ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළඳාම තහනම් කිරීමට ගත් තීරණය කිසිසේත් ආපසු හරවන්නේ නැති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.
“පසුගිය සමයේ නගර සභා පාලනය විවිධ දේශපාලන පක්ෂ මගින් සිදු කරනු ලැබුවා. ඒ කිසිම අවස්ථාවක නගරයේ පදික වෙළෙඳාම ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. ඇතැම් විට නගර සභාවට සම්බන්ධ අය පවා ඒ සඳහා සහයෝගය ලබා දී තිබුණේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම සඳහායි. මේ හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාවට වෙන අපහසුතාව සැලකිල්ලට ගත්තේ නැහැ. මහනුවර කියන්නේ ලෝක උරුම සංචාරක නගරයක්. වගේම පූජනීය නගරයක්. විශාල වශයෙන් දෙස් විදෙස් ජනතාව නගරයට එනවා. මේ අයට නිදහසේ නගරයේ සැරිසරන්න අවස්ථාව නගර සභාව ලෙස සකස්කර දීම අපේ වගකීමක්. ඇතැම් පදික වෙළෙදුන්ගෙ නොමනා හැසිරීම් සම්බන්ධයෙන්ද අපිට පැමිණිලි ආවා.
අපි මේක එක පාරටම ගත්ත තීරණයක් නෙවෙයි. මාස හයකට පෙර තමයි මේ අයට අපි කිව්වේ ඉවත් වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් නගරයේ වගේම නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රශංසාව නගර සභාවට හිමිව තිබෙනවා. මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත සභා තීන්දුවක් මත තමයි මේ ඉවත් කිරීම කළේ. මේක දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. දිනෙන් දින පදික වෙළෙඳුන් වැඩි වුණා. මේ අයට නැවත වීදියේ වෙළදාම් කරන්න ඉඩ දෙන්න කියලා විවිධ ඉල්ලීම් එනවා. එහෙත් ගත්ත තීරණය අපි කිසිසේත්ම ආපසු හරවන්නේ නැහැ.
වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ වෙළෙඳාම් කළේ කවුද කියලා අපි දන්නවා. මේ අයට අසාධාරණයක් කරන්නේ නැහැ. ඔවුන්ට සුදුසු ස්ථානයක් දෙනවා. දැනටමත් එම ස්ථාන අපි නම් කර තියෙනවා. පදික වෙළෙඳාම් කරන සමහරුන්ට මහනුවර නගරයේ වෙළෙඳසැල් පවා තිබෙනවා. ඒවා කුලියට දීලා තමයි මේ අය පදික වෙළඳාමේ නිරතව සිටින්නේ. මේ අයත් ජීවත් වෙන්න ඕනේ කියන අදහස අපි බැහැර කරන්නේ නැහැ. නව ස්ථාන ලබාදීමේදී ඉල්ලුම් කරන හැමෝටම දෙන්න පුළුවන්කමක් නැහැ. පදික වේදිකාවේ වසර ගණනාවක් වෙළෙඳාම් කළ අයට තමයි අපි ස්ථාන ලබා දෙන්නේ. මේ ලබාදෙන ස්ථාන වල වෙළෙඳාම් කිරීමෙන් කිසිසේත්ම ජනතාවට අවහිරයක් වෙන්නේ නැහැ. අද මහනුවර නගරයේ ජනතාවට ඕනෑම තැනක නිදහසේ යන්න එන්න හැකියාව තිබෙනවා”
චන්ද්‍රසිරි විජේනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මහනුවර මහ නගරසභාවේ මාසික මහසභා රැස්වීමේදී ය.


