පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 දෙනෙකුට මෙසේ පත්වීම් ලිපි ලබාදීමත් සමඟ රෝහල්වල පවතින පුරප්පාඩු සදහා දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත එම පිරිස අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

වත්මන් ආර්ථික ගැටලු හමුවේ වුවද ජනතාවට ගුණාත්මක හා විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදිම රජයේ ප්‍රමුඛ අරමුණ බව, කොළඹ වෛද්‍යපීඨ නව ගොඩනැගිලි ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පවතින වෘත්තීන්වලට අදාළව පත්වීම් ලබාදීමට සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ රෝග නිවාරණ අංශය ප්‍රශස්ත මට්ටමකින් පවතින බව සඳහන් කළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අඩු පිරිවැයකින් ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවද පෙන්වා දුන්නේය.