*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?‍

“එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ…” සුනිල් පෙරේරා ශූරීන් අද අප අතර සිටියේ නම්, ලෝකේ උතුම් රට ලංකාව කිරීමට ඔහු ගැයූ ගීතයේ පදපෙළ වෙනස්කරන්නට පවා ඉඩ තිබිණි. ඒ අන්කවරක් නිසා නොව, මීට දින දෙකකට ඉහත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මුළුමහත් ලොවක් ඉදිරියේ යළියළිත් ඔප්පු කළ සිය තක්කඩිකම සමකරන්නට දේශපාලුවකු ශ්‍රී ලංකාව හැර වෙනත් රටකින් සොයාගැනීමට වත් හැකිවේ ද යන පැණය අප හමුවේ දිගහැරෙන නිසා ය.

මීට දින දෙකකට ඉහත පාර්ටිගේට් වාර්තාව නිකුත් විණි. මෙම වාර්තාව නිකුත් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මිය විසින් වන අතර, අදාළ වාර්තාව හරහා බ්‍රිතාන්‍ය රජයේ පාලනාධිකාරිය “බරපතල අන්දමින් අසමත් වී ඇති” බවට නිගමනය කර තිබේ. “පාර්ටිගේට්” යනු කුමක්ද යන්න ඔබ දන්නේ නැත්නම්, එය සැකෙවින් මෙසේය;

පාර්ටිගේට් ජරමරය

2020 නොවැම්බර් – දෙසැම්බර් කාලසීමාව තුළ එක්සත් රාජධානියේ ඉහළ යන කොවිඩ් අවදානම මැද දැඩි සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවා තිබියදී එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු පිරිසක් ඒ සියළු නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් සාද පැවැත්වූ බවට චෝදනා ගොනුවී තිබිණ. මෙම සාද පවත්වා තිබෙන්නේ නො. 10 ඩවුනිං වීදියේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බවටයි චෝදනා ගොනුවී තිබුණේ.

මෙම හමුවත් සමඟ හැමූ සුළිකුණාටුවක් මෙන් ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල මවන්නට පටන් ගත් අතර, බොහෝ දෙනෙකු බොරිස් ජොන්සන් ට බලකර සිටියේ තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. එවකට මේ සෑම චෝදනාවක් ම තරයේ ප්‍රතික්ෂේප කළ බොරිස් ජොන්සන් කැබිනට් ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටියේ මාධ්‍ය වාර්තා වලින් පළවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කරන ලෙසයි.

කෙසේවෙතත්, කැබිනට් ලේකම්වරයා ඉකුත් දෙසැම්බර් 17 වන දින මෙම විමර්ශනයෙන් ඉල්ලා අස්විය. ඒ, එදිනම අංක 70 වයිට්හෝල් හි කැබිනට් කාර්යාලයේ ඔහුගේ පෞද්ගලික කාර්යාලය තුළ පැවැත්වූ මාර්ගගත ප්‍රශ්නාවලියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුවූ චෝදනාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව, අදාළ විමර්ශනය පවත්වා ගෙන යෑමේ වගකීම ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මිය වෙත පැවරිණි.

මෙම විමර්ශනයේ මූලික අරමුණ වූයේ අදාළ රැස්වීම් (හෝ මාධ්‍ය වාර්තා කළ පරිදි සාදය) වල ස්වභාවය, එහි පැමිණි පිරිස, සැකැස්ම, අරමුණ, මෙම රැස්වීම් එවකට පනවා තිබූ මාර්ගෝපදේශ අනුගමනය කළේද, යනාදිය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමයි.

ඒ අනුව, 2020 මැයි මස 15 වන දින සිට 2021 අප්‍රේල් 16 වන දින දක්වා කාලය තුළ නො. 10 ඩවුනිං වීදියේ රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයන් ඡායාරූප හා විවිධ සාක්ෂි සහිතව අධ්‍යයනය කිරීමට මෙම වාර්තාව කටයුතු කර තිබේ.

මෙම වාර්තාව නිගමනය කර තිබෙන්නේ පැනවූ මාර්ගෝපදේශ යටතේ මෙම හමුවීම් දාමයෙන් බොහෝ හමුවීම් නොපැවැත්විය යුතු බවට පෙනී ගොස් ඇති බවයි. එමෙන්ම, මෙම සිදුවීම් තුළ “සාධාරිනීකරණය කිරීමට අපහසු වැරදි” සිදුව ඇති බවත්, ඒවායින් බ්‍රිතාන්‍ය රජය උගත යුතු පාඩම් රැසක් ඇති බවත්, රජයේ පාලනාධිකාරියේ ඇති බරපතල අසමත්භාවය මෙමඟින් පෙන්වන බවත් ග්‍රේ මහත්මිය සිය වාර්තාව හරහා පෙන්වා දී තිබේ.

එමෙන්ම, මෙම සමහර රැස්වීම් වලදී බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලනාධිකාරිය බොහෝ සෙයින් මත්පැන් පානය කර සිට ඇති බව ද අදාළ වාර්තාව නිගමනය කර තිබේ. මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම ක්‍රියාත්මක වන මුත්, පොලිස් විමර්ශන අවසාන වන තුරු රැඳී නොසිට එමඟින් සිදුවූ හානිය නිරාකරණය කිරීමට වහා පියවර ගත යුතු බව ද රජයට අවවාද කර තිබේ.

ලොවක් ගිනිගන්නා වසංගතයක් මධ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත ජනයා නිවෙස් වලට කොටුවී නිරෝධායන නීති වලට අනුකූලව කටයුතු කිරීමට වෙරදරද්දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ඒ සියළු නීතී උල්ලංඝනය කරමින් කා බී විනෝද වෙමින් හැසිර ඇති අන්දම අනුමත කළ නොහැකි බව සූ ග්‍රේ මහත්මිය ගේ පිටු 12 ක වාර්තාවේ නිගමනයයි.

ජොන්සන් ගේ තක්කඩිකම – පොර ඉපදිලා තියෙන්නේ ලංකාවේ ද?

මෙම චෝදනාව පිළිබඳව මුල් මාධ්‍ය වාර්තා පළ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තරයේ ප්‍රකාශ කර සිටියේ ඒ සියලු චෝදනා අසත්‍ය බවත්, කිසිඳු අන්දමක නීති උල්ලංඝනය කිරීමක් හෝ අක්‍රමිකතාවයක් සිදුව නැති බවත්ය. ඒ අනුව, මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු කැබිනට් ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණ.

දැන් විමර්ශනයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. එහෙත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දැන් පවසන්නේ කුමක්ද?

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ මොහොතේ ඉතාම නිර්ලජ්ජිත අන්දමින් බොරිස් ජොන්සන් පැවසුවේ මෙට්‍රොපොලිටන් පොලීසිය මේ පිළිබඳව විමර්ශනය කරන බැවින් සියල්ල ඉවසා වදාරා සිටින ලෙසයි. පාර්ටිගේට් වාර්තාව හරහා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති පරිදි පොලිස් විමර්ශන අවසාන වන තුරු නොසිට සිය වැරදි නිරාකරණය කර ගැනීමට රජය කටයුතු කළ යුතුය. එහෙත් වරද පිළිනොගන්නා බොරිස් ජොන්සන් මෙසේ පැවසීම තක්කඩිකමක් නොවේ නම් අන් කවරක් ද?  

එය තක්කඩිකමක් වන්නේ ඇයි? මෙම සිදුවීමේ දී ජොන්සන් ප්‍රමුඛ රජයට එරෙහිව චෝදනා 16ක් ගොනුවී තිබේ. ඉන් 12 කම විමර්ශන කටයුතු සිදුකරන්නේ මෙට්‍රොපොලිටන් පොලීසිය විසිනි. සාමාන්‍යයෙන් මෙම පන්නයේ පොලිස් විමර්ශනයක් දියත් කරන අවස්ථාවක දී එක් විමර්ශනයක් අවසාන කිරීමට අවම වශයෙන් වසරක කාලයක් වත් ගතවන බව ජොන්සන් හොඳින් දනී. ඒ අනුව, විමර්ශන සියල්ල අවසාන වීමට ගතවන කාලය පිළිබඳව තමාට ඇති අවබෝධය ද යොදාගනිමින්, මුලදී ඉහත කී කිසිඳු චෝදනාවක් පිළිනොගත් හා කැබිනට් විමර්ශනයක් ඉල්ලා සිටි බොරිස් ජොන්සන් දැන් පොලිස් විමර්ශන අවසාන වන තුරු ඉවසා වදාරන්න යැයි පවසන්නේ ඔහුගේ තක්කඩිකම නිසා නොවේද?

එංගලන්තේ වරද වහගන්නේත් විපක්ෂයට බැනලා ද?

මෙම හෙළිදරව්ව සමඟ පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී බවක් හටගෙන ඇත. පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සෑම නීති සම්පාදකයකුම පාහේ බොරිස් ජොන්සන්ට දෝශාරෝපණය කරන්නට විය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක කියර් ස්ටාර්මර් පවසා සිටියේ බොරිස් ජොන්සන් යනු “ලැජ්ජා නැති මිනිසෙකු” යනුවෙනි. ජොන්සන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද ඔහු පවසා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් කම්කරු පක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, විමර්ශනයක් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයාම දැන් අපරාද විමර්ශනයක සැකකරුවකු බවට පත්වනු ඇති බවයි.

