ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව පවතින නඩු දෙකකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
2008 වසරේදී සිදුවූ රුපියල් ලක්ෂ 250ක මූල්‍ය වංචා සිද්ධියකට අදාළව ජගත් මනුවරණ ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
මෙම නඩුව පසුගිය ඔක්තෝබර් මාසයේදී අවසන් වරට කැඳවූ අවස්ථාවේදී ද ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ තම සේවාදායකයා රජයේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකට සහභාගී වී සිටි බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි බව ය. ඊට පෙර නඩු වාරයේදී ද ඔහු අසනීප බව පවසමින් අධිකරණයට පැමිණ නොසිටි බව සඳහන්.
අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.


