වෘත්තියෙන් නළුවෙකු, කථිකාචාර්යවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ අතර වචනයේ පරිසමාප්තයෙන්ම ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවකු වූ කලා සූරි කලා කීර්ති ආචාර්ය ජයලත් මනෝරත්න ජිවන රඟ මඬලින් සමුගෙන ගොස් සිවු වසරක වර්ෂ පුර්ණය ඊයේ(12) දිනට දී තිබිණ. මේ කෙටි සඳහන ඒ වෙනුවෙනි.
1948 ජුනි 12 වන දින දෙහිපේ, නුවරඑළිය හි ගොවිතැන ජිවනෝපාය කරගත් දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාල පුත්‍රයා ලෙස උපත ලද කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිය. එම අවධියේ සිටම ගායනය හා වාදනයට යොමු වූ මනෝරත්න අනතුරුව පේරාදෙණි විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට විය. පේරාදෙණිය ඔහුගේ සකල කලවන්ටම තෝතැන්නක් විය.
මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන් මුල්ගල තැබූ ලාංකීය නාට්‍ය සම්ප්‍රදාය තුළ ජන රංජය තොර බේරාගත් මනෝරත්න “ප්‍රේමතෝ ජායතී සෝකෝ” නාට්‍ය හරහා සිය වෘත්තීයමය රංගන ජීවිතය ඇරඹීය. එතැන් පටන් වෙස්සන්තර, කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා වාගේ ආදී නාට්‍ය රැසකට සම්බන්ධ වීමට ඔහුට හැකි වූ අතර සරච්චන්ද්‍රයන්ට අමතරව සුගතපාලද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති මෙන්ම හෙන්රි ජයසේන යන විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නිර්මාණයන්ට දායක වීමට පුණ්‍යවන්ත වුවා මෙන්ම සරච්චන්ද්‍රගේ සිට ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය සිරිමා කිරිබමුණේ, මහාචාර්ය ජේ.බී.දිසානයෙක, කේ.එන්.ඔි.ධර්මදාස ආදි චිර ප්‍රකට මහැදුරන් ගේ ආභාෂයෙන් ලද ශාස්ත්‍රීය ඥානය ස්වකීය ජීවිතය පෝෂණය කර ගැනීමට සමත්විය.
දස වසරක රාජ්‍ය ජිවිතයට සමුදී රංගනය තෝරාගත් මනෝරත්නයන් කුසලතා සම්පන්න රංගධරයෙකු ලෙස නාට්‍ය 64ක් පුරා ඔහු විසින් මවන ලද විශිෂ්ට භූමිකා වේදිකා නාට්,ය ටෙලි නාට්,ය සිනමාව ආදී සෑම පරාසයකම දක්නට ලැබෙයි. ‘ගම්පෙරලියේ’ ජිනදාසගේ චරිතය, ‘ගුරු තරුව’ නාට්‍යයේ සාහිත්‍ය ගුරුතුමා, ‘සඳ අමාවකයි’ නාට්‍යයේ පීටර් අයියාගේ චරිතය, ‘සකිසඳ එළියස්’ නාට්‍යයේ අප්පුහාමිගේ චරිතය, ‘බෝඩිම’ නාට්‍යයේ ජයලත්ගේ චරිතය මේ සඳහා කදිම නිදසුන් වේ.
මනෝරත්න අවස්ථාවන් ගණනාවකදී රාජ්‍ය සම්මානයට පත්‍ර වූ අතර 1974 රතු හැට්ටකාරි හොඳම නළුවා
1985 පුත‍්‍ර සමාගම හොඳම නළුවා
1988 තලමල පිපිලා හොඳම නළුවා
1988 තලමල පිපිලා හොඳම අධ්‍යක්ෂවරයා
1988 තලමල පිපිලා හොඳම පිටපත
1990 සොක‍්‍රටීස් හොඳම නළුවා
1991 ද්විත්ව හොඳම නළුවා
1993 අන්දරේලා හොඳම පිටපත
1995 අන්දරේලා හොඳම නාට්‍යය
1996 ගුරු තරුව හොඳම පිටපත
1980 වසරේදී ‘මහගිරිදඹ’ නාට්‍ය නිර්මාණය කරමින් නාට්‍ය අධ්‍යක්ෂණයට අත්පොත් තබන මනෝරත්න 1985 වසරේ සියලු මනුෂ්‍යයෝ සහෝදරයෝය යන තේමාව පාදක කරගෙන පුත්‍ර සමගම නමින් සිය ප්‍රථම පරිවර්තන නාට්‍ය ජනගත කරන ලදී. ඉන් අනතුරුව ‘තල මල පිපිලා’ මගින් වැඩවසම් ක්‍රමය බිඳ වැටීමේ සිට නුතන ධනේශ්වරයේ නැගීම විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට මනෝරත්න සමත් වූ අතර, ‘අන්දරේලා’, ‘ගුරු තරුව’, ‘ලෝකය තනි යායක්’, ‘හඬ නිහඞ’ යන නාට්‍ය ඔහු විසින් නිර්මාණය කර සම්මානයන්ට පාත්‍ර වූ තවත් ඒවා විය. ඔහු විසින් සංස්කරණය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව විස්සකට අධිකය. ඔහුගේ විශේෂත්වය වන්නේ රංගනය පිළිබඳ කියැවීමක් ,හැදෑරීමක් සහිතව මනා අවබෝධයකින් එහි නිරතවීමයි.
රංගනයට අමතරව මනෝරත්න කුසලතාසම්පන්න කවියෙකුද විය. හෙතෙම 80 දශකයේ සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ එක්ව ‘දොලොස්මහේ පහන’ කාව්‍ය සංග්‍රහය මඟින් සිය කාව්‍ය රසිකයන් අතරට ගෙන යන ලද අතර අනතුරුව බුද්ධදාස ගලප්පත්ති සමඟ එක්ව ළමුන් වෙනුවෙන් ‘සිංදු බිංදු’ හා ‘ගල්වඩු රාළ’ ආදී නිර්මාණයන්ද ‘දවස තවම තරුණයි,’ ‘මිනිහට නින්ද යන්න ඇති’ ආදී කෙටිකතා සම කතෘත්වයෙන් සම්පාදනය කර එලි දක්වන ලදී.
මනෝරත්නයන් සිය ශාස්ත්‍රීය හැදෑරීම තුළ ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970-2000’ ලෙස කරන ලද පර්යේෂණ නිබන්ධය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මඟින් සාහිත්‍ය සූරී සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන ලදි. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් දර්ශන සූරී ආචාර්ය උපාධියක්ද ඔහු වෙත පිරිනමා තිබේ. ඒ් අනුව ආචාර්ය උපාධි දෙකකින් පිදුම්ලද එකම රංගනවේදියා වන්නටද පුණ්‍ය වන්ත විය.
අවසාන වශයෙන් සිනමාවේ හා වේදිකාවේ දැවැන්තයෙකු වූ මනෝරත්නයන් යනු ලාංකීය කලා කේත තුළ පුද සත්කාරයට පාත්‍ර කළ යුතු මහා නිර්මානවේදියෙක්, උත්සාහයෙන් පැනසර දිනු මහා වියතෙක්, මෙන්ම සරල බවේ චමත්කාරය විශාල කළ ගරු කටයුතු මිනිසෙකු වේ. හෙතෙම ඔහු කාය දේහයෙන් නික්මුනද ඔහුගේ සදානන්දනිය මතකය කිකලකවත් අප අතරෙන් නික්ම නොයනු ඇත.
සශිකලා මධුෂාණි
