සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 කොළඹ (LNW): ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ තරුණයින් අද දකුණු අප්‍රිකාවේදී අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදින්නට නියමිතයි.එසේම අවුුරුදු 19 න් පහළ තරුණියන් පකිස්තානය සහ බංගලාදේශය සමඟ බංගලාදේශයේදී අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් තරගාවලිය අරඹමින් එහි මංගල තරගයට බංගලාදේශය සමඟ තරග වදින්නට නියමිතයි.
මෙහිදී වැදගත්ම මේ කණ්ඩායම් දෙස ලෝකයේ හොට දවසේ ක්‍රිකට් ලෙස පූර්ව අර්ථකතනයකට නොයා මේ මොහොතේ ඒ ඒ කණ්ඩායම් දෙස විමසිල්ලෙන් බලා සිටීමයි.රටේ පවතින ක්‍රිකට් සංස්කෘතිය සමඟ ඔවුන් කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසා බැලීම එහිදී වැදගත් වන අතර අනාගත ක්‍රිකට් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දළ සැකස්මක් උනන්දුවෙන් අවධානය යොමු කරන්නේනම් සකසා ගන්නට හැකියාව ලැබෙනවා.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දී එක්සත් එමීර් රාජ්‍යයට සහ බංගලාදේශයට පරාජය වෙමින් මූලික වටයෙන්ම ඉවතට වීසි වුණා.එහිදී සමහර අයට ලංකාවේ ක්‍රිකට් අනාගතය එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් පහතට වැටී විනාශ කර තිබෙන බව කියමින්,වෙනත් න්‍යාය පත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට එය අවස්ථාවක් කර ගත්තා.එහෙත් අවසානයේ ශ්‍රී ලංකාව මූලික වටයේදී පරාජයට පත් වූ බංගලාදේශ සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් දෙක පකිස්තානය සහ ඉන්දියාවද පරාජය කරමින් පිළිවෙළින් ආසියානු සූරයන් සහ අනුසූරයන් බවට පත් වුණා.
දැන් ලෝක කුසලාන තරගාවලිය දෙස බලද්දී ඒ ආසියාවේ වැඩ පෙන්නපු එමීර් කණ්ඩායම තරගාවලියට සුදුසුකම් ලබා නැහැ.ඔවුන්ට ආසියාවේදී පසුපසින් හිටිය ශ්‍රී ලංකාව,පකිස්තානය සහ ඉන්දියාව තරගාවලිය නියෝජනය කරනවා.එහෙම වෙනකොටම පොඩි වෙනස් අදහසක් ප්‍රමිතිය ගැන වගේම ස්ථාවරය ගැන ඇතිවෙන්න පුළුවන් නේද?ඒ වගේම ආසියාවේදී මීට මාස කිහිපයකට පෙර ලබපු ප්‍රතිපලයට වඩා වෙනස් අදහසක් ඇති කරමින් ලෝක කුසලාන තරගාවලියෙ පුහුණු තරගයකදි ආසියානු සූර බංගලාදේශය ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වෙනවා.ඒ වගෙම බංගලාදේශය ඉන්දියාව සමඟ පැවති තරගයෙන් ද පරාජයට පත්වෙනවා.
ආසියානු කුසලානය තිබුණ බිම සහ ලෝක කුසලාන තරගාවලිය පැවත්වෙන බිම අතර ඇති භෞතික වෙනස්කම් නිසා මේ ආකාරයට වෙන්න පුළුවන්.ඒක එක සාධකයක්.ඒ වගේම පරාජය අධ්‍යයනය සහ එතනින් නැඟී සිටීම කියන කාරණයට අපි මුහුණ දෙන ආකාරයත් වැදගත් වෙනවා.අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සූදානම් වූ ස්වභාවය යම් ආකාරයකට වෙනස්.උදාහරණයකට ගත්තොත් ක්‍රීඩාවෙදි එම ක්‍රීඩාව මේ වන විට තනි විෂයක් හැටියට ගන්න බැහැ.තාක්ෂණික මෙවලම් සමඟ කරන කිරා මැන බැලීම් බොහොමයි.විද්‍යාත්මක පරීක්ෂණ සහ නිරීක්ෂණ සහ ඒ හරහා පැමිණිය හැකි නිගමනත් එකකට එකක් වෙනස්.ඒ වගෙම මානසික අභිප්‍රේරණය කියන දේ භෞතික ප්‍රතිපල බොහෝ දුරට වෙනස් කරන්න කරන බලපෑමත් වෙනස්ම එකක්.
අද දවස ඒ ආකාරයෙන් බලන විට ප්‍රතිපලයට වඩා හෙට දවස කෙසේ හැසිරිය යුතු ද කියන පණිවිඩය නිකුත් කරන පරීක්ෂණාත්මක දවසක්.දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාවෙ තරුණයන්ට හමුවන නැමීබියානු තරුණයින් ටෙස්ට් ජාතියක ඉපදුණේ නැහැ කියලා අඩුවෙන් සළකන්න පුළුවන් පිරිසක් නෙමෙයි.හරියට එක්සත් එමීර් රාජ්‍යයේ තරුණ ක්‍රිකට් කණ්ඩායම වගෙයි.නැමීබියාව මේ තරගාවලිය තුළ ලෝකයේ ජයග්‍රාහීම ක්‍රිකට් සංස්කෘතිය ඇති බවට ඔප්පු කර තිබෙන ඕස්ට්‍රේලියානු තරුණයන්ට දුන්න තර්ජණාත්මක අභියෝගය නැමීබීයානු කණ්ඩායම ගැන තේරුම් ගන්න හොඳ උදාහරණයක්.
බංගලාදේශයේ සිටින අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගත්තම අප දන්න තරමට ඉතාම හොඳ කණ්ඩායමක්.ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන හිටපු නායිකා විශ්මි ගුණරත්න වගේම මෙවර නායකත්වය දරන මනුදි නානායක්කාර කියන්නෙත් කැපී පෙනෙන ක්‍රීඩිකාවක්.දෙව්මි විහංගා මේ වන විටත් අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝකය ඇතුළෙ අවධානය දිනා ගත්තු තුන් ඉරියව් ක්‍රීඩිකාවක්.මේ විදිහට ගත්තම අපට ශ්‍රී ලංකා කාන්තා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අති ඉස්තරම්.එහෙත් අද සිට තමයි පකිස්තානය සහ බංගලාදේශය ගැන අපට හඳුනාගන්න ලැබෙන්නෙ.එ නිසා “පෙනෙන තරමට යකා කළු නැහැ” කියන කතාව වගෙම අනිත් අතට දකින තරම් අනෙකා අහිංසකද නැද්ද යන කාරණය ගැනත් කියන්න හරියටම දන්නෙ නැහැ.
කෙහොමහරි අද මේ තරග දෙක දිහා බැලිය යුතු “පෙරෙට්ටුවක්” ලෙස සළකායි.ඒ අද ගෙවෙන මොහොතට අදාළවමත් නෙමෙයි.හෙට දවස වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව හඳුනාගැනීම සඳහා සංවර්ධන සැළසුම් සකස්කිරීමේ අයට ඒක අතිශයින් වැදගත් වෙනවා.දිනන සහ පරදින කියන කාරණයට වඩා මෙහිදී රකින සහ හදන කියන වචන දෙක ක්‍රියාපද ලෙස බරක් යොදා අරුත් ගන්වන්න වැඩි අවධානයක් දිය යුතු තරගාවලියකට අවුරුදු 19 න් පහළ තරුණයන් සහ තරුණියන් මුහුණ දී සිටිනවා.අදත් ඔවුන්ට ජයගන්න පුළුවන්නම් වැදගත්.එහෙත් අද පරාජය කියන්නෙ හෙට දිනන්න බැහැ කියන කාරණයට නොවන බව මෙවැනි අනාගතයන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි.එහෙත් අදත් දිනලා හෙටත් දිනන්න කවුද ආසා නැත්තෙ?
ඒ නිසා අපි මේ තරුණ කණ්ඩායම් දෙකටම අද තරග දෙක ගැන සුබ පතමු. මේ සටහන සමඟ දැක්වෙන්නේ,අද තුන්කොන් තරගාවලිය අරඹන අවුරුදු 19 න් පහළ කණ්ඩායම් තුනේ නායිකාවන් තිදෙනාගේ ඡායාරූපයකි.
