*
Tuesday, January 21, 2025
spot_img

Latest Posts

යල්පැන ගිය ආර්ථික කළමනාකරණය. එය, නූතන සැපයුම් සංකල්පයන් මත ප්‍රතිව්‍යුහගත කරමු.

පළමු මොඩලයන් දෙක තුළ විදේශීය අංශය ජාතික ආදායමේ කොටසක් ලෙස සැලකුව ද, මෙම මොඩලය තුළ එය ආර්ථික සමතුලිතය කෙරෙහි බලපාන වෙනම අංශයක් ලෙස සැලකෙයි.


එබැවින්, ආර්ථික සමතුලිතය සඳහා ජාතික ආදායම, මුදල් සහ විදේශීය අංශයන් එකවර සමතුලිත විය යුතුය. මෙහි දී, එම අංශ තුනම සමතුලිත වන ජාතික ආදායම සහ පොලී අනුපාතය විග්‍රහ කෙරේ. මෙහි ආර්ථික කළමනාකරණ ඉලක්කයන් ද පළමු මොඩලයට සමාන වෙයි. එහෙත්, ඒවා මොඩලය තුළින්ම නිර්මාණය වී ඇත.

  1. ජාතික ආදායම, මුදල් වෙළෙඳපොළ සහ ශ්‍රම වෙළෙඳපොළ සමතුලිතය

මෙහි දී, ඉහත දැක්වූ දෙවැනි ආර්ථික සමතුලිතයට ශ්‍රම වෙළෙඳපොළ සමතුලිතය එක් කොට ඇත. ශ්‍රම සමතුලිතය යනු ස්වභාවික මට්ටමේ සේවා වියුක්තියක් පවතින අවස්ථාව යි. එනම්, ශ්‍රම බලකායට අයත් පුද්ගලයන් රැකියා අතර මාරු වීමේ දී මුහුණ දෙන කාල පමාව තුළින් හට ගන්නා සේවා වියුක්තිය යි.
මෙය, ආර්ථික සමතුලිතය කොතරම් දුරට මහජනයා වෙතට ව්‍යාප්ත වී ඇත් ද? යන්න විග්‍රහය මොඩලයට එක් කිරීමකි. එනම්, ආර්ථිකය කොතරම් දුරට ශ්‍රම බලකාය සේවා නියුක්ත කොට, ජීවන මට්ටම ඉහළ දැමීමට උපකාරී වී ඇත් ද? යන්න මොඩලයෙන්ම හඳුනා ගැනීම යි.
මෙහි දී, ශ්‍රම බලකාය ලෙස සැලකෙන්නේ, වැටුපට ශ්‍රමය අළෙවි කරන පුද්ගලයන් පමණක් නොව, සියළුම නිෂ්පාදන සාධක හිමි පුද්ගලයන් ය. විරැකියාව ඉහළ රටක කොතරම් හොඳ ආර්ථික සමතුලිතයක් පැවතිය ද, එය තිරසාර සමතුලිතයක් නොවේ. ඊට හේතුව, සේවා වියුක්තිය සහ දරිද්‍රතාවය තුළින් මහජන උද්ගෝෂණ සහ දේශපාලනික අස්ථායිතාවයන් හට ගැනීමේ අවදානම් ය. එබැවින්, ශ්‍රම බලකාය සහ ශ්‍රම වෙළෙඳපොළ සමතුලිතය ද ආර්ථික සමතුලිතයෙහි කොටසක් ලෙස මෙම මොඩලයෙන් ඉදිරිපත් කෙරේ.
මෙම විග්‍රහයේ දී, ජාතික ආදායම, මුදල් වෙළෙඳපොළ සහ ශ්‍රම වෙළෙඳපොළ යන අංශ තුනේම සමතුලිතය එකවර පවතින පොලී අනුපාතය සහ ජාතික ආදායම සලකා බැලේ. මෙහි දී, සේවා වියුක්තිය සහ වැටුප් ද අතිරේක ආර්ථික කළමනාකරණ ඉලක්කයන් ලෙස භාවිතා කෙරේ.
මෙම මොඩලය සාමාන්‍යයෙන් සංවර්ධිත රටවල ප්‍රචලිත ලෙස භාවිතා කෙරේ. ඊට හේතුව, එම රටවල ධනවාදී ආර්ථික සංකල්පයන් බොහෝ විට සේවා නියුක්තිය සහ ජීවන මට්ටම සඳහා සැපයුම් අංශය කෙරෙහි යොමු වීම යි.
එහෙත්, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තමන් අනුගමනය කරන ආර්ථික සමතුලිත මෝඩය පිළිබඳ ව නිසි ප්‍රකාශනයන් නොකොට, කවලම් මොඩල ප්‍රතිපත්ති මෙවලම් සහ ඉලක්කයන් අනුගමනය කරන බව පැහැදිළි ය.
ආර්ථික කළමනාකරණ මෙවලම් සහ ඉලක්ක මිථ්‍යාව

