හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතා යෝෂිත රාජපක්ෂව පහුගිය සෙනසුරාදා උදේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු එදා සවස රිමාන්ඩ් කෙරුණා, සඳුදා උදේ නැවත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වුණා.
ඔය අත් අඩංගුවට ගැනීමට හේතුව රුපියල් මිලියන 34ක් වටිනා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක්. නඩුවට අදාළ නීතිමය කාරණා ටික දෙපැත්තේ නීතීඥවරුන් ඉදිරි දිනවල උසාවියේදී කතා කරගනීවිනේ. අපි මේ කතා කරන්න යන්නෙ නඩුවට මුල් වෙච්චි සිද්ධිය සහ ඕකෙන් තරුණ කොල්ලො කෙල්ලොන්ට ඉගෙන ගන්න තියෙන පාඩම ගැනයි. මොකද, හැම කතාවකටම දෙපැත්තක් තියෙනවානෙ …
යෝෂිත රාජපක්ෂගේ පරණ ප්‍රේම කතාව රටම දන්න ප්‍රසිද්ධ දෙයක්. අනුන්ගෙ දේවල් අපට වැඩක් නැති වුණත් ඕක පහුගිය කාලේ ජාතික ප්‍රශ්නයක් හැටියට කීප වතාවක්ම උඩට ඇවිත් තිබුණා. මේ නඩුවත් පටන් ගන්නෙ එතනින්. යෝෂිතගේ පරණ පෙම්වතිය යසාරා අබේනායක පදිංචි නිවස තියෙන්නේ අංක 01, කෙකටිය මාවත, රත්මලාන කියන ලිපිනයේ. මේ නඩුවට අදාළ වෙන ඉඩම තියෙන්නේ අංක 04, කෙකටිය මාවත, රත්මලාන කියන ලිපිනයේ.
තමන්ගේ ගෙදර ළඟ තියෙන අංක 04, කෙකටිය මාවත, රත්මලාන කියන ඉඩම විකුණන්න එහි හිමිකාරිය වන මානෙල් රත්නායක කියන කෙනා සූදානම් වෙලා ඉඳපු බවත් ඒ කාලේ යෝෂිත තමන්ගෙ ගෙදර ආපු වෙලාවක තමන් මේ ගැන ඔහුට කියපු බවත්, එහෙම කිව්වේ ඔහු ඉඩම් මිලදී ගන්න උනන්දුවක් දක්වපු නිසා බවත්, ඒ අනුව ඒ ඉඩම යෝෂිතගේ පුංචි ආච්චි වන ඩේසි ෆොරස්ට් යන අයගේ නමින් මිලදී ගත් බව තමන් දන්නා බවත් යසාරා අබේනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා. ඔය කටඋත්තරය උඩ තමයි නඩුව යන්නේ.
ඩේසි ෆොරස්ට් කියලා කෙනෙක් තමන් දැකලා නැති බවත්, යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීම මත තමන් මේ ඉඩම් ගනුදෙනුවට මැදිහත් වුණු යෝෂිතගේ උපදෙස් මත ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් තමන්ට සල්ලි ගෙනත් දීපු බවත් ඒ සල්ලි තමන් ලූෂන් රත්නායක නමැති අයට දීපු බවත් වසන්ත ජයසූරිය නමැති කෙනෙක් CIDයට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ඩේසි ෆොරස්ට් මේ ඉඩම ගන්න රුපියල් මිලියන 24ක් දුන්නාය කියන කතාව බොරු බවත් ඔහු කියලා තියනවා. ඔහොම තමයි නඩුව ගොඩනැගෙන්නේ.
සාමාන්‍යයෙන් අපේ රටේ හැටියට තමන්ගෙ බිරිඳ හෝ පෙම්වතිය යම්කිසි දේපළක් ගමුයි කියලා යෝජනා කළොත් පිරිමියෙක් ඕකට සෑහෙන්න උනන්දු වෙලා ඒක අරගන්නවා. කසාද බඳින්න ළංවෙලා හෝ බැඳපු අලුත හෝ ඉඩමක්, ගෙයක් ගන්න ප්ලෑන් කරන එකත් තරුණ ජෝඩුවකගේ සාමාන්‍ය දෙයක්. පෙම්වතිය කියපුවාම ඕනෙ එකක් කරන මිනිස්සුත් ඉන්නවා, වටේපිටේ තියෙන ඉඩම්, ගෙවල් පුළුවාන් තරමක් ගන්න ආසා කරන අයත් ඉන්නවා … ඔව්වා ඔහොම තමයි.
ඒ වගේම අපේ රටේ හැටියට කසාද බඳින්න ඔන්න මෙන්න තරමට දුරදිග ගිය ප්‍රේම සම්බන්ධයක් කඩන් වැටුණු ගමන් බොහෝ වෙලාවට වෙන්නෙ එක පාර්ශ්වයක් අතට අහුවෙන ඕනෙ එකකින් ඇදලා ඇරලා පළිගන්න බලන එක. එකටම කරන්න ඉඳපු ඒවා තමුන්ගෙ පැත්ත බේරාගෙන පාවාදෙන අවස්ථා ඕනෙ තරම්. මෙතනත් වෙලා තියෙන්නෙ ඔහොම එකක් ලු. තමුන්ම ගන්න කියපු, තමුන්ගෙ පවුලෙ අයත් මැදිහත් වෙලා උනන්දු කරපු ඉඩමේ කතාව එළියට දාපු සීන් එකක් ලු.
ඕක ඔතෙන්දී විතරක් නෙවෙයි, මෑත කාලේ තවත් උදාහරණයක් තියෙනවා. ඒ තමයි අර්ජුන් ඇලෝෂියස්ගෙ සිද්ධිය. අර රවී කරුණානායකට දීපු සුපිරි මහල් නිවාස සංකීර්ණයක ගෙදර කතාව එළියට ඇදෙන්නෙත් ඇලෝෂියස්ගෙ පරණ පෙම්වතියකගෙන්.
ඉතින් දේපළ ගන්න සල්ලි හෙව්වේ කොහොමද කියලා හොයාගන්න එක, ඔප්පු කරන එක ඒ අදාළ පාර්ශ්වවල වැඩක්. මේ ටික ලිව්වෙ ඒකට නෙවෙයි.
කොල්ලනේ, කෙල්ලනේ ඔය බඳිනවාමයි කියලා කියාගෙන තරුණ කාලෙ කොරන ගොඩක් එව්වා පස්සෙ කාලෙක බඳින්න වෙන්නෙ නෑ. ඒ හින්දා පොඩ්ඩක් පරෙස්සමින්. අනාගතේ ගැන අහස් මාළිගා මැව්වාට කමක් නෑ, ඒවා හදන්න පොළවේ ඉඩම් ගන්න ගිහින් පස්සෙ තරහා වෙච්චි කාලෙක CID යන්න සිද්ධ වෙන වැඩ කරගන්න එපා. විශේෂයෙන් කොල්ලන්ට කියන්නෙ, ඔය “ඇගේ වෛරය” සීන් එක හරි භයානකයි. ඒ හින්දා ඔය වයසෙදි හොඳ කල්පනාවෙන් වැඩ කරහල්ලා ….