නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW:
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් මාධ්‍ය යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ,“ තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ-අපි එයාලට ගරු කරන්න ඕනි.“ යනුවෙනි.ඔහු පෙන්වා දුන්නේ යම් විශ්වාසයක් ඇතුව එම වගකීම ඔවුන්ට පවරා ඇති බැවින් එයට ගරු කරනවා මිස,වාද විවාදවලට නොයා යුතු බවය.එහෙත් දසුන් පෙන්වා දුන්නේ එම සියළු තීරණවල සාමූහික එකඟතාවයක් තිබෙන බවය.
කුසල් ජනිත්ව කණ්ඩායමේ සිටීම ගැන අදහස් දක්වමින් දසුන් ශානක පැවසුවේ ඔහුගේ අත්දැකීම් ලෝක කුසලානය වැනි තරගාවලියකට වැදගත් වනු ඇති බවය.එසේම ඔහුව අංක 4 හෝ 5 දක්වාම පාවිච්චි කිරිමට හැකිවීමේ වටිනාකම ගැනත් දසුන් කරුණු පෙන්වා දුන්නේය.
දසුන් පැවසුවේ පල්ලෙකැලේ තරග සඳහා සංචිතයේ 16 ක් පැමිණිය ද,ලෝක කුසලාන තේරීම් ඉලක්ක කර නම් කළ 25 ක සංචිතයේ සිටින ඉතිරි පිරිස වෙනුවෙන් කොළඹ ඛෙත්තාරාමයේ වෙනම පහසුකම් සළසා අඛණ්ඩව පුහුණු කටයුතු සිඳුවන බවය.ඔවුන් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ඇමෙරිකාව,නේපාලය වැනි කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර ඇති බව ද නායක දසුන් ශානක පෙන්වා දුන්නේය.
ට්‍රෙවෝන් මැතිව්ස් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නායකයා අදහස් ප්‍රකාශ කළ අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අවධානයෙන් නිර්මාණය කළ ක්‍රීඩකයෙකු බව පැවසූ අතර ලෝක කුසලානයෙන් පසුව ඔහුට බොහෝ විට කණ්ඩායම තුළ ස්ථානයක් සඳහා විශාල අවස්ථාවක් නිර්මාණය වනු ඇති බව ද පෙන්වා දුන්නේය.


