ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේ වාර්තා කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
එය ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
වසර 1977 පසුව 2023 දක්වා කාලය තුළ අඛණ්ඩව ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, එය මුළුමනින්ම වෙනසකට භාජන වෙමින් වසර 2023/2025 කාලය තුළ මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇත.
”සාමාන්‍යයෙන් රටක් ලෝකයේ සෙසු රාජ්‍යයන් සමඟ සිදුකරනු ලබන සියලුම ගනුදෙනු ඇතුළත් ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය ලෙස හඳුන්වනු ලබන අතර, එහි පවතින ප්‍රධාන ගිණුම් තුන අතරින් වඩාත්ම වැදගත් වන්නේ ජංගම ගිණුමයි. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ආර්ථික ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ, අප දිගු කාලයක් පුරා ගමන් කර ඇත්තේ මෙම ජංගම ගිණුමේ පවතින විශාල හිඟයක් ද සමඟයි. 1950 වසරේ සිට 2023 දක්වා වූ වසර 73ක කාලය තුළ ශ්‍රී ලංකාවට ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්වීමට හැකි වී ඇත්තේ වසර හතකදී පමණි. 1950, 1951, 1954, 1955, 1956, 1965 සහ 1977 යන වසරවලදී පමණක් මෙලෙස සුළු අතිරික්තයන් වාර්තා වනවා. 1977 වසරෙන් පසුව 2023 දක්වා කාලය තුළ අඛණ්ඩව ජංගම ගිණුමේ හිඟයක් පැවති අතර, එය කාලයත් සමඟ වර්ධනය වුණා. නිදසුනක් ලෙස 2008 වසරේදී ඩොලර් බිලියන 3.8ක් වූ මෙම හිඟය, 2011 වන විට ඩොලර් බිලියන 4.6ක් දක්වා ඉහළ ගිය අතර 2021 වසරේදී එය ඩොලර් බිලියන 3.2ක් ලෙස වාර්තා වනවා. මෙම පසුගාමී තත්වය වෙනස් කරමින් 2023 වසරේදී ඩොලර් මිලියන 1439ක අතිරික්තයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 2024 වසරේදී ද ඩොලර් මිලියන 125ක අතිරික්තයක් වාර්තා වූ අතර, ලංකා ඉතිහාසයේ නිදහසින් පසු වාර්තා වූ වැඩිම ජංගම ගිණුම් අතිරික්තය 2025 වර්ෂයේදී වාර්තා වී තිබෙනවා. එය ඩොලර් මිලියන 1733ක් හෙවත් බිලියන 1.7ක් පමණ වේ. මෙම සාධනීය තත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයයි.”
ආර්ථිකමය වාසිය
2025 වසරේදී භාණ්ඩ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 13.5ක් උපයා ඇති අතර, එය මීට පෙර 2022 වසරේ වාර්තා වූ ඉහළම ආදායම වූ ඩොලර් බිලියන 13.1 ද අභිබවා යෑමකි.
ආර්ථික විද්‍යාත්මකව බලන විට රටකට ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම අතිශය වැදගත් වන අතර මීට පෙර මෙම ගිණුමේ පැවති හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් ඉහළ පොළියට ණය ලබාගැනීමට සිදු විය. එය රටේ ණය බර වේගයෙන් ඉහළ ගොස් ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් විය. ජංගම ගිණුමේ අතිරික්තයක් පවතින විට, විදේශයන්ගෙන් ණය ගැනීමේ අවශ්‍යතාව මතු නොවන අතර ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදී රටට වාසිදායක තත්වයක් නිර්මාණය වෙයි.
පැරණි ණය ගෙවීමේ හැකියාව වර්ධනය වීමක් දැකගත හැකි අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ඉහළ යාමද සිදුවෙයි. මෙමගින් රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමටද හැකිවෙයි. අනෙක් අතටඅත්යවශ්ය ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමාණවත් මුදල් රට සතුව පැවතීම විශේෂ ජයග්‍රහණයකි.
දැනට සකස් වී ඇති මෙම මූලික අඩිතාලම මත ඉදිරි වසර කිහිපය තුළ මෙම අතිරික්තය තවදුරටත් වර්ධනය කරගත යුතුව ඇති අතර රජයේ ඉලක්කය වී ඇත්තේ ඉදිරි වසර 4-5ක කාලය තුළ මෙම අතිරික්තය ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමයි.
ඒ සඳහා අපනයන වර්ධනය කිරීම, සංචාරක ආදායම් වැඩි කිරීම සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වන්නකි.
ඒ අනුව මෙවැනි ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාවට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරීව ඉදිරියට යාමේ හැකියාව උදා වන අව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.


