පොලිස් නිලධාරියෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි: හිටපු ඇමතිවරයෙකුගේ නඩුවක් සම්භන්ධව බවට තොරතුරු

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW :

හිටපු ඇමති විමල් වීරවංශ මහතා ඇතුලු‍ විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක විමර්ශන සිදුකළ කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (19) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.

ඒ, 2016 වසරේ කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට අදාළවයි.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අතර, නඩුව කැඳවූ අවස්ථාවේ කුරුඳුවත්ත පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණ බව පැවසේ.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරි දින සාක්ෂියට කැඳවන්නේ කවුරුන්දැ කුරුඳුවත්ත පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු මස 09 වනදා පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.