ඕවින්දි විෂ්මිකා
ජනවාරි 24, කොළඹ (LNW): දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති දැඩි නිහඬතාවය, ප්‍රමාදය සහ ආයතනික අසමත්භාවය බිඳ දමා අවසානයට ලංකාව ළමා අපයෝජන නඩු සම්බන්ධයෙන් වැදගත් නමුත් දැඩි ලෙස ප්‍රමාද වූ පියවරක් ගෙන තිබේ.ඒ 2016 අංක 16 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ සහ තොරතුරු දැනගැනීමේ කොමිසමේ නියෝගයකට අනුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) විසින් දිවයින පුරා මහාධිකරණ ඉදිරියේ විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු පිළිබඳ සවිස්තරාත්මක දත්ත ප්‍රථම වරට මහජනතාවට නිකුත් කර ඇත.
මෙම හෙළිදරව් කිරීම හුදෙක් සංඛ්‍යාලේඛන යාවත්කාලීන කිරීමක් පමණක් නොවෙයි.එය දශක ගණනාවක් පුරා දරුවන් ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් අපොහොසත් වූ,පීඩාවට පත් වූ ළමයින්ට යුක්තිය ප්‍රමාද කළ සහ අපයෝජන නඩු වසර ගණනාවක් පුරා වගකීම් විරහිතව ඇදගෙන ගිය අධිකරණ පද්ධතියකට එල්ල වන දැඩි චෝදනාවකි.
වසර 30 කට ආසන්න කාලයක් නොසලකා හරින ලද ජනවරමක්
ළමා අපයෝජන වැළැක්වීම, විමර්ශන සම්බන්ධීකරණය කිරීම සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය හරහා ඉදිරියට යන විට නඩු නිරීක්ෂණය කිරීම සඳහා පැහැදිලි නීතිමය වරමක් සහිතව 1998 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවන ලදී. එහෙත් මේ දක්වා වසර ගණනාවක් පුරා පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණවලට ගිය නඩුවලට කුමක් වූයේද යන්න සොයා බැලිය හැකි ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක් නොතිබුණි.
එහි ප්‍රතිඵලය වූයේ බොහෝ පීඩාවට පත් වූ ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙම විනිවිදභාවය නොමැතිකම වසර ගණනාවක අවිනිශ්චිතතාවයට සහ නැවත කම්පනයට පත් කිරීමට හේතුකාරක වීමයි. බොහෝ ළමයින්ට ඔවුන්ගේ ළමා වයස අවසන් වන තෙක්ම කිසිදු සාදාරණයක් ඉටු නොවුනු අතර නඩු විභාගයට ගැනීමට අසමත්වීම නිසා සැකකරුවන් ද නිදැල්ලේ සිටියහ.
අසාර්ථකත්වය පිටුපස ඇති සංඛ්‍යා
2026 ජනවාරි වන විට දිවයින පුරා මහධිකරණවල ළමා අපයෝජන නඩු 4,289ක් තවමත් පවතින බව නවතම දත්ත හෙළි කරයි. ඒ අතරින් එම මාසය තුළ විභාගයට ගැනීමට හෝ කැඳවීමට නියමිතව ඇත්තේ නඩු 1,683ක් පමණි.
මහධිකරණවල නඩු ගණන සිය ගණනින් පවතින අතර ගාල්ලේ පමණක් විභාග වෙමින් පවතින නඩු ප්‍රමාණය 442 ක් වේ.කුරුණෑගල 423, මහනුවර 414 සහ ගම්පහ 220 ක ප්‍රමාණයක් ඇත. බොහෝ දිස්ත්‍රික්කවල විභාග වෙමින් පවතින නඩු වලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් නඩු විභාග හෝ කැඳවීම සඳහා නියම කර ඇති අතර එය හුදෙක් ප්‍රමාදයකට වඩා ගැඹුරු පද්ධතිමය ගැටළුවක් බව පැහැදිලිය.
මෙම නඩු සංඛ්‍යා යනු හුදෙක් සරල අංකම නොවේ. ඒවායේ ඇතුළත් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 13ක් යටතේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එරෙහිව සිදුකළ බරපතළ අපරාධ එනම් බලහත්කාර ලිංගික සම්බන්ධතා,අපයෝජන, ගැඹුරු ලිංගික අපයෝජන, ළමා වෙළඳාම, ළමයින්ට එරෙහි අමානුෂික හැසිරීම් සහ ලිංගික දූෂණයන් වේ.
හානිය ගැඹුරු කරන ප්‍රමාදයන්
ළමා අපයෝජන නඩු වලදී යුක්තිය ප්‍රමාද වීම සරල පරිපාලන ගැටළුවක් නොවේ.ප්‍රමාද වන යුක්තිය අද්විතීය ලෙස විනාශකාරී ය. සාක්ෂි දුර්වල වේ, සාක්ෂිකරුවන් විශ්වාසය අහිමි කරගනී සහ ළමයින්ට නැවත නැවතත් තමන්ගේ වේදනාව මතක් කරගැනීමට සිදුවේ. මෙවන් ප්‍රමාදයන් තුළින් පද්ධතිය විසින් පීඩාවට පත් වූවන්ට කියා සිටින්නේ ඔවුන්ගේ වේදනාව ප්‍රමාද කළ හැකි,කල් දැමිය හැකි දෙයක් බවයි.
අධිකරණ පද්ධතියෙන් ඔබ්බට ගිය විට තත්ත්වය ඊටත් වඩා කරදරකාරී ය.ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දස දහස් ගණනක පැමිණිලි තවමත් ගොඩගැසී පවතින අතර තවත් දහස් ගණනක් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග බලාපොරොත්තුවෙන් සිටියි.මෙම එක් එක් අදියරේ ප්‍රමාදයන් ආයතනික අසාර්ථකත්වයේ තවත් ස්තරයක් ලෙස පීඩාවට පත් වූවන් මත බර පටවයි.
විනිවිදභාවය බලහත්කාරයෙන්?
මෙම තොරතුරු නිල RTI නියෝගයක් නිසාවෙන්ම පමණක් මහජනතාවට හෙළිවීම වගකීම් පිළිබඳ අසීරු ප්‍රශ්න ගණනාවක් මතු කරයි. පාරදෘශ්‍යතාව නැතහොත් විනිවිදභාවය ඔවුනොවුන්ගේ කැමැත්තෙන් හෙළි කර නොතිබුණි; එය නීතියෙන් බල කර ලබා ගත් එකක් විය. පනතින් පැවරුණු ව්‍යවස්ථාපිත කාර්යභාරයන් තිබියදීත් ළමා අපයෝජන නඩු සඳහා නිසි නිරීක්ෂණ සහ තොරතුරු ප්‍රකාශන පද්ධතියක් වසර ගණනාවක් පුරා ස්ථාපිත කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අසමත් වූ අතර එය දැන් නිහඬව අත්හැර නොදමා විවෘතව පිළිගත යුතු අසාර්ථකත්වයකි.
ඉදිරියට යා යුතු මාර්ගය
කෙසේ වෙතත් විනිවිදභාවය පමණක් යුක්තිය නොවේ. දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් ළමයින්ට යුක්තිය ඉටු නොවේ.
අවශ්‍ය වන්නේ:-
– ළමා අපයෝජන නඩු වලට ප්‍රමුඛතාවය දීම
– අධිකරණ වගකීම පුළුල් කිරීම
– ළමා හිතකාමී අධිකරණ ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීම
– නොසැලකිල්ලට සහ ප්‍රමාදයට වගකිවයුතු ආයතනවලට සහ නිලධාරීන්ට වගකීම් පැවරීම යි.
මන්ද දත්ත ප්‍රකාශයට පත් කිරීම තීරණාත්මක ප්‍රතිසංස්කරණයකට මඟ පාදන්නේ නම් මිස එය එතරම් වැදගත් නොවෙයි. පීඩාවට පත් වූ ළමයින්ට අවශ්‍ය වන්නේ සංකේතාත්මක අභිනයන් හෝ මාධ්‍ය නිවේදන නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාලෝචිත නඩු විභාග, ඵලදායී නඩු පැවරීම් සහ ඔවුන්ව විශ්වාස කරන යුක්ති පද්ධතියකි.
දශක තුනකට පසු සත්‍යය අවසානයේ හෙළිදරව් වී ඇත. මෙම හෙළිදරව් කිරීම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වේද නැතහොත් තවත් මග හැරුණු අවස්ථාවක් වේද යන්න තීරණය කරන්නේ මෙයින් පසු ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග මතයි.එහි දරුවන්ට ප්‍රමාදයකින් තොරව යුක්තිය ලැබිය යුතුය සහ ඔවුන්ගේ ජීවිත වැදගත් බව ක්‍රියාවෙන් ඔප්පු කරන පද්ධතියක් නිර්මාණය විය යුතුයි.



