Home දේශපාලන පුවත් කටකතා මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

0
2

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර් කැඳවීමේදී සීමිත කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුට පමණක් වාසි ලැබෙන පරිදි එම ටෙන්ඩර් ලේඛන සකස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මේ බව ලිඛිතව දැනුම් දෙමින් ඉල්ලා ඇත්තේ මෙම ටෙන්ඩරයේදී තරගකාරීත්වය ශක්තිමත් කිරීම, විවෘතභාවය ආරක්ෂා කිරීම සහ මහජන මුදල් සඳහා උපරිම වටිනාකම ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම ටෙන්ඩරය සඳහා නිවේදනය කර ඇති සුදුසුකම් රාමුව අනුව ප්‍රායෝගිකව ඊට ඉදිරිපත් වීමට හැකියාව ඇති කොන්ත්‍රාත්කරුවන් ගණන 6 – 7ක් පමණක් බවත් එහෙයින් මෙම ටෙන්ඩරය සඳහා ඉතාම ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවදානමක් මතුව ඇති බව පැහැදිලිය.

සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ කොන්ත්‍රාතුවක් පිරිනැමීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමේදී ඔවුන්ගේ පූර්ව අත්දැකීම් පිළිබඳ සලකා බලනු ලැබේ. එනම්, එවැනි කොන්ත්‍රාතු මීට පෙර සාර්ථකව ඉටුකර ඇතිද යන්න පිළිබඳ සොයාබැලීමයි. එහෙත් පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති ඉතාම සීමිත වූ තත්වයක් යටතේ නව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට විශාල වශයෙන් පූර්ව අත්දැකීම් පෙන්වීමට නොහැකි නිසා ඒ ඔස්සේ ද මෙම ටෙන්ඩරය ඉතාම සීමිත කොන්ත්‍රාත්කරුවන් පිරිසකට පමණ විවෘත විය හැකිය.

ඉහත කරුණු අනුව ලංසු සඳහා සුදුසුකම් ලැබිය හැකි කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව 6කට හෝ 7කට සීමා වෙද්දී ටෙන්ඩරය තුළ පැකේජ ද 7ක් ඉදිරිපත් කර ඇති බැවින් කොන්ත්‍රාත්කරුවන් එකිනෙකා සමග කතා කරගෙන ඉහළ මිල ගණන් යටතේ එක පැකේජයකට එක සමාගම බැගින් නිතරගයෙන් තෝරාගැනීමේ (Coordinated Pricing) අවදානමකුත් මතුව ඇති බව පෙනේ.

එමෙන්ම ටෙන්ඩරය සඳහා ලංසු ඇපකර ඉදිරිපත් කිරීමේදී (Bid Securities) ලංකා බැංකුව මගින් ඉදිරිපත් කරන ඇපකර භාර නොගන්නා බවට කොන්දේසියක් පැනවීම හරහා ද පැහැදිලිවම යම් කොන්ත්‍රාත්කරුවන් පිරිසකට මීට තරග කිරීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස කටයුතු කර ඇති බවක් පෙන්නුම් කෙරේ.

ඒ අනුව, මෙම ටෙන්ඩර් කාලය අවසන් වීමට පෙර වහාම මීට මැදිහත්ව,

ලංසු භාරදීමේ කාලය දීර්ඝ කිරීමටත්
සුදුසු දේශීය කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව වැඩිකිරීමට හෝ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අන්තර්ජාතික කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩරය විවෘත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හඳුන්වාදීමටත්
ලංකා බැංකුවේ ලංසු ඇපකර පිළිනොගන්නා බවට පනවා ඇති කොන්දේසිය ඉවත් කිරීමටත්

කටයුතු කරන ලෙසයි ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

අප වෙත වාර්තා වන අන්දමට, පනවා ඇති කොන්දේසි අනුව දැනට මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට හැකියාව ඇත්තේ මෙරට මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් අතරින් Maga, Access, KDAW, NEM, Edward and Christie, ICC සහ Thudawe Brothers යන සමාගම් 07 පමණි. මේ සමාගම්වලට අවශ්‍ය පරිදි පැකේජ 07 බෙදාගැනීමට අවස්ථාව සැලසීමට හෝ මොවුන් අතරින් එක් අයකුට සමස්ත කොන්ත්‍රාතුව යන පරිදි විශෙෂ අනුග්‍රහයක් දැක්වීමට හෝ කිසියම් පිරිසකට අවශ්‍ය වී ඇති බව මේ තොරතුරුවලින් මනාව පැහැදිලි වේ.

රුපියල් බිලියන 90ක් පමණ වන අතිදැවැන්ත ව්‍යාපෘතියකදී මේ ආකාරයෙන් හැසිරෙන නිලධාරියා හෝ බලධාරියා කවරෙකු වුවත් ඔහුගෙන් ආණ්ඩුවට සිදුවන්නේ දැවැන්ත හානියකි. දැඩි දුෂණ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන බවට පොරොන්දු වී, ජනතාව තුළ ඉමහත් බලාපොරොත්තු ඇති කරමින් බලයට පැමිණි ආණ්ඩුවක් වසර එකහමාරකදී මෙවැනි කුණු ගොඩක් ඇඟේ හළාගැනීමට යන්නේ නම් හෝ ඉහළම බලධාරීන් පවා ඒවා නොදුටු ලෙස සිටින්නේ නම් ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වන දිනය වැඩි ඈතක නොවන බව අපට පැහැදිලිවම කිව හැකිය.