පසුගිය සති කිහිපය තුළ පොලී අනුපාතික මත වූ පීඩනය අඩු වෙමින් පැවති ආකාරය පිළිබඳව අප ඔබව දැනුවත් කළා. එහෙත්, පෙබරවාරි 1 පැවති බිල්පත් වෙන්දේසියේදී දැකිය හැකි වූයේ මෙම ප්‍රවණතාව වෙනස් වී ඇති බවයි.
පෙබරවාරි 01 වනදා වෙන්දේසියට රුපියල් බිලියන 120ක බිල්පත් ඉදිරිපත් කර තිබුණත්, එයින් විකිණී තිබෙන්නේ රුපියල් බිලියන 45.6ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.
වෙන්දේසියට රුපියල් බිලියන 204.8ක ලංසු ඉදිරිපත් කර ඇතත්, ඒ පැවති පොලී අනුපාතික වලට වඩා ඉහළ පොලියකටයි. මේ තත්ත්වය තුළ, පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ නොහරිමින්, මහ බැංකුව විසින් පෙර සතියේ පැවති පොලී අනුපාතික වලටම විකිණිය හැකි බිල්පත් ප්‍රමාණය පමණක් විකිණීමට තීරණය කර තිබෙනවා. රුපියල් බිලියන 75ක් පමණ වන ඉතිරි අරමුදල් හිඟය පියවා ගන්නට යන ආකාරය පැහැදිලි නැහැ.
හදිසියේම පොලී අනුපාතික මත පීඩනය වැඩි වුනේ ඇයි? වෙනත් විදිහකින් කිවුවොත්, භාණ්ඩාගාර බිල්පත් ඉල්ලුම හදිසියේ අඩු වුනේ ඇයි?
මෙයට හේතුව ද්‍රවශීලතා ප්‍රශ්නයක් නෙමෙයි. මෙයින් බොහෝ දුරට පිළිබිඹු වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන්හි ඉහළ යාමක්.
ලඟා කර ගැනීම පහසු නොවූ ඉලක්කයක් වුවත්, මහ බැංකුව මෙන්ම රජය පැත්තෙන්ද කියවුනේ වසර අවසන් වෙද්දී හෝ අඩු වශයෙන් ජනවාරි මාසය අවසන් වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙනු ඇති බවයි. මහ බැංකුවේ හෝ රජයේ අකාර්යක්ෂමතාව නිසා සිදු වූවක් නොවුනත්, ජනවාරි මාසය අවසන් වෙද්දී මේ ඉලක්කයට යාමට හැකි වී නැහැ. අරමුදලේ පළමු වාරිකය ඉතා ඉක්මණින් ලැබෙන බවක් මේ වන විටද පැහැදිලිව පෙනෙන්නට නැහැ.
අද එක්සත් ජනපදයේ ඉහළ රාජ්‍ය නිලධාරිනියක විසින් (Victoria Nuland- U.S. Under Secretary of State for Political Affairs) ප්‍රකාශ කර ඇති පරිදි ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය පැරිස් සංසදයෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇතත් චීනයෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබී නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව රජයේ දළ අරමුදල් අවශ්‍යතාව නිශ්චිත සීමාවක් ඉක්මවිය නොහැකියි. ප්‍රාථමික අයවැය හිඟය පාලනය කර ගැනීමෙන් පසුව වුවද, ගෙවිය යුතු දේශීය ණය හා පොලිය එකතු වූ පසු එම සීමාව ඉක්මවන්නේනම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වෙනවා.
~ ඉකොනොමැට්ටා
RN