ඉහත දැක්වූ ආර්ථික සමතුලිතයන් පවත්වා ගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාවේ ඉදිරිපත් කෙරෙන රාජ්‍ය මැදිහත්වීම් පුළුල් ලෙස රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යටතේ දැක්වෙයි. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය යටතේ ප්‍රධාන මෙවලම් ලෙස බදු, වියදම්, අයවැය හිඟය හෝ අතිරික්තය සහ ණය දැක්වෙයි.

මුදල් ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන වශයෙන් මහ බැංකු පොලී අනුපාතය සහ මුදල් මුද්‍රණය යන මෙවලම් දෙකක් දැකිය හැකිය. විදේශ විනිමය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්තිය යටතේ හෝ විශේෂ ප්‍රතිපත්ති අංශයක් ලෙස සැලකෙයි. ඊට අමතරව, විවිධාකාර වෙළෙඳපොල නියාමනයන් සහ රාජ්‍ය ව්‍යවසායන් ද ප්‍රතිපත්තිවලට අයත් වෙයි.

මෙම ප්‍රතිපත්ති මෙවලම් හුදෙක් ඉල්ලුම් අංශ කළමනාකරණය සඳහා යොමු කෙරෙන අතර ඒ ආශ්‍රිතව විවිධාකාර ආර්ථික ඉලක්කයන් ද ඉදිරිපත් කෙරේ. මෙම ආර්ථික කළමනාකරණය මොඩලය රූපසටහනකින් පහත දැක්වෙයි.

ඉහත දැක්වූ සංකල්පීය ආර්ථික සමතුලිත මොඩලයන් දෙස බලන විට, මෙම ප්‍රතිපත්ති මෙවලම් භාවිතය පිළිබඳ මිථ්‍යාවන් රැසක් දැකිය හැකිය.

මෙම සියළු මොඩලයන්හි භාවිතා කෙරෙන ආර්ථික කළමනාකරණ ඉලක්කයන් සඳහා වූ ප්‍රතිපත්ති මෙවලම්, හුදෙක් ජාතික ආදායම් සමතුලිතයට අයත් භාණ්ඩ හා සේවා ඉල්ලුම හෝ වියදම කෙරෙහි මැදිහත්වීම තුළින් සමතුලිතය පවත්වා ගැනීමේ අරමුණ මත ක්‍රියාත්මක කෙරේ. එබැවින්, මේවා ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ලෙස ප්‍රචලිතය.


එබැවින්, ජාතික ආදායමෙහි සැපයුම් අංශය කෙරෙහි මෙම ප්‍රතිපත්ති යොමු නොකෙරේ. ඊට හේතුව, සැපයුම් අංශය බාහිරව තීරණය වන බවට කෙරෙන උපකල්පනය යි. එබැවින්, ආර්ථිකයෙහි සැපයුම් අංශයෙන් ඉල්ලුම් අංශය වෙන් කෙරෙන අතර ඉල්ලුම මගින් සැපයුම තීරණය වන බවත්, එය කාල පමාවකින් සිදු වන බවත් විශ්වාස කෙරේ. එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරමුණ වනුයේ, සමස්ත සැපයුමට ගැලපෙන ලෙස සමස්ත ඉල්ලුම වෙනස් කිරීම හෝ කළමනාකරණය තුළින් කාල පමාවක් තුළ ආර්ථික සමතුලිතය හෝ ස්ථායිකරණය යි. එනම්, පවතින සමස්ත ඉල්ලුම පාලනය සහ ප්‍රතිව්‍යප්ත කිරීම යි. එහෙත්, නූතන මුදල් සහ වෙළෙඳපොළ ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව එසේ ඉල්ලුම සහ සැපයුම වෙන් කළ නොහැකි අතර එහි අන්තර් ප්‍රතික්‍රියාවන් මත ආර්ථික සමතුලිතය තීරණය වනු ඇත.


ජාතික ආදායම් සමතුලිතයේ දී, ඉතාමත් වැදගත් වන ආර්ථික විචල්‍යයන් දෙක වන්නේ, සමතුලිත නිෂ්පාදන පරිමාව සහ පොදු මිල මට්ටම යි. එහෙත්, පවතින ආර්ථික ව්‍යුහය අනුව ඒවායේ මට්ටම කුමක් ද? යන්න නිගමනය කිරීමේ හැකියාවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොමැත. එබැවින්, වාර්ෂික නිෂ්පාදන වර්ධන අනුපාතයක්, උද්ධමන අනුපාතයක් සහ වෙනත් හිතැගි ආර්ථික ඉලක්කම් ඉලක්ක කොට ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම ජනපිය වී ඇත. එහෙත්, එහි කාර්යසාදනය පිළිබඳ ව කිසිම තහවුරුවක් හෝ වගකීමක් නොමැත.
මෙහි දී, නිෂ්පාදන වර්ධනය ඇතුළු සියළු ආර්ථික සමතුලිත ඉලක්කයන් හුදු ඉල්ලුමෙන් තීරණය වන ප්‍රතිඵලයන් ලෙස විශ්වාස කෙරේ. එබැවින්, ඉල්ලුම කළමනාකරණය හරහා ඒවා අත් කර ගැනීමට ප්‍රතිපත්ති මෙවලම් යොදා ගැනේ. එහෙත්, සාර්ව ආර්ථික සමතුලිත මූලධර්මයන් අනුව සමතුලිත ප්‍රමාණයන් සහ මිල ගණන් සමස්ත වෙළෙඳපොළ පද්ධතියෙහි ප්‍රතිඵලයකි. ප්‍රතිපත්ති මෙවලම්වලින් සිදු වන්නේ, රාජ්‍ය බලය තුළින් වෙළෙඳපොළ සමතුලිත ක්‍රියාවලිය අවුල් කිරීමකි. එය හුදෙක් වෙළෙඳපොළ අවකළමනාකරණය කිරීමකි. එමගින්, සංවේදී වෙළෙඳ තොරතුරු කාන්දුවීම හරහා වෙළෙඳපොළ වංචාවන් සිදු වන බව ද නොරහසකි. එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සකසන සමතුලිත ආර්ථික ඉලක්කයන්හි සාර්ව ආර්ථික පදනමක් නොමැත.


මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් සමස්ත මිල මට්ටම ස්ථායිතාවය සඳහා උද්ධමනය ඉලක්ක කොට ක්‍රියාත්මක කරන බවට කථාන්දර ඉදිරිපත් කෙරේ. එසේම, ජාතික ආදායම් සමතුලිත සංකල්පය අනුව උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟයට හේතුව රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය බව පිළි ගැනේ. එබැවින්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පාලනය කිරීමට මහ බැංකුවට හැකියාව ලැබෙන ලෙස රාජ්‍ය අයවැය හිඟය සහ ණය සීමා කරන ලෙස ද නිර්දේශ කෙරේ. මෙහි අදහස වනුයේ ආර්ථික සමතුලිත සංකල්පයන් සහ ප්‍රතිපත්ති මෙවලම් අතර පවතින නිරන්තර ගැටුම යි. එසේම, මුදල් මුද්‍රණ ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමතුලිත මිල මට්ටම තීරණය කිරීමට ඇති හැකියාව පිළිබඳ ව සාර්ව ආර්ථික පදනමක් නොමැත.

මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් සමස්ත මිල මට්ටම ස්ථායිතාවය සඳහා උද්ධමනය ඉලක්ක කොට ක්‍රියාත්මක කරන බවට කථාන්දර ඉදිරිපත් කෙරේ. එසේම, ජාතික ආදායම් සමතුලිත සංකල්පය අනුව උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟයට හේතුව රාජ්‍ය අයවැය හිඟය සහ ණය ප්‍රසාරණය බව පිළි ගැනේ. එබැවින්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පාලනය කිරීමට මහ බැංකුවට හැකියාව ලැබෙන ලෙස රාජ්‍ය අයවැය හිඟය සහ ණය සීමා කරන ලෙස ද නිර්දේශ කෙරේ. මෙහි අදහස වනුයේ ආර්ථික සමතුලිත සංකල්පයන් සහ ප්‍රතිපත්ති මෙවලම් අතර පවතින නිරන්තර ගැටුම යි. එසේම, මුදල් මුද්‍රණ ප්‍රතිපත්තිය මගින් ආර්ථිකයේ සමතුලිත මිල මට්ටම තීරණය කිරීමට ඇති හැකියාව පිළිබඳ ව සාර්ව ආර්ථික පදනමක් නොමැත.


ශ්‍රී ලංකාව ඇතුළු විදේශ මුදල් අර්බුදයට හිර වී ඇති බොහෝ රටවල් විසින් දැනට දේවත්වයෙන් අදහන IMF ආර්ථික ස්ථායිකරණ මොඩලයේ එකම පදනම මෙම ඉල්ලුම් කළමනාකරණ ජාතික ආදායම් සමතුලිත මොඩලය යි. එය රටවල රාජ්‍ය ණය තිරසාරභාවය පිළිබඳ ව IMF විසින් ඉදිරිපත් කරන නව ඉලක්කම් විග්‍රහයන් මත සැකසී ඇත. ඒ අනුව, IMF විසින් රාජ්‍ය අයවැය සහ ණය, මහ බැංකු පොලී අනුපාත සහ මුදල් මුද්‍රණය පිළිබඳ ඉලක්කම් මත පදනම් වූ සීමාවන් පනවා ඇත. එබැවින්, මෙම මොඩලය අනුව ආර්ථික කළමනාකරණය හුදෙක් ස්වයංක්‍රීය ගුවන් නියමු තත්ත්වයට පත් කොට ඇත. එහි අදහස වනුයේ, දේශීය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හුදෙක් එම ඉලක්කම් අවකාශය තුළ පමණක් ආර්ථිකය හකුළා ගමන් කිරීමට ඉඩ හැරීම යි. එනම්, දෙන ලද ඉල්ලුම් කළමනාකරණ ඉලක්කම්වලින් ඔබ්බට ගොස්, ආර්ථිකයෙහි සැපයුම් අංශය ප්‍රතිව්‍යුහගත කොට, සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය අයවැය සහ මුදල් ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීමට අවකාශයක් නොමැති වීම යි. එමගින්, ආර්ථික සමතුලිත මොඩලයන්හි ඇතුළත් ප්‍රතිපත්ති මෙවලම්වල ස්වාධීනත්වය බිඳ වැටී ඇත.


සියළු ආර්ථික සමතුලිත මොඩලයන්ට අනුව මුදල් යනු හුදෙක් ආර්ථිකයෙහි ඉල්ලුම් අංශය හරහා වෙළෙඳපොළ මිල ගණන් තීරණය කෙරෙන බාහිර සාධකයකි. එහෙත්, නූතන මුදල් සහ වෙළෙඳපොළ ආර්ථික විද්‍යා මූලධර්මයන්ට අනුව මුදල් යනු නිෂ්පාදන සාධකයක් වන අතර ආර්ථිකයට සැපයෙන මුදල් තොගය ද නිෂ්පාදනයකි. එබැවින්, මුදල් යනු හුදෙක් සැපයුම අංශයෙහි ධාරිතාවය තීරණය කෙරෙන සම්පතකි. නිෂ්පාදනය සඳහා අනෙක් සම්පත් සංචලනය කිරීමේ වාහකය මුදල් ය. එය ණය හරහා උපයෝජනය කෙරේ. එබැවින්, නිෂ්පාදන ප්‍රවාහයට සමගාමීව මුදල් හරහා නිෂ්පාදන සාධක ආදායම් ප්‍රවාහයක් ජනිත වී, එමගින් ආර්ථිකයෙහි සැපයුම සඳහා ඉල්ලුමක් ජනිත කෙරේ. සමස්ත ඉල්ලුම සැපයුමෙන් ජනිත වන බවට ඉදිදිරිපත් කෙරෙන සංකල්පයේ පදනම මෙය යි. එබැවින්, ඉල්ලුම හරහා නිෂ්පාදනය සහ සමතුලිතය කෙරෙහි මුදල් බලපාන බවට මතය හුදෙක් පැරණි මතයකි.

නූතන මුදල් ක්‍රමය සහ මුදල් මෙවලම් අනුව මුදල් සෘජුව සැපයුම ප්‍රසාරණයට යොමු කළ හැකිය. එය නිෂ්පාදන ණය මගින් සිදු වෙයි. නූතන වෙළෙඳ සහ අළෙවි පද්ධතිය තුළ ණය, නිෂ්පාදනය, සැපයුම සහ ඉල්ලුම අතර කාල පමාවක් නොමැති තරම් ය. එබැවින්, ණය සහ මුදල් ගනුදෙනු ආශ්‍රිත උද්ධමනය යනු පැරණි සංකල්පයකි. එය හුදෙක් කාසි සහ නෝට්ටු මුදල් ක්‍රමයන්හි පැවති කාල පමාවන් මත ගොඩ නැගී ඇති සංකල්පයකි. එහෙත්, නූතන විද්‍යුත් බැංකු, මුදල් සහ ගෙවුම් පද්ධති සහිත වෙළෙඳ ආර්ථිකයන්හි සැපයුම සහ ඉල්ලුම අතර කාල පමාවන් දැකිය නොහැක. එබැවින්, ඉල්ලුම ජනිත කෙරෙන බවට සැලකෙන ණය සහ මුදල් ප්‍රසාරණය මගින් ද උද්ධමනකාරී පීඩනයක් අපේක්ෂා කළ නොහැක. ඊට හේතුව, වේගවත් නිෂ්පාදනය සහ සැපයුම යි.
එහෙත්, ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සැපයුම් අංශය පිළිබඳ නිසි අවදානයක් නොමැතිව, පැරණි ඉල්ලුමෙන් තල්ලු වන උද්ධමන සංකල්පයට බියෙන්, ඕනෑම ණය සහ මුදල් ප්‍රසාරණයක් වැලැක්වීමට ක්‍රියා කිරීම පුරුද්දක් වී ඇත. උදාහරණ ලෙස රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම පෞද්ගලික අංශයේ නව ව්‍යාපාර ආයෝජනයන් තුළින් මුදල් ප්‍රසාරණය වන බැවින් සමස්ත ඉල්ලුම් පාලන ප්‍රතිපත්තිය මත ආයෝජනයන් අධෛර්යමත් කෙරෙන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දැකිය හැකිය. එමගින්, ආර්ථිකයෙහි නිෂ්පාදන සම්පත් සංචලනය සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය සීමා වීම හේතුවෙන් ආර්ථිකයෙහි සැපයුම් අංශය සහ ජීවන තත්ත්වය තවදුරටත් පසු බසිනු ඇත.


සියළු රාජ්‍ය වියදම් සමස්ත ඉල්ලුමෙහි කොටසක් ලෙස සලකා අයවැය හිඟයන් ආර්ථික සමතුලිතයට අහිතකර බවට ගෝලීය මතයක් ගොඩ නැගී ඇත. මෙය හුදෙක් රාජ්‍ය වියදම්වල සැපයුම් අංශ බලපෑම නොසලකා ගොඩ නැගෙන මතයකි. රාජ්‍ය වියදම් තුළින් සැපයුම් අංශය සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමේ දායකත්වය පිළිබඳ ව විවාදයක් නොමැත. සියළුම රටවල වත්මන් නිෂ්පාදන සහ ජීවන තත්ත්වය ප්‍රසාරණය සහ සංවර්ධනයේ පදනම රාජ්‍ය වියදම් ය. එසේම, රටවල මුදල් ක්‍රමයන්හි පදනම අයවැය හිඟයන් තුළින් ජනිත වන ස්වෛරිත්ව මුදල් ය. එබැවින්, රාජ්‍ය වියදම් සහ අයවැය හිඟයන්ට එරෙහි ආර්ථික සමතුලිත සංකල්පයන් හේතු කොට, සැපයුම් සහ මුදල් අංශයන් සංකෝචනය වනු ඇත. එය ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය සහ ජීවන මට්ටම කෙරෙහි දැඩි අහිතකර බලපෑමකි.


ආර්ථික සමතුලිතය සඳහා ප්‍රතිපත්ති මෙවලම් රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය ලෙස වෙන් කිරීමෙත්, මුදල් ප්‍රතිපත්තිය සඳහා මහ බැංකුවට පූර්ණ ස්වාධීනත්වය පැවරීමෙත් සාර්ව ආර්ථික පදනමක් පදනමක් නොමැත. මෙහි දී, සමස්ත මිල මට්ටම අනෙක් සමතුලිත ආර්ථික විචල්‍යයන්ගෙන් වෙන් කොට, සමතුලිත මිල මට්ටම පවත්වා ගැනීමට මුදල් ප්‍රතිපත්ති මෙවලම් වෙන් කිරීම සිදු කෙරේ. එහෙත්, මිල මට්ටම යනු හුදෙක් මුදල් වෙළෙඳපොළ මගින් පමණක් නොව, සැපයුම් අංශය, ශ්‍රම අංශය සහ විදේශීය වෙළෙඳ අංශය යන ආර්ථික සමතුලිතයට අයත් විවිධ අංශයන්ගේ බලපෑම මත තීරණය වෙයි. එසේම, මිල මට්ටම යනු ආර්ථික සමතුලිතයෙහි එක් විචල්‍යයක් පමණි. එබැවින්, ඕනෑම නිර්වචනයක ආර්ථික සමතුලිතය සහ ස්ථායිකරණය සඳහා ආර්ථික ප්‍රතිපත්ති මෙවලම්වල මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය ය. එය, ආර්ථිකයෙහි ව්‍යුහය, සම්පත් තොගය සහ සමකාලීන ආර්ථික සමතුලිත ඉලක්කවල ප්‍රමුඛතාවය අනුව සිදු කළ යුතුය. එවැනි සම්බන්ධීකරණයක් නොමැති මහ බැංකු ස්වාධීනත්වය තුළ ගන්නා ලද අත්තනෝමතික මුදල් ප්‍රතිපත්ති මෙවලම් හේතු කොට දැඩි ආර්ථික අසමතුලිතයන් හට ගෙන ඇති බවට වාර්තාවන් ලෝකය පුරා දැකිය හැකිය.
සමස්ත නිරීක්ෂණයන්

ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තමන් අනුගමනය කරන ආර්ථික සමතුලිත මොඩලය ඉදිරිපත් නොකොට, සියළු මොඩලයන්ගෙන් උකහා ගන්නා ලද, විවිධාකාර ආර්ථික ඉලක්කයන් ගොන්නක් සඳහා ආර්ථිකයන් මෙහෙය වීමට උත්සාහ කිරීමෙන්, ආර්ථිකයන් විවිධාකාර අස්ථායිතාවයන්ට ලක් වන බව නොරහසකි. ඊට හේතුව, එම ආර්ථික ඉලක්කයන්, ප්‍රතිපත්ති මෙවලම් සහ සමතුලිතයන් අතර පවතින ගැටුම් ය. බොහෝ අවස්ථාවල ප්‍රතිපත්ති මෙවලම් ද ආර්ථික ඉලක්ක ලෙස භාවිතා කිරීමෙන්, ප්‍රතිපත්ති වපසරිය සීමා වී, ආර්ථික සමතුලිතය ගිලිහෙනු ඇත. මීට හොඳම උදාහරණය IMF ආර්ථික කළමනාකරණ/ස්ථායිකරණ මොඩලය යි. එහි රාජ්‍ය බදු, අයවැය හිඟය සහ ණය යන ප්‍රතිපත්ති මෙවලම්, සමතුලිත ආර්ථික ඉලක්කයන් ලෙස භාවිතා කෙරේ. එය පදනම් විරහිත ය.

සැපයුම් අංශයෙන් වෙන් වූ ඉල්ලුම් අංශය කළමනාකරණය තුළින් ආර්ථික සමතුලිතය සහ ස්ථායිකරණය කිරීමට උත්සාහ කෙරෙන රාජ්‍ය අයවැය සහ මුදල් ප්‍රතිපත්තිවල සාර්ව ආර්ථික පදනමක් නොමැත. නූතන මුදල් සහ වෙළෙඳපොළ ආර්ථිකයන්හි සැපයුම් අංශය සහ ඉල්ලුම් අංශය අතර පවතින අන්තර් රැඳියාව සාමාන්‍ය කරුනකි. එබැවින්, ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් හුදෙක් ඉල්ලුම පාලනය සහ ප්‍රතිව්‍යාප්තිය හරහා ආර්ථිකයන් සමතුලිත කිරීමට සහ ස්ථායිකරණයට ක්‍රියා කිරීම හුදෙක් දේශපාලනික ව්‍යායාමයකි.


ආර්ථික සමතුලිත මොඩලය ඉදිරිපත් නොකොට, ආර්ථිකයෙහි විවිධ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් ඉලක්ක කිරීම සඳහා ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීම ආර්ථික අසමතුලිතයන්හි ප්‍රධාන මූලය යි. ඊට හේතුව, රාජ්‍ය ආර්ථික ඉලක්කයන් යනු ආර්ථික සමතුලිත තත්ත්වය නියෝජනය කෙරෙන ආංශීය තත්ත්වයන් නොව, රජය විසින් තීරණය කෙරෙන සුබසාදන ආර්ථික තත්ත්වයන් වන බැවිනි. ආර්ථික විද්‍යා මූලධර්මයන්ට අනුව සමතුලිතය යනු හුදෙක් වෙළෙඳපොළ ප්‍රතිඵලයකි. එය රාජ්‍ය ඉලක්ක සහ ප්‍රතිපත්ති මැදිහත් වීමෙන් සිදු කළ නොහැකිය. ඊට හේතුව, සමතුලිතය පිළිබඳ වෙළෙඳපොළ තොරතුරු රජය සතු නොවීම යි. එබැවින්, බොහෝ ප්‍රතිපත්ති මෙවලම්වල ප්‍රතිඵලය වන්නේ, ආර්ථික සමතුලිතය බිඳ දමා, ආර්ථිකය අස්ථායී කිරීම යි.
රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය සහ මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක කිරීම ආර්ථික සමතුලිත සංකල්පයට එරෙහි අතර එමගින් බොහෝ ආර්ථික අසමතුලිතයන් සහ අස්ථායිතාවයන් ඇති වෙයි. එබැවින්, ආර්ථික සමතුලිතයෙහි අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය යි.
ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් කලින් කලට ක්‍රියාත්මක කරන බොහෝ ප්‍රතිපත්ති මෙවලම් හුදෙක් ආර්ථික සමතුලිත මොඩලයකට අයත් නොවන ක්‍ෂුද්‍ර වෙළෙඳපොළ පාලනයන් ය. ඒවා දේශපාලනික අරමුණු මත සිදු කෙරේ.
මානව සංවර්ධනය තව තවත් ඉහළ දැමීමට අවශ්‍ය වන්නේ, සම්පත් සංචලනය සහ කාර්යක්ෂමතාවය තුළින් නිෂ්පාදනය සහ ආදායම් ප්‍රසාරණය කෙරෙන සැපයුම් අංශ ප්‍රවර්ධන ප්‍රතිපත්තීන් ය. එනම්, සැපයුමෙන් ඉල්ලුම හෝ උපයෝජනය ජනිත කිරීම යි. එය නූතන මුදල් සහ වෙළෙඳපොළ පද්ධතිය හරහා සිදු වෙයි. නූතන ආර්ථිකයන්හි භාණ්ඩ හා සේවාවන් යනු සැපයුමේ ප්‍රතිඵලයකි. එයට පර්යේෂණ, නවීකරණය සහ අළෙවිකරණය බෙහෙවින් දායක වෙයි. එබැවින්, සියළු රාජ්‍ය ප්‍රතිපත්ති යොමු කළ යුත්තේ, සම්පත් සංචලනය හරහා සැපයුම් අංශය උත්තේජනය සහ සංවර්ධනය සඳහා ය. එහි පදනම සැපයෙන්නේ රාජ්‍ය හිඟ අයවැය ප්‍රතිපත්තියෙනි. ආර්ථිකයට අවශ්‍ය ණය සහ මුදල් නිෂ්පාදනය සහ ව්‍යාප්තිය සිදු වන්නේ, රාජ්‍ය අයවැය හිඟය හරහා ය. එය ගෝලීය සත්‍යයකි.


එබැවින්, උද්ධමන බිය මත අයවැය හිඟය සීමා කිරීමත්, මුදල් මුද්‍රණය රාජ්‍ය අයවැයෙන් වෙන් කොට උද්ධමනය පාලනයට ස්වාධීන කිරීමත් යන ආර්ථික සමතුලිත ප්‍රතිපත්ති හේතු කොට සැපයුම් අංශය අස්ථායී වීම තුළින් ඉදිරි මානව සංවර්ධනය සීමා වන බව පැහැදිළි ය.
සමාජවාදී දේශපාලනික මතධාරී ප්‍රතිපත්ති සම්පාදකයන් සාමාන්‍යයෙන් ඉල්ලුම් අංශය පාලනය සහ ප්‍රතිව්‍යාප්තිය සඳහා වූ ප්‍රතිපත්ති මෙවලම් තුළින් ආර්ථික සමතුලිතය සහ සුබසාදනයට නැඹුරු වී ඇත. එහෙත්, ධනවාදී වෙළෙඳපොළ මතධාරී ප්‍රතිපත්ති සම්පාදකයන් සාමාන්‍යයෙන් තරඟකාරී අවස්ථා හරහා නිෂ්පාදනය සහ ධනය ඉපැයීමත්, නිදහස් වෙළෙඳපොළ සමතුලිතයත් තුළින් සැපයුම් අංශය හරහා ආර්ථික සුබසාදනය කෙරෙහි නැඹුරු වී ඇත.

සමස්තයක් ලෙස, ආර්ථික සමතුලිතය සහ ස්ථායිකරණය සම්බන්ධව කෙරෙන සියළුම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් හුදෙක් දේශපාලනික න්‍යාය පත්‍රයන් මිස, ඒවා මෙහි ඉදිරිපත් කොට ඇති සාර්ව ආර්ථික සමතුලිත සංකල්පයන් සහ මොඩලයන්ට කිසිම අනුකූලතාවයක් නොමැත. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් පසුගිය දශක කිහිපයක් අනුගමනය කරනු ලැබුවේ, රාජ්‍ය විදේශ ණය හරහා ආනයන මත පදනම් වූ ඉල්ලුම් අංශය සහ පාරිභෝගික මිල මට්ටම පාලනය කිරීම යි. එම ආර්ථික සමතුලිත මොඩලය මගින් මෙම රටවල් විදේශ මුදල් අර්බුදයකට ඇද දමන ලදි. එසේම, නැවත ආර්ථික ස්ථායිකරණය සඳහා අනුගමනය කරන්නේ ද එම මොඩලය යි.


එබැවින්, සැපයුම් අංශය සහ සේවා නියුක්තිය ප්‍රවර්ධනය ඉලක්ක කෙරෙන රාජ්‍ය අයවැය සහ මුදල් ප්‍රතිපත්ති මෙවලම් පැකේජයක් නොමැතිව, වත්මන් සම්ප්‍රදායික ඉල්ලුම් පාලන IMF ආර්ථික ස්ථායිකරණ මොඩලයෙන් ශ්‍රී ලංකාව වැනි විදේශ මුදල් අර්බුදයන්ට හසු වී, සංකෝචනය වී ඇති ආර්ථිකයන්ට සහ මානව සංවර්ධනයට කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය. එය හුදෙක් ආර්ථිකය ස්ථායිකරණය කරන බවට මහජනයා නොමග යවා, දේශපාලන නායකයන්ට බලයේ සිටීමට පමණක් උපකාරී වන බව, ඔවුන් දෙන මැතිවරණ පොරොන්දුවලින් පැහැදිළි ය.


එබැවින්, අවම වශයෙන් ඉදිරි වසර 5-10 තුළ ආර්ථිකයෙහි තරඟකාරී වෙළෙඳපොළ පදනම් වූ ආංශීය සම්පත් සංචලනය තුළින් නිෂ්පාදනය සහ සේවා නියුක්ති ඉලක්කයන් මත යොමු වූ සැලකිය යුතු රාජ්‍ය අයවැය හිඟය සහ මුදල් ප්‍රසාරණයක් නොමැතිව මෙම රටවල ආදායම සහ ජීවන තත්ත්වය දියුණු කළ නොහැකිය. ආංශීය සැපයුම් ප්‍රවර්ධන පදනමක් මත අයවැය හිඟය සහ මුදල් වෙළෙඳපොළ මනා සම්බන්ධිකරණයක් සිදු නොවේ නම්, මුදල් හිඟය හේතු කොට අයවැය ප්‍රතිපත්තිය බිඳ වැටෙනු ඇත. එසේම, වත්මන් විදේශ ණය සහ ආනයන ඉල්ලුම මත සැලසුම් කොට ඇති IMF ආර්ථික ස්ථායිකරණ මොඩලය තුළ මෙම යෝජිත සැපයුම් ප්‍රවර්ධන ආර්ථික සමතුලිත මොඩලය ක්‍රියාත්මක කළ නොහැකිය. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් විසින් ශ්‍රී ලංකාව නව කාර්මික විප්ලවයන්ට යොමු කරන ලෙස රජයට යෝජනා කරන්නේ, මෙම මොඩල බාධකය පිළිබඳ අවබෝධයක් නොමැති බැවිනි. එසේම, කාර්මික විප්ලවයන් හුදෙක් තරඟකාරී සැපයුම් අංශය තුළ සිදු වන බව ද ඔවුන්ට අවබෝධයක් නොමැත.


එහෙත්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් නිරන්තරයෙන් සිදු කරන්නේ, ආර්ථික සමතුලිතය පිළිබඳ ව කිසි සැලකීමක් නොමැතිව ගතානුගතික ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මෙවලම් දේශපාලන පදනමකින් භාවිතා කිරීම යි. එබැවින්, ඔවුන් විසින් නිරන්තරයෙන් ආර්ථික වර්ධන අනුපාතය, උද්ධමනය, පොලී අනුපාතය, විනිමය අනුපාතය, විදේශ සම්පත්, බදු ආදායම සහ අයවැය හිඟය වැනි විවිධාකාර ඉලක්කම් හුවා දක්වමින් ආර්ථිකය ස්ථායිකරණය සහ ප්‍රවර්ධනය වන බවට ප්‍රකාශනයන් නිකුත් කිරීම දැකිය හැකිය. මෙම සියළු ආර්ථික ප්‍රකාශනයන් රටෙහි නිෂ්පාදන සම්පත් ව්‍යුහය සහ සංචලන ශක්තිය සහ ශක්‍යතාවය මත පදනම් වූ සැපයුම් අංශය පාදක වී නොමැත. එබැවින්, මෙම රටවල ආර්ථික කළමනාකරණය යනු හුදෙක් කෙටි කාලීන දේශපාලනික අභ්‍යාසයන් පමණි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan