*
Monday, January 20, 2025
spot_img

Latest Posts

මහා හිස්කමක් දැනේ

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 20 ,(LNW)කොළඹ :

විටෙක හැඟෙන්නේ ඔහු ජීවත්ව සිටියදීම හිස් තැනක් නිර්මාණය කළ බවය.ඒ යම් යම් භාවිතාවන් සම්බන්ධයෙන් වික්ටර් අයිවන් ලෙස ඔහු ගොඬ නඟාගෙන සිටි අනන්‍යතාවය බිඳ දමා ගත් නිසාය.


එහෙත් තව කාලයකට ඔහු තරම් නිර්භීතව වැඩ කළ හැකි පත්තරකාරයෙක් හමුනොවනු ඇත.සර්වබලධාරීන් සේ සිටි දේශපාලකයන් මෙන්ම නීතියේ ඉහළ විනිසුරුවන් දක්වා යුක්තිය,සාධාරණය වෙනුවෙන් ප්‍රශ්න කරන්නට ඔහුට තිබුණු හැකියාවද,සිය කතෘ මණ්ඩල සාමාජිකයන්ට ඒ වෙනුවෙන් කරන ලඳ මඟ පෙන්වීම ද අනුව,වික්ටර් අයිවන් සමඟ විරෝධයක් ඇති අයෙකුට වුව,මේ මොහොතේ විකටර් අයිවන් ලාංකේය නිදහස් පත්තරකාරයෙකුට හැර යා නොහැකි දුරක් ගිය පරමාදර්ශී චරිතයක් බව නොකියා සිටීමට නොහැකිය.


රාවයේ අකුරක් හෝ ඔහුගේ කතෘත්වය යටතේ ලියා ඇති අයෙකුට ඔහු වික්ටර් අයිවන් වන්නේ නැත.ඔහු අතුල අයියා ය.එහි කතුවරයාගේ කාමරයේ ඉඩ වැඩි වීම හැර කුමාර ලීලාවක් නොතිබිණ.නිතර එහි වූ අළු බදුණෙන් දුම් නැඟෙමින් තිබිණ.එසේම අතෙහි ද දුම් නැඟෙන සිගරට්ටුවක් සහිත විය.එහි වූයේ නිරන්තර ලියන්නෙකි.ඒ අකුරු පැහැදිළි නොවුණ ද,පත්තරයේ සටහන් වන රටට පැහැදිළි සහ මඟ පෙන්වන ප්‍රකාශ විය.ඒවා නිවැරදිව ටක්කෙටම යතුරු ලියනය වූයේ ධම්මිකා සහෝදරියගේ අතින්ය.මේ මෑතකදීත් ජනක ඉණිමංකඩ සමඟ ධම්මිකාගේ ඇති වටිනාකම මම පැවසුවේ අතුල අයියාගේ අකුරු නොවැරදී සමාජය මත හෙලන කුළු පහර බවට පත් කරන්නට ධම්මිකා දැක් වූ දායකත්වය මෙනෙහි කරමින්ය.


රාවය බොහෝ දැවන්තයින් නිර්මාණය කළ පත්තර කන්තෝරුවක් විය.ප්‍රමාණාත්මකව ඉතා කුඩා ඉඩක් ගත් පත්තර කන්තෝරුවක් වුව ත්,එයින් විශාල සටන්කාමී ලේඛකයන් නිර්මාණය කළේය.මිනිසුන් වෙනුවෙන් ලියන්නන් සහ සමාජ අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නන් එහි හිඟ නොවීය.ඒ සටන්වලින් ඇවිලුනු පිටුවක ඉඩක නමක් විය හැකි කෙනෙකුවීම ආඩම්බරයට කරුණක්ය. අදට ද රාවයේ සිටිය බව කී විට වෙනස් විදිහක ගෞරවයක් සහිතව වික්ටර් අයිවන් යන මාතෘකාව ගැන වචනයක් හෝ කතා කරන මිනිසුන් හිඟ නැත.


