සටහන – රුවන් නෙළුගොල්ල
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ නිවාසවල හානිය කුඩා වුවත් ඔවුන්ට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත් එහි අරමුණ වන්නේ ජන ජීවිතය තිබුණාටත් වඩා යහපත් මට්ටමකට ගෙන ඒම බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මහව ප්‍රාදේශීය ලේකම් – හානියට පත්වුණු පුද්ගලයා හිටියාට වැඩි තත්වයකට ගේන්න ඕනෙ කියන සංකල්පයේ ඉඳන් බැලුවාම නිරීක්ෂණය වෙනවා එවැනි පවුල් බහුතරයක් තියෙන අතරේම එවැනි නොවන පවුල් විශාල ප්‍රමාණයකුත් තියෙනවා. උළු කැටයක් කැඩීම, තහඩුවක් යෑම වැනි කාරණාවලට වෙනම වර්ගීකරණයක් තිබුණොත් හොඳයි
ඇමති විජේපාල – ඔබතුමන්ලා තමා පූර්ණ හානි කොච්චරද, අර්ධ හානි කොච්චරද කියලා, 120,000ක් අර්ධ හානි ගණන් බැලීම ඔබතුමන්ලාගෙ වාර්තා අනුව තමා හැදුවෙ. එතකොට ප්‍රශ්නය ඔබතුමන්ලාට තියෙන්නෙ ඇයි උළු කැටයක් දෙකක් කැඩුනාම ලක්ෂ 5ක් දෙන්නෙ කියන එකනෙ. ?
ප්‍රා. ලේ. – ප්‍රශ්නය තියෙන්නෙ ගෙවීම් සම්බන්ධයෙන්. මේකෙදී මගේ කොට්ඨාසයේ අර්ධ හානි 143ක් තියෙනවා. මම ගියා ගෙවල් 48ක් විතර බලන්න. මේ 143න් 96ක්ම ලක්ෂයට අඩු ආපදාවක් තියෙන්නෙ. මේ චක්‍රලේඛය ලංකාවට බලපාන්න ගහපු චක්‍රලේඛයක් නිසා. නායයෑම් පදනම් කරගෙන තමයි මේ චක්‍රලේඛය …
ඇමති – නෑ, එහෙම නෑ. මම ඔය චක්‍රලේඛය හදන සාකච්ඡාවෙත් දිගින් දිගටම හිටියා. ඒකෙ අරමුණ වුණේ ඔබතුමන්ලා කියන හානිපූර්ණය නෙවෙයි. හානිපූර්ණයට එහා ගිහිල්ලා ඊට වඩා හොඳ නිවසක් හදාගන්න පුළුවන්ද කියන අරමුණ තමයි තිබෙන්නෙ. ඒකනෙ ලක්ෂයක් හානි වුණත් ලක්ෂ 5ක් හම්බවෙන්නෙ. මේක ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒක තමයි චක්‍රලේඛයට නඟලා තියෙන්නෙ
ප්‍රා. ලේ. – කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් සියලු දෙනාම මේ සමීක්ෂණය කළා. අපි දැක්කේ, අර තක්සේරු නොකර ලක්ෂය සීමාවේ හිටියා නම් එතනින් එහාට අපිට ….
ඇමති – නෑ, ඒ චක්‍රලේඛයෙන් රජයේ ප්‍රතිපත්තිය අනුව තීන්දු කරලා තියෙනවා ලක්ෂ 5ක් දෙන්න. ලක්ෂයේ සීමාවේ හිටියා නම් ආණ්ඩුවටත් වාසියි, රජයට මුදල් ඉතිරි වෙනවා. ඒක නෙවෙයිනෙ තීන්දු කළේ. සමාජයේ ජන ජීවිතය ගොඩක් ඉහළ ගේන්න ඕනෙ කියන අරමුණින් තමා ජනාධිපතිතුමාත් පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේදීත් කිව්වේ. පොල් අතු ගේක හානිය පූර්ණ හානියක් කියලා කියමුකො, ලක්ෂ 10ක් විතර ඒ ගෙදර වටිනවා ඇති. අපි ඒ ලක්ෂ 10 නෙවෙයි ලක්ෂ 50 ම දෙනවානෙ. රුපියල් 25000ක හානියක් වුණාම එයාට ලක්ෂ 5ක් දෙන එක කොතරම් දුරට රජයේ මුදල් භාවිතය පිළිබඳ ගැටලුවක්ද කියලානෙ හිතෙන්න ඇත්තෙ. නමුත් ඉතින් බහුතරය ඉන්නෙ ආපදාවට පත්වුණු අය. අපේ අරමුණ වුණේ දැන් 120000ක් දීර්ඝ කාලයක් තක්සේරු කර කර ලොකු කාලයක් යනවද, එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න්ගෙන් මේකෙන් 90% ක් විතර ලක්ෂ 5 ට යටත්ව අවසන් කරමුද කියන එක. ඒ අරමුණ ඇතිව තමා සංඛ්‍යාලේඛන හදාගත්තේ ඔබතුමන්ලාගෙ ලේඛන අනුව. එහෙම නැතිව ඔය 120000 තක්සේරු කරන්න ගියොත් ටෙක්නිකල් ඔෆිසර්ලාගෙ හිඟයක් තියෙනවා. ඒ හින්දා අපි තීරණයකට ආවා ලක්ෂ 5 ට අඩුයි කියලා හිතනවා නම් ලක්ෂ 5 දෙන්න. ඊට වඩා වැඩියි කියලා හිතනවා නම් ඒ අයට අපි තක්සේරුවක් කරලා ලක්ෂ 25 දක්වා දෙමු කියලා
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


