝවිඩ් රෝගීන් අතිබහුල ටියැන්ජින් පළාත පිහිටා තිබෙන්නේ බෙයිජිං අගනුවර සිට කි‌ලෝමීටර 134 ක් දුරිනි. එය චීනයේදී පැය භාගයක දුම්රිය ගමනකි. බෙයිජිං නුවර ලබන මාසයේ ශීත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹෙන්නට සියල්ල සූදානම් ය. තිබෙන්නේ සති 3 ක් පමණකි. ශීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන ස්ථානවලින් අති බහුතරය පිහිටා තිබෙන්නේ බෙයිජිං සහ පෙර කී ටියැන්ජින් පළාත අතර ය!

2021 දෙසැම්බර් මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්හනම්, නිවාඩුවේදී කෝවිඩ්වලින් පරිස්සම් වන ලෙස කීවේ කුමක්ද? මේ ඔහුගේ වචනයි.

”අපව ආරක්ෂා කර ගැනීම සඳහා අසීරු තීරණ ගත යුතුයි. උත්සවයක් අවලංගු කිරීම, ජීවිතයක් අවලංගු කිරීමට වඩා හොඳයි.”

එසේ කී ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා දැන් බෙයිජිං ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ගැන කතා කරන්නටවත් කැමති නැත.

නමුත් ඒ අතරම ‌ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෙසු කලාපවල ඔමික්‍රොන් ව්‍යාප්තිය ගැන අතිශයින් සැලකිලිමත් ය. උදාහරණයක් වශයෙන්, ලබන මාස 2 ඇතුළත යුරෝපියානුවන්නේ 50%ක් ඔමික්‍රෝන් පොසිටිව් වනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ. මේ සමගම ෆයිසර් වැනි ඖෂධ සමාගම්, ඔමික්‍රොන් සඳහා වෙනම එන්නතක් නිපදවීම ගැන සලකා බලමින් සිටියි. මාර්තු මාසය වන විට එය වෙළඳපොළට නිකුත් වනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ අලුතින් මතු වන ප්‍රභේදයන්ට කෝවිඩ් වෛරසය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ ද යන්නයි. උදාහරණයක් වශයෙන්, එන්නත් දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ, බූස්ටර් මාත්‍රාවද මෙයට මාසයකට පෙර ලබාගත් 68 හැවිරිදි මෙක්සිකානු ජනපති අන්ද්‍රියෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝර්, දැන් දෙවැනි වරටත් පොසිටිව් වී සිටියි. මේ කාරණය, එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරන්නන්ගේ ‘ඇන්ටි වැක්සින් හිස්ටීරියාව’ ඉදිරි දිනවලදී යහමින් පෝෂණය කරනු ඇත.

මෙක්සිකෝ ජනපති අද සහ එදා

දැන් නැවතත් චීනය වෙත හැරෙමු. චීනයේ වුහාන් වෛරසය, එසේත් නැතිනම් කොරෝනා වෛරසයේ සම්භවය ගැන හෙළිදරව් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වසර 2 කට පසුවත් සමත් වී නැත. ඒ සමගම ඔවුන් චීනයට පක්ෂපාතී බවට ඉතා දැඩි චෝදනාවක් නැගෙමින් තිබේ. එය තවදුරටත් තහවුරු වනු ඇත්තේ, ඔමික්‍රොන් වෛරසය චීනය තුළ ලැව් ගින්නක් සේ පැතිර යමින් තිබෙන අතරතුරත්, ඔවුන් තවමත් චීනයේ ‘සීරෝ කෝවිඩ් ප්‍රතිපත්තිය’ ගැන විශ්වාස කරන නිසා ය.

සාමාජික රාජ්‍යයන් 194 කින් සමන්විත ‌‌ලෝක සෞඛ්‍ය සංවිධානය ද්වී වාර්ෂික අයවැයක් මත දිව යන ලෝකයේ ප්‍රධානතම සුව සේවා සංවිධානයයි. එහි වාර්ෂික අයවැය ඇ.ඩො. බිලියන 4.8 ක් වන අතර, එයින් වැඩි කොටස ලැබෙනුයේ ස්වෙච්ඡා ආධාර මත ය. මේ අතර, 2014 වසරේ පටන් චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ස්වෙච්ඡා පදනම මත ලබාදෙන අරමුදල් ප්‍රමාණය 52%කින් වැඩි කර ඇත. එය තවමත්, ඇමරිකාව සහ බිල් මෙලින්ඩා ගේට්ස් පදනම යනාදිය මගින් ලබාදෙන අරමුදල් ප්‍රමාණයට වඩා කුඩා වුවත්, චීනය ක්‍රමයෙන් සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නා බව පෙනී යයි. 2019 වසරේදී එය ඇ.ඩො. මිලියන 10.2 ක් පරිත්‍යාග කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා චීන ජනපති හමුවූ අවස්ථාව

පෙනෙන හැටියට චීනය මිලියන 20 ක ජනතාවක් ලොක්ඩවුන් කර තිබෙන්නේ ජනතාව නොව ඔලිම්පික් උළෙල බේරාගැනීම සඳහා ය.

නමුත් ටෙඩ්‍රෝස් අද්හනම්ගේ වචනවලින්ම පවසන්නේ නම්, ”උත්සවයක් අවලංගු කිරීම, ජීවිතයක් අවලංගු කිරීමට වඩා යහපත්’ ය. එය එසේ නම් නත්තල් නිවාඩුව ගැන ඔහු කී කතාව, චීන ඔලිම්පික් උළෙලේට වලංගු වන්නේ නැත්දැයි ලෝකය දැන් අසමින් සිටියි.

RADIKA GUNARATNE – OUTBOUDTODAY

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan