ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා – ජනපති

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි. පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා. ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආනයන අපනයන වෙළඳපොළ හැකිළුණා. අප සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවයි. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින් යුතුව පියමැනිය යුතුයි.
කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.

රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට යෝජනාවක් අද ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සහ තාක්ෂණය එක් කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ශක්තිමත් ආයතන ව්‍යුහ ඇති කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් කටයුතු කරනවා.

පසුගිය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. එම පැවති මතභේද නිසා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට දේශපාලන අධිකාරිය ගෙන ආ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවට සිදු කරන්නට වූයේ නැහැ. නිවැරදි වෙලාවට යහපත් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට දුෂ්කර වූ කාලයක් තිබුණා. නිවැරදි වෙලාවට ආයතන ව්‍යුහ වෙනස් නොකිරීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අප බොහෝ දේ අත්පත් කර ගැනීමට පෙර පිටස්තරයන් අපේ දේවල් අත්පත් කර ගනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන ගැනීමට තිබූ සමහර අවස්ථා රටක් ලෙස අපට අහිමි වුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. මේ වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.”

විශේෂ මෙහෙවරක් සිදු කළ රේගු නිලධාරීන් 20ක් ඇගයීම සදහා ලෝක රේගු සංවිධානය නිකුත් කර ඇති සහතික පිරිනැමීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. නිලධාරීන් දෙදෙනකු සඳහා කුසලතා සම්මානද මෙහිදී පිරිනැමිණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු සමරු තිළිණයක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, නීතිපති පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද , රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...