පසුගිය මැතිවරණ වලදී රාජපක්ෂවාදයේ ප්‍රධාන සටන් පාඨය උනේ රට බේරාගැනීමේ අවසන් අවස්තාව පැමිණ ඇති බවයි. මේ මොහොතේ රාජපක්ෂවාදය අතින් ඒ සටන් පාඨය ගිලිහී ඇත. දැන් ඒ රට බේරා ගැනීමේ අවසන් අවස්තාව රජපක්ෂ වාදය නැතිව පැමිණ තිබේ. ඒ, ජාතික ජන බලවේගයේ පහල ස්තරයේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය ලෙසිනි.
රාජපක්ෂ වාදය සකස් කල ජන මනෝබාවය සැදී ඇත්තේ නායකයන් උත්තරීත්වයට ඔසවා තැබු නායක ප්‍රතිරූප ආගමික ස්වරූපයකින් වන්දනාමාන කිරීමක ආකෘතියක් තුලය. දැන් අප විමර්ශන ශීලීව බලතොත් මේ මොහොතේ ඒ අදහස් පද්දතිය අභ්‍යාස කරන්නේ ජා ජ.බ. ය තුලය. මන්ද, ජා.ජ.බ.යේ ෆේස් බුක් බලකායට අනුව ඔවුන්ගේ නායකයන් මොනදේ කලත් මොන දේ කියතත් ඒවායේ වැරදි තිබිය නොහැකිය, ඒවා උත්කෘෂ්ඨ බාවිතාවන් හා දේව වාක්‍යය බඳු ප්‍රකාශ වන්නේය.
ඔවුන්ව විවේචනය කරන්නන් ජාතියේ ජයග්‍රහණ පාවා දෙන ද්‍රෝහීන් ලෙස සැලකේ. රාජපක්ෂවාදයට අනුව රාජපක්ෂ නායකයන් යනු ජාතියේ යහපතේ අනුත්තර නියෝජිතයන් පිරිසකි.
පුත්ගල නම් හා පක්ෂයේ නම වෙනස් උවද ජා.ජ.බ. ෆේස් බුක් බලකායේ වර්තමාන හැසිරීම තුල ප්‍රකට වන්නෙද මේ අදහස් පද්දතියමය.
වර්තමාන තත්වයේ බයානක කම නම් රාජපක්ෂ බලකායේ පහලම සිටි සාමාජිකයින් මහින්දගේ රුව ඇඟේ කෙටූ පච්ච සමගින්ම ජා.ජ.බ.ය වෙත පැමිණ තිබීමයි.
රාජපක්ෂවාදය ශක්තිමත් වීමේ ශුවිශේෂී තාවය වූයේ එය සිංහල බෞද්ධ ලුම්පන් ජාතිකවාදයේ අනුබලය තුල පදනම් වීමය. ඇත්තෙන්ම රාජපක්ෂවාදයට ජවබලය සැපයුවේ සිංහල බෞද්ධ ජාතිකවාදය විසිනි. මේ මොහොතේ ගරාවැටෙණ පොහොට්ටුව අතහැර ජා.ජ.බ.ය වෙත එන මේ බහුතර ලුම්පිත සමාජ ස්තරය නිසා අනාගතයේදී ජා.ජ.බ.යට දේශපාලන වශයෙන් වගකීමට වන්නේද එකී ජාතිවාදී ස්තරයටමය.
මෙහිදී රාජපක්ෂවාදය යනු අන් කවරක්වත් නොව නිශ්චිත කාලයක් තිස්සේ බිමේ පසුගාමීත්වය තුල වර්ධනය වූ සිංහල බෞද්ධ ජාතිකවාදයේ හෙජමොනික පැවැත්මකි. දැන් රාජපක්ෂ හිස නැති එකී සිංහල බෞද්ධ හෙජමොනිය කවන්දයක් සේ නන්නත්තාරව සැරිසරයි. මේ මොහොතට අදාලව එයට විකල්ප හිසක් හමුවී ඇත. ඒ ජා.ජ.බ.යයි.
ජා.ජ.බ.යේ පූර්වගාමියාවූ ජ.වි.පෙ.යනු දෙමළ ජනවර්ගයට එරෙහි යුද්ධයට මහින්දව බලෙන් ඇදගෙන ගිය රාජපක්ෂ වාදීන් අතික්‍රමණය කල ජාතිකවාදී පක්ෂයකි. එසේ හෙයින් (තාවකාලිකව) රාජපක්ෂ හිස අහිමිවු සිංහල බෞද්ධ ජාතිකවාදී කවන්දයට හිසක් වීමේ මූලික සුදුසුකම ඔවුන්ට ඇත. (විජිතගේ බර අවි කතාව ඔවුන්ගේ ජාතිකවාදී ඉතිහාස නරුමත්වය උපරිම ගිය මොහොත ලෙස අපට හඳුනාගත හැකිය).
මෙහිදී යම් පමණකට ජ.වි.පෙ. වෙනත් ලිබරල් මතවාද සමඟ සංයෝග වී සාධනීය අස්තානයක වර්තමාන ජා.ජ.බ.ය තිබුන ද මේ අළුත් රාජපක්ෂ ඕඩියන්ස් එක විසින් ඔවුන්ව පරණ ජාතිකවදී ගොහොරුව වෙතම ඇදගෙන යාමට නියමිතය.
රාජපක්ෂවාදයේ පැවති වාර්ගික අගතීන්ට එරෙහිව ස්වාධීන මිනිසුන් විසින් කල ප්‍රජාතන්ත්‍රවාදී විවේචන පවා රාජපක්ෂ වාදීන් අර්තගන්වා ගත්තේ සිංහල ජාතියට කල කෙනෙහිලි කම් ලෙසය. එහිදී ඔවුන්ට අනුව රාජපක්ෂවාදය යනු උත්කෘෂ්ඨ පරම වාදයකි. එයට විරුද්ධ වන සෑම වාක්‍යයක්ම ජාතියට එරෙහි කුමන්ත්‍රණයක කොටසකි.
මේ මොහොතේ ජා.ජ.බ.ෆේස් බුක් බලකායේ ඇත්තේද එයටම සමාන අදහස් පද්දතියකි. මෑතකදී ලාල් කාන්ත හෙදියන්ගේ වෘතීය සමිති රැස්වීමක කල කතාවක් සම්බන්දව දියුණු විවේචන ගෙන ආ පුත්ගලයන් පවා ජා.ජ.බ.ෆේස් බුක් බලකාය විසින් ෆැලැට් න්‍යායෙන් කම්බස්කර දැමීය. ඔවුන්ට අනුව ලාල් කාන්තගේ කතාවේ වැරදි පෙන්වීම පවා රට බේරා ගැනීමේ අවසන් සටනට අහිතකර ලෙස බලපායි.
දේශපාලනඥයින් පොදු මහජනතාව ඉදිරියේ පරීක්ෂාවට බාජනය විය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පවතින ප්‍රධාන මූලධර්මයකි. යම් තැනකදී දේශපාලනඥයින් ප්‍රශ්ණ කල නොහැකි යැයි පවසන මෙවන් දෘෂඨිවාදයක් ක්‍රියාත්මක වෙයිද, එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ලෙස අප අර්තකතනය කරගත යුතුය.
පොහොට්ටුව යනු ප්‍රතිගාමී අදහස් නියෝජනය කරන කඳවුරකි. නමුත් ඔවුන්ට දේශපාලනය කිරීමට ඇති අනුලංගනීය අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෙසෙන සෑම සියළු දෙනාටම පිළිගැනීමට සිදුවේ. එසේවෙතත් මේ වනවිට ජා.ජ.බ.යේ අනුගාමිකයින් පොහොට්ටුව පමණක් නොව ස්වාධීන කන්ඩායම් පවා වර්ගකරමින් සිටින්නේ ජාතියේ ජයග්‍රහණය පවාදෙන දුෂ්ඨ බලවේගවල ඉත්තන් ලෙසය. මෙහිදී මේ ස්වාධීන කන්ඩායම් වලට දේශපාලනය කිරීමට ඇති අයිතිය ජා.ජ.බ. අනුගාමිකයන් පිළිනොගනී. ඒ අනුව චන්දය ඉල්ලීමට ශුද්ද අයිතිය ඇත්තේ ජා.ජ.බ.යට පමණි. මේ මනෝබාවය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්කල එතරම් යහපත් එකක් නොවේ. එවැනි මානසිකත්වයක් හරහා බලය ලබාගන්නා පාලන තන්ත්‍රයක් නුදුරේදි අතිශය මර්ධනකාරී අනපනත් වලටද නැබුරු විය හැකිය.
රටක චින්තනයේ වර්ධනයක් වනවා යනු පොදු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් ආකල්පවල සිදුවන දියුණුවක් මිස යම් සර්වාධිකාරී මතයක් ශක්තිමත් වීමක් නොවේ.
රාජපක්ෂ වාදය තුල “ජාතික ආරක්ෂාව” “රට බේරාගැනීම” වැනි සංකල්ප බලාත්මක උනේ නිදහස් මහජන අබිලාශ ලෙස නොව තද බල දෘෂඨිවාදී කරණයට ලක්වු ප්‍රභූ අදහස් පද්දතියක් ලෙසය. මේ මොහොතේද “හොරු පන්නමු” වැනි සටන් පාඨවල පවා ඇත්තේ ජනතා ආකර්ෂණය ග්‍රහණය කරගැනීම සඳහා වන ජනප්‍රිය දෘෂ්ඨිවාදයක් මිස අවංක ව්‍යාපෘතියක් නොවේ.
මෙහිදී යුග යුග ගනනාවක් තිස්සේ ජාතික ආදායම මෙන් කීපගුණයක ජාතික වියදමක් පවතින රටක හොරු පන්නා දමා සියල්ල නීතියානු කල පමණින් මේ මහා අර්බූදය විසඳෙන්නේ නැත.
අර්බූදය ඇත්තේ රටට ඔරොත්තු නොදෙන මහා රාජ්‍ය නිලධාරී ස්තරයක් හා සමාජයක් විදියට දැවැන්ත සුබසාධනයක් මත නඩත්තුවෙන මහා සමාජය තුලමය. “හොරු පන්නමු” ජනප්‍රිය සටන් පාඨ හරහා ඇතැම්විට බලය අතට ගත හැකිය, නමුත් ඉන්පසු සැබෑ අර්බුදය සම්මුඛ වීම වැලැක්විය නොහැකිය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN