ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ චෝදනා එල්ල කරමින් පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානොත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් වෙත යාමට එම රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා සිටින්නේද ඇප මතය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.
හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියෝග කරන ලදී.
මේ අතර මෙම සිද්ධියට අදාළව සැකකරුවෙක් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
හිටපු ජනාධිපති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති අතර මේ වන විට ඔහු සිය නිවසේ නොමැති බවත් ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බවත් සඳහන්.