කිසිවකු අපේක්ෂා කළ නොකළ මොහොතක, ජොන්සන් ගේ කන්සර්වටිව් පක්ෂයේම සාමාජිකාවක වන හා ඔහුට පෙර බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වූ තෙරේසා මේ පවසා සිටියේ බොරිස් ජොන්සන් එක්කෝ නීති කියවා නොමැති විය යුතු, හෝ කියවූව ද එහි තේරුම කුමක්ද යන්න අවබෝධ කර ගෙන නොමැති විය යුතු බවය. මේ අතර අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ බොරු කීවේ යැයි චෝදනා කිරීම මත ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායකයා සභාගර්භයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී බව අසල බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම තම නිරවද්‍යතාවය ඔප්පු කිරීමේ වෑයමක නිරත වන අයුරු දක්නට ලැබිණි. දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිභාවය මනාව පසක් කරමින්, යොමුවන චෝදනා වලට පිළිතුරු ලබාදෙනු වෙනුවට වරක ඔහු කුපක්‍රට ළමා කාමාතුරයකු වන ජිමී සැවයිල් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකිරීම පිළිබඳව එංගලන්තයේ හිටපු ප්‍රධාන අභිචෝදකයකු වන වත්මන් කම්කරු පක්ෂ නායක කියර් ස්ටාර්මර්ට පරිභව කිරීමට මෙම මොහොත යොදගත්තේය. පාර්ටිගේට් චෝදනාවට අදාළව මන්ත්‍රීවරුන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දීම වෙනුවට ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ පොලිස් විමර්ශන අවසන් වනතුරු සියල්ල ඉවසා සිටිය යුතු බවය.

මෙහිදී කන්සර්වටිව් පසුපෙළ මන්ත්‍රීවරයකු වන ඇන්ඩෘෘ මිචෙල් අවධාරණය කර සිටියේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්වන බවත්, තමාගේ සහයෝගය තවදුරටත් ඔහුට ලබා නොදෙන බවත් ය.

බොරිස් ජොන්සන් උගත යුතු පාඩම්

බොරිස් ජොන්සන් පවසන අන්දමට පොලිස් විමර්ශන අවසාන වනතුරු කිසිවකුට බලා සිටීමට අවශ්‍ය නොවනු ඇත. තම පක්ෂයේ ම මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පාද්දී ප්‍රමාණවත් තරම් කන්සර්වටිව් මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් විශ්වාසභංගයක් ඉදිරිපත් කළහොත් ජොන්සන් ව ධුරයෙන් නෙරපා හැරීමට පවා හැකිය.

මේ අතර, පාර්ටිගේට් සිදුවීම විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට සමාලෝචනය කිරීම සඳහා ඡායාරූප 300 කට වඩා සහ තොරතුරු ඇතුළත් ලේඛන පිටු 500 කට වඩා සාක්ෂි වශයෙන් ලැබී ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි. එය බොරිස් ජොන්සන්ට නම් සුබදායී පුවතක් නොවනු ඇත.

බොරිස් ජොන්සන් උගතයුතු පාඩම් කිහිපයක් තිබේ. එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිවුන් සොයුරකු ලෙස බොරිස් ජොන්සන් හැඳින්වෙන අවස්ථා තිබෙන්නේ නිකම් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටු දෙකකට මායිම් නොකරන පුද්ගලයන් හට වැඩිකල් පැවැත්මක් නොමැති බව බොරිස් ජොන්සන් අවබෝධ කර ගත යුතු ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ට සිදුවූයේ එයයි. සුදු අන්තවාදී, වර්ගවාදී, ස්ත්‍රී-විරෝධී හා සමලිංගිකභීතික නඩයන් පිරිවරාගෙන සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතාම අවාසනාවන්ත අන්දමින් ගෙදර යන්නට සිදුවූයේ බහුතර ජනතාවකගේ ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ ය.

බොරිස් ජොන්සන් තම පූර්වගාමීන්ගෙන් උගත යුත්තේ කුමක්ද? යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීමට අදාළ බ්‍රෙක්සිට් විවාදයේදී ඩේවිඩ් කැමරොන් හිටපු අග්‍රාමාත්‍යවරයා ජනමත විචාරණයෙන් පරාජයට පත්විය. ඔහු ඉතා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ධුරයෙන් ඉල්ලා අස්විය. තම පූර්වගාමී තෙරේසා මේ ඒ හා සමානවම අසාර්ථක පාලන තන්ත්‍රය හමුවේ ඉල්ලා අස්වූවා ය. පරාජය පෙනි පෙනී බල තන්හාවෙන් කූඩැල්ලකු මෙන් එල්ලී සිටින දේශපාලුවන් අප නම් දැක තිබෙන්නේ ලංකාවේ ය. සුනිල් පෙරේරා ශූරින්ට තම ගීතයේ පදපෙළ වැරදුනා ද යන්න අපට සාධාරණ සැකයක් මතුවන්නේ මේ නිසාය.

එහෙයින් බොරිස් ජොන්සන් අගමැතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ධුරයෙන් ඉල්ලා අස්වන්න!

ප්‍රමෝද් චින්තක පීරිස්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan