සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් එල්ල කළ හැකි ඕනෑම ප්‍රහාරයකට “වහාම සහ බලවත් ලෙස” ප්‍රතිචාර දැක්වීමට ඉරාන සන්නද්ධ හමුදා සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය හරහා දැවැන්ත නාවික හමුදාවක් ඉරානයට ළඟා වෙමින් තිබෙන බවත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඉරානය මේසයට ආ යුතු බවත්, ටෙහෙරානය ගිවිසුමකට එකඟ වීමට අපොහොසත් වුවහොත්, ඊළඟ ප්‍රහාරය වඩාත් නරක වනු ඇති බවත්, ප්‍රකාශ කර පැය කිහිපයකට පසු ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සිය සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබිණ.
පසුගිය වසරේ ජුනි මාසයේදී ඊශ්‍රායලය විසින් රටට එල්ල කරන ලද දින 12ක් පුරා පැවති මිලිටරි ප්‍රහාරයෙන් ඉරානය වඩාත් පාඩම් ඉගෙනගත් බවත්, එය ඉරානයට වේගයෙන් සහ ගැඹුරින් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලබා දී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
කලාපයේ ඊශ්‍රායල ආධිපත්‍යයට අභියෝගයක් වන ඉරාන න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට වොෂින්ටනයට අවශ්‍ය බවත්, පසුගීයදා රටේ උද්ධමනය 60%කින් ඉහල යාම හා දිව්‍යානඩු නායකත්වයට එරෙහි විරෝධතා මැඩ පැවැත්වීමට රජය විසින් ක්‍රියාත්මක කළ මර්දන ක්‍රියාවලිය හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපයට ගෙන යාමෙන් පසු මේ සතියේ නැවතත් ආතතීන් ඇති වූ අතර එය මිලිටරි ගැටුමක් පිළිබඳ බියක් ඇති කර ඇත.
ටෙහෙරානය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව යන දෙකම මේවන විට හෝමූස් සමුද්‍ර සන්ධිය අසල හමුදා අභ්‍යාස නිවේදනය කර ඇති අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අනතුරු අඟවා ඇත්තේ ඕනෑම ප්‍රහාරයකදී එක්සත් ජනපදය ඔවුන්ගේ භූමිය භාවිතා කළහොත් අසල්වැසි රටවල් සතුරන් සේ සලකා ප්‍රහාර දියත් කරන බවයි.
මේ හේතුවෙන් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඊජිප්තුව කිසිදු ප්‍රහාරයක් සඳහා තම ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට නිවේදනය කර ඇති අතර සාමකාමිව කටයුතු කරන ලෙස දෙපාර්ශවයෙන් ඉල්ලා ඇත.