රාවයට වැරදි කරන පිරිස් බය විය.එහි ප්‍රබේද නොවිණ.කුඩාම තැන සිට ඉහළට යන තෙක්ම සමාජ සාධාරණය වෙනුවෙන් මිනිස්සු අපේක්ෂා කළ සටන්කරුවා රාවය බවට පත් විය.මේ රටේ පුරවැසියාට නීතියේ ආධිපත්‍යය යටතේ හිමි වි යුතු තැන වෙනුවෙන් සහ එම නීතියට පිටින් යන අග විනිසුරුට හෝ නොනැමිය හැකි කොන්දක් රාවයට සවි කළේ වික්ටර් අයිවන්ය.


ක්‍රීඩා ලේඛකයෙකු වූ මට මේක දිගටම කරන්න කියා කිසිවිටෙක ඔහු යෝජනා නොකළේය.හැබැයි යම් සටන්කාමී ප්‍රවේශයක් ගත යුත්තේ මට ප්‍රිය නොකරන නිසා පමණක් නොවන බවත්,එම ලියන වචනවලට අනාගතයේ යම් වගකීමක් තිබෙන බව සහතික කළ යුතු බවත්,රාවයේ ස්වභාවය විසින් අවබෝධ කර දී තිබිණ.එය මගේ මාධ්‍ය ජීවිතයට රාවයෙන් ද,රාවයට අතුල අයියාගේ පත්තරකාර ජීවීතයෙන් ද වැටුණු ආලෝක කදම්භ සේ මට හැඟෙන්නේය.


ඒ ඇතැම් සටන් ඔලිම්පික් දක්වා ගිය මේ රටේ ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඉවතට යන්නට බියෙන් සසැලෙමින් සිටියදී නැවත ක්‍රීඩාවේ ස්ථාවර කර සිටුවීමට හැකි ඒවා විය.තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගෙනවිත් ක්‍රීඩාව වෙනුවෙන් ජීවත් කරවීමට රැකියා සොයා දීමේ සිට ඇතැම් විට නවාතැන් දීම දක්වා මා පොළඹවා ලූයේ දක්ෂයන් අතහැර නොදමා රට වෙනුවෙන් රැක ගැනීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් රාවය ඇඟිල්ලෙන් ඇන නොකීවද,චර්යාව මත ඇති කරන ලද බලපෑමක් නිසාවෙන්ය.


ඒ අතුල අයියාගේ තිබුණු සටන අත නොහැර ජය ගැනීම තෙක් කරන කැපවීම්වල පලයන් සේ ලැබුණු දේ විය යුතුය.රජුන් තැනීමට පාර පෙන්නූ පත්තරය ලෙස බොහෝ අය රාවය හඳුන්වන්නේය.එහෙත් රාවය ට පාරක් තිබිණ.ඒ පාරෙන් පිටට පැන්න විට රාවය සිටිය පාරේම සිටින බැවින් රජුන්ගේ ප්‍රබලතම විරෝධය වන්නේය.ඇතැම් විටෙක රජවරුන්ට පාවාඩ වූයේ ඉතාම කුඩා දැරියන්ගේ කතාය.බලයට පැමිණි පසු ඒ දැරියන් නොතකා හැර බලයේ වැජඹීම ගැන නායකත්වය ගැන තිබුණු හැඟීම සහ මුල් මැදිහත්වීම පදනම් කරගෙන, ඇයගේ ජීවිතය යහපත් තැනකින් අවසන් කිරීම කෙරෙහි රාවයම මැදිහත්වීම මෙන්ම එම වගකීම් රාවයේ ඇතැම් චරිතවල ජීවිත වගකීම් වීම මම අත්විඳ ඇත්තේ ඊට යම් ආකාරයේ සහය මගෙන් ද ලබා ගත් නිසාය.


රාවය බොහෝ පත්තර මෙන් වූ පත්තරයක් නොවේය.ඊට තිබුණු වගකීම මිනිස්සු කෙරෙහි සහ සමාජය කෙරෙහි දැඩිව බලපෑවේය.අතුල අයියා මියගිය මොහොත වන විට මා සිටියේ පීප්ලි සිනමා පටය නරඹමින්ය.එහි වූ විද්‍යුත් මාධ්‍ය භාවිතය සම්බන්ධ අශිෂ්ඨ පිළිවෙත සහ එහි විසුළුකාරී මාධ්‍ය භාවිතාවන් අතර සිටි එකම පත්තරකාර චරිතය ලෙස දුටු රාකේෂගේ චරිතයේ සමාජය කෙරෙහි වූ සංවේදීකම අතුල අයියා ද,රාවය ද යළි යළිත් සිහියට නැඟුවේය.


එහෙත් රාකේෂ් එම සංවේදීකම විසින්ම මරණය කරා රැඟෙන යන අතර විද්‍යුත් මාධ්‍යය රාකේෂ්ගේ ඔත්තුවක් අනුව විකුණමින් සිටි මිනිය මතම තබා සිය බිස්නස් එක අහවර කර,ලාභ ගෙන පිටව යනු විනා මියගියේ රාකේෂ් ද යැයිවත් සොයන්නට නොවෙහෙසෙන්නේය.ප්‍රසිද්ධියේ මා නොකීව ද,චිත්‍රපටය අවසානයේ ඒ අදහස මා සරත් ධර්මසිරි සහෝදරයාට ද පැවසුවෙමි.එසේ ප්‍රසිද්ධියේ නොඇසීමට එක හේතුවක් වූයේ අතුල අයියාගේ මරණය විසින් හිතේ ඇති කර තිබූ රිදීමය.


දිනෙක කවුරුත් කතා නොකරන මරණයක් ලෙස රාකේෂ ලෙස මිය ගියද කවුරුත් කතා නොකළ මිනිසුන් ගැන අතුල අයියා සමාජය මත ඇති කළ සංවේදී මැදිහත්වීම නිසා සමාජය වඩා හොඳ තැනෙක තිබුණොත් ඒ ප්‍රමාණවත්ය.එහෙත් එය දුෂ්කරය.සමහර විට තමන් ද ඊට එරෙහි ක්‍රියාදාමයක් විය හැකිය.ලෝකය එන්න එන්නම අවලස්සන වන බව දැණුන ද,අතුල අයියා රාවය හරහා ලෝකය ලස්සන තැනක් කළ හැකි බව සහ හිනාව සඟවා ගත් මිනිසුන් සිනා ගැන්විය හැකි බවට ඇති කළ අවිඥාණික පෙළඹවීම මත හැමදාමත් මාධ්‍යකරුවෙක් ලෙස වැඩ කරන්නට ඇති පිපාසය සමඟ ජීවත්විම ආස්වාදයකි.
එහෙත් වියපත්ව දුර්වලව යන්නේ කයම පමණක්ම නොවන බව ඇතැම් විටෙක අතුල අයියාම කියා දුන්නේය.ඒ නිසා මං මගේ දුවට යෝජනා කර සිටියේ ඇය දන්න මං වෙනස් වන තැනකදී අතපය හකුළුවා බැඳ තබන ලෙසය.කිසිම සුන්දර දෙයකට අසුන්දර එකතුවීම් සිඳු නොවිය යුතුය.මම දුටු සුන්දරම පත්තරකාරයාගේ නික්ම යාමට සුබ පතන්නේ ඒ අසුන්දරත්වය විසින් තැවරූ දූවිල්ල පිස දමා ය.ඔහු සම්පූර්ණ දැවන්ත මිනිසෙක් ලෙස සිපගන්නට, ඒ සුළු දේ අත හැරිය මොහොතේ දී හැකිවන අන්දමේ සුවිශාල ඉතිහාසයක් ඉතුරු කර ඇත.
අතුල අයියෙ සුබ පැතුම්!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan