‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ ආගම මුල්කොටගත් රාජපක්ෂ රෙජීමයේ නිල දෘෂ්ටිවාදය මිස මහින්ද රාජපක්ෂ යන තනි පුද්ගලයා විසින් මෙහෙයවන ලද හා ආභාසය සපයන ලද කේවල චින්තනය (වත්මන් රැඩිකල් වාමවාදීන්ට අනුව ‘බයි චින්තනය‘) නොවන බව කලකට පෙර ලියන ලද ලිපියක පැහැදිලි කළෙමි. ‘මහින්ද දෘෂ්ටිවාදය’ පරාජය කළ යුත්තේ ඇයි? යන හිසින් වෙබ් අවකාශ කිහිපයකම පළ වූ එම ලිපියෙහිම සඳහන් කළ පරිදි “මහින්ද දෘෂ්ටිවාදය යනු මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයා සිතන පතන ආකාරය පමණක්ම නොවේ. එය, සමාජයේ සුවිශේෂී පිරිසක් අවට ලෝකය බලන කණ්ණාඩිය බවටද පත්ව තිබේ.

ශිෂ්ටාචාරවත්භාවයේ මූලික නිර්ණායක පවා උල්ලංඝනය කරන මේ ප්‍රාථමික චින්තන රටාව අන්ධානුකරණයෙන් වැළඳගත් පිරිසක්ද තවමත් අප අතර සිටින බව උග්‍රතර මහින්ද භක්තිකයන්ගේ හැසිරීමෙන් හා අදහස්වලින්ද මනාව පසක් වෙයි. අප මෙය පරාජය කළ යුත්තේ ඇයි? මිථ්‍යාව, මායාව, ආගමික අවභාවිතය, ව්‍යාජ දේශප්‍රේමය, ජාතිවාදය ආදී ශිෂ්ටාචාරයට පටහැනි අංගලක්ෂණවලින් පිරී පවතින මේ දෘෂ්ටිවාදය සමාජයෙන් තුරන් කළ යුත්තේ, එසේත් නැතහොත් එය සමාජය තුළ අඩපණ කළ යුත්තේ නැවත වරක් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දේශපාලනික අවශ්‍යතාවක් ලෙස පමණක් සලකා නොවේ. අනාගත පරපුර දෙස බලන විට, එසේ කිරීමේ සමාජ–සංස්කෘතික වගකීමක්ද අප ඉදිරියේ පවතී.

මෙම ලිපියේ අරමුණ, මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයාගේ මානසික මට්ටම හා චින්තන රටාව “මහින්ද දෘෂ්ටිවාදයක්” ලෙස සමාජගත වීමේ අභාග්‍යයෙන් ගැලවීමේ කාලීන වැදගත්කම අවධාරණය කිරීමයි.” යනුවෙන් කල්තියාම එහි තර්ක කළෙමි. ඊට වැඩිමනත් වශයෙන් එහි පහත කාරණය ද අවධාරණය කළෙමි:

“දේශපාලනික සංස්කෘතියක් අසලටවත් පරිණාමය නොවී ඇති අප රටෙහි මහින්ද පරාජය කළ පමණින් දේශපාලනික පරමාදර්ශ බිහිවනු ඇතැයි සිතීම මුළාවකි. “මහින්ද දෘෂ්ටිවාදය” පරාජය කිරීම සමස්ථ ජාතියක් වශයෙන් අපට වැදගත් චින්තනමය විප්ලවයක් වන්නේ එය, සමාජ යථාර්ථය දෙස බැලිය හැකි තවත් ආකාර ඇති බව පිළිගැනීමට තරම් නිහතමානී විචාරවත් සමාජ මනසක් ස්ථාපිත කිරීමේ වැදගත්ම පූර්ව කොන්දේසිවලින් එකක් වන හෙයිනි.”

මෙම කෙටි ලිපියට අවශ්‍ය දෘෂ්ටිවාදීමය ප්‍රවේශය වශයෙන් ඉහත උදෘත දෙක යොදා ගන්නෙමි.

‘රාජ්‍යය‘ සහ ‘ආණ්ඩුව‘

මෙම ක්‍රියාවලීන් දෙක අතර ඇති වෙනස වටහා ගනු වස් දේශපාලන න්‍යායය තුළ මතු වන සරලතම පැහැදිලි කිරීමක් කෙරෙහි ඔබ අවධානය යොමු කරනු කැමැත්තේ එය එකම දේ නැවත නැවත කියවීම වෙනුවට ‘රිපීට් කිරීමට‘ අදාළ බුද්ධිමය පසුබිමක් සපයනු ඇති බව මා විශ්වාස කරන බැවිනි. ඉතාම සරල බසින් කිවහොත් ‘රාජ්‍යය‘ යනු විවිධ බහුමානීය කතිකා (discourses) රාශියකින් සමන්විත සංකීර්ණ යාන්ත්‍රණයක් වන අතර ‘ආණ්ඩුව‘ යනු නිදහසෙන් පසුකාලීන යුගයේ මේ තාක් කල් සක්‍රියව පැවතෙන ගොනා ඩ්‍රයිව් කිරීමේ කරත්තකාරයාගේ භූමිකාවට පණ දෙන කරත්තකාරයෙකු නොවේදැයි මා ඔබෙන් අසන්නේ ගොනා යන්නේ කරත්තකාරයා දක්කන දිශාවට නොවේද? යන පැනයද අධ්‍යහාරයෙන් ගම්‍ය කරමිනි. ඇත්තටම රාජ්‍යය යනු ගොනෙකි. අප එදා මෙදාතුර දේශපාලන පුරාවටම අත්වින්දේ ආණ්ඩුව යනු තමන්ගේ පෞද්ගලික පක්ෂ න්‍යායපත්‍ර පෙරදැරිව එම ගොනා හසුරුවන කරත්තකාරයා නොවන්නේද? යන පැනයයි!

මේ අරුතින් ගත් කල ලංකාව රටක් ලෙස භූගෝල විද්‍යා පොත්වල සඳහන් වුව ද ඇත්ත වශයෙන්ම එය වනාහි කලින් කල පත් වන ආණ්ඩු නමැති කරත්තකරුවන්ගේ පෞද්ගලික පක්ෂ දේශපාලනය දිගේ ඉස්සරහට (කෙසේ වෙතත් පස්සට) ඇදගෙන යන ලද ගොනෙකුට ලඝු වූ බව ඒ ඇසුරින් පැහැදිලි කරගත හැකි වනු ඇතැයි සිතමි. ආණ්ඩුව UNP වන විට රාජ්‍යය යනු එජාපෙ ය. ආණ්ඩුව ශ්‍රීලනිප වන විට ලංකාව යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ය. ආණ්ඩුව පොහොට්ටුගත වන විට ලංකාවම පොහොට්ටුවකට එහා ගිය ඒකකයක් මිස අන් යමක් නොවේ ය. සරලම සහ අත්දකිමින් සිටින උදාහරණ ඇසුරින් කියන්නේ නම් ආණ්ඩුව NPP නොහොත් ජාතික ජන බලවේගය වන විට මේ තර්කයට අනුව රාජ්‍යය ද NPP නොහොත් ජාතික ජන බලවේගයක් විය යුතු නමුත්, පරස්පරවිරෝධී වුවද පැහැදිලිව වටහා ගත හැකි පරිද්දෙන්ම එය හුදෙක්ම ‘ජවිපෙ‘ බූදලයක් බවට පත් වීමේ දේශපාලනය​ ද අප තේරුම් ගත යුත්තේ මෙම අසංකීර්ණ පසුබිම තුළම බව කිව යුතු ය. කිරුළ NPPයේ වුණාට, රට ජවිපේ ය. මා මෙම ලිපිය මුලදී ම ‘මහින්ද දෘෂ්ටිවාදය” ගැන මගේ අර්ථකථනය සිහිපත් කළේ එබැවිනි.

‘එහෙයියන්‘ සහ ‘දේශපාලනික බයියන්‘

ඉතාම පැහැදිලව තිවහොත් මේ එහෙයියන් සහ බයියන් යන දෙවර්ගයම අප සෑම සියලු දෙනා ඇතුළත ම ජීවත් වෙත්. එහෙත් මෙහි ගැඹුර වටහා ගැනීමට අපට සිදු වන්නේ මේ දෙකම ඉදිරියට ‘දේශපාලනික‘ හා ‘දෘෂ්ටිවාදීමය‘ යන විශේෂන පද දෙක එකතු කර බැලූ විට ය. රාජපක්ෂ ආණ්ඩුව ලසන්තව මහමඟ මරා දමන විට ඔහු ‘සිංහල කොටියෙකි‘ නොහොත් පවතින බහුතර ආණ්ඩුුවේ විරෝධියෙකි. එක්නැලිගොඩ ඉඳුරාම ‘කොටියෙකි‘ යන මතය දීර්ඝ වශයෙන් සමාජගත වූවකි. තාජුඩීන් සංසිද්ධිය කිසිදු ජාතිවාදී රැල්ලකට ගොනු කළ නොහැකි වුවත් එහිද බර සැහැල්ලුකරණය කිරීමට දරන ලද පෞද්ගලික හා අපෞද්ගලික ප්‍රයත්න අපට මතක ඇත. එවන් පසුබිමක් තුළ මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන කල මහින්ද රෙජීමයේදී පරිදිම කොන්දේසිවිරහිත එහෙයියන් සහ සංරක්ෂකයින් රැල්ලක් මැදේදේ අයාලේ යන හිතළුවක් තරමටම මෙය ද බාල්දු වී ඇති බව නොකියාම බැරිය.

ජවිපෙ ඉස්සරහට දමාගෙන ඡන්දයට පැමිණියේ නම් වත්මන් ආණ්ඩුවට හමු වන බහුතරයක් තියා කිසිදු බිබික්කමක් නොමැති වනු ඇතැයි හැඟුණු විට ඔවුන් උපායශීලීව ඊට NPP කෑල්ලක් එකතු කොට ‘මුළු රටම NPP’ වැනි හැඟීමක් ජනනය කිරීමට දරන ලද උත්සාහය මැතිවරණ විෂයිකව සාර්ථක වූ බවත්, ඊට මේ ලිපිය ලියන මම ද සහාය දැක්වූ බවත් පිළිගනිමු. එතෙකුදු වුවත්, පත්වූවායින් පසුව ක්‍රියාත්මක වන අති හිතුවක්කාර පාලන විලාසය දෙස බලන විට NPPය දැන් කැළේද? ආණ්ඩුව ජවිපේ ද වැනි ප්‍රශ්න නොඅසා සිටින්නට ද බැරි ය. කණගාටුවට කරුණ වන්නේ මහින්දගේ ‘බයියන්‘ ඉතාම බරපතල විවේචනයට ලක් කළ ‘ජෙපි බයියන්‘ පිරිසකගේ‘ ග්‍රහණයට වත්මන් NPP ආණ්ඩුවද ගොදුරු වි ඇතිදැයි නොඅසා සිටින්නට අපට බැරි කම ය. තමන් කඩේ ගිය ආණ්ඩුව මොකක් කරත් රැකිය යුතු ය සහ ඊට එරෙහි විවේචනය​ ‘මොකක් නමුත්‘ පරාජය කළ යුතු ය යන දේශපාලනික වශයෙන් අඳබාල තර්කය ආණ්ඩු බැලයන්ගේ ගැලවුම් වාක්‍යය බවට පත්ව තිබෙනු බව දකින්නට ලැබීම ද ඛේදයකි.

බලයට පත් වන ආණ්ඩු විවිධ තර්කාභාස මැද්දේ තමන්ගේ පක්ෂය රකින්නට තැත් කළ ද පුරවැසියන් සෑම විටම පෙනී සිටිය යුත්තේ අප නියෝජනය කරන ‘රට‘ වෙනුවෙන් පෙනී සිටීම බව මතක් කරන්නට සිදු වීම ද ඛේදයකි!

ආණ්ඩු නරක් කරන්නේ ඒවායෙහි උද්ධච්ඡ හා පෞද්ගලික–පක්ෂවාදී න්‍යායපත්‍ර පමණක් ම නොවේ. ඉහත කී පරිදි කොන්දේසිවිරහිතව තමන් ඡන්දය දුන් පාර්ශ්වයේ රෙදි අපුල්ලන්නට සූදානමින් සිටින විද්වතුන්, වෘත්තිකයන් සහ ‘හුදී ජනයාද‘ එහි ලා ඉටු කරන සේවය අපමණ ය. වත්මන් ආණ්ඩුවට මහින්ද යාන්ත්‍රණයේ දූෂණයන්ට එරෙහිව පියවර ගැනීමේ නිරන්තර උත්සාහය අපි අගය කරමු. එතෙකුදු වුවත්, තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත ඇතුළු එකී රෙජීමයේ සහ ඉන් පෙර අනේකවිධ වින්දිතයන් වෙනුවෙන් කටයුතු කිරීමට මේ ආණ්ඩුව දක්වන ලාලසාමය කම්මැලිකම ගැනද ලැජ්ජා විය යුතු ය. දෘෂ්ටිවාදය යනු යම් දී ඇති යුගයක් පුරාවට ක්‍රියාත්මත වන බල හස්ථයේ හෙජමොනිගත පාලනය යි. කණගාටුවට කාරණය වන්නේ NPP ආණ්ඩුවක් පත් කිරීමට කැප වූ එහෙත් නොදැනුවත්වම වාගේ ‘ජවිපෙකරණයට‘ ලක් වූ ‘බයි‘ කොට්ඨාසයක් මේ කාරණා තේරුම් නොගැනීමයි!

මහින්ද දෘෂ්ටිවායේ ආසන්නතම අනුප්‍රාප්තිකයා වූ මෛත්‍රිපාල​ සිරිසේන සම්බන්ධයෙන් ද ලියන ලද ලිපියකදී ද ම‘විසින් අවධාරණය කළාක් මෙන් අප මේ දැනුදු ගත කරමින් සිටිනුයේ ‘මහින්ද දෘෂ්ටිවාදයේ‘ ඊළඟ කාර්තුවේ ද?

~ අශාන් වීරසිංහ