උපාලි කොළඹගේ
කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට විවේකයක් නැත. අධ්‍යාපන අසභ්‍යකරණයක් ගැන විසිහතර පැයේම කියාගත් ගමන්ය. එතුමා හීනෙනුත් අධ්‍යාපන අසභ්‍යකරණය ගැන දොඩවනවාදැයි හිතෙන තරමට වැඩේ වයිරල්ය.
ඇත්තටම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අසභ්‍යකරණයක් සිදුවේද යන්නය අපට ඇති ගැටලුව. තාක්ෂණික වරදක්, නමුත් එය ඉතා බරපතළ වරදක් අල්ලා ගෙනය සජිත් ඇතුළු විපක්ෂ නඩය මේ බෙරිහන් දෙන්නේ. හිතාමතා හෝ නොසැලකිලිමත්කම නිසා මෙම වරද සිදුවන්නට ඇතැයි අපි අනුමාන කරමු. හෙළිදරව් වූ මෙම වරදට අමතරව තවත් වරදවල් ඇත්ද යන්නය සැකයට හේතුවී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක 6 වසර ප්‍රතිසංස්කරණ වසරකින් කල්දැමුවේද මේ නිසා විය යුතුය.
කෙසේ වුවත් සජිත්ගේ මෙම අසභ්‍යකරණ චෝදනාව නම් පිළිගත නොහැක. එක් වරදක් නිසා මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියම අසභ්‍ය යැයි කියා හඳුන්වන්නේ ඇයි? අසභ්‍ය කියන වචනයේ බරපතළ කම සජිත් මහතා නොදන්නාකම හෝ බලය ලබා ගැනීමට තිබෙන කඩිමුඩිය නිසා අතට අහුවෙන ඕනෑම දෙයකින් පහරදීමේ නොතිත් ආශාවෙන් මෙසේ කරනවා වියහැක . හැබැයි මහත්තයො ඔබ විපක්ෂ නායක බව අමතක කරන්න එපා. විපක්ෂයේ සිටින පාර්ලිමේන්තුවේවත් නැති නිකම්ම නිකං හාල්කෑලි උඩුබුරලන විදියට ඔබත් හැසිරුණොත් එය විපක්ෂ නායක පදවියට කරන බරපතළ නිග්‍රහයක් බවද අමතක කරන්න එපා.
සජිත් ගේ අසභ්‍යකරණ චෝදනාවත් සමග අපේ මතකයට එන තවත් කරුණ ක් ඇත. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිකමට එන්න ඔන්න මෙන්න කියා තිබියදී එවකට සිටි දේශපාලන නායකයකු කී කතාවකි. එම කතාවේ කෙටි අර්ථය ගැහැනියක් අගමැති වුණොත් මාසයකට වරක් අගමැති පුටුව හෝදන්නට වනවා කියාය.
අප්ප කළ දේ පුතා කළ යුතුද නැද්ද අපි නොදනිමු.
මෙම අසභ්‍යකරණ චෝදනාව මගින් ඉඟිකෙරෙන අනික් කරුණ නම් අගමැතිනියට එරෙහිව ඇතැම් භික්ෂූන් වහන්සේ හා ගිහි වනචාරීන් ගෙනෙන චරිත ඝාතන චෝදනාවන්ට නොනිල අනුමතයක් ලබාදීමය. අපට කිසිසේත් අදාළ නොවන හරිනි අමරසූරිය ගේ ලිංගික නැමියාවන් පිළිබඳව ද වහෙං ඔරෝ භාෂා වෙන් මෙහිදී කියා පෑමක් සිදු කෙරේ.
මෙම ලිංගික සංවාදය නිසා සිදුවන අනික් බරපතළම අනර්ථය නම් 6 වසරේ දුවා දරුවන් මානසික වශයෙන් අපයෝජනයට ලක්වීමය. මේ සංවාදය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමේ හැකියාවක් මෙම කුඩා දරුවන්ට නැතත් කිසියම් අදහසක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඔවුන් සතුව පවතී. මේ ගැන දරුවන් සිය වැඩිමල් සහෝදර සහෝදරියන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද විටින් විට අසන්නට ලැබේ. මෙම තත්ත්වය ඇති වීමට බලපෑ ප්‍රධාන හේතුව විපක්ෂනායකතුමාද ඇතුළු යෝජිත ප්‍රතිසංස්කරණවලට දැඩි ලෙස විරෝධය දක්වන කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාරයි. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අඩුපාඩු ඇතැයිද සිතමු. එහෙත් ඒ මුළු යෝජනා ම සකසා ඇත්තේ සමස්ත දරුපරපුරම විනාශය කරා යැවීමටය යන්න කිසිසේත් සාධාරණ නැත.
සජිත් එහෙම කියද්දි සජබ බලකනුවක් වන ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ සම්පූර්ණයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ කතාවකි. ඔහු පාර්ලිමේන්තුවේදී ඉතා දැඩිව කියා සිටියේ මොඩියුලයේ වරද කළවුන් එළවා දමා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයායුතු බවය. අසභ්‍ය කතා හර්ෂට අදාළ නැත.
කෙසේ වුවත් දැන් 6 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වසරකින් කල් දමා ඇත. එය ආපහු හැරවිය අසීරුය. එමෙන්ම වැඩේ කුණු වනතුරු මරනින්දේ පසුවූ දෙමාපියෝ දැන් ඇහැරිලාය. ඔවුහූ හන්දියක් හන්දියක් ගානේ එක් රැස්ව හයවසර ප්‍රතිසංස්කරණ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිති. එයද ආණ්ඩුවකට දැන් කළ නොහැක .
මේ අනුව ආණ්ඩුවට රැවුල යි කැඳයි දෙකම බේරා ගැනීමට වුවමනා නම් කළ යුත්තේ ලබන වසරේ 6,7ශ්‍රේණි දෙක සඳහාම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමය. ඊට තාක්ෂණික බාධා තිබිය හැකි මුත් ඒවා මර්දනය කර ඉදිරියට යෑම ආණ්ඩුවට ඇති එකම විකල්පයයි.


