අපි ඊයේ (04) දිනයේදී ජාතික නිදහස් දිනය සැමරුවෙමු. නිදහස ලබා වසර 74ක් තුළ ශ්‍රී ලංකාව මේ තත්වයට පත්වුණේ ඇයිදැයි යනුවෙන් සංවාද ඊයේත් අදත් බොහෝ අවකාශවල දක්නට ඇත. ඒවායේදී සාතිශය බහුතරයක් එහි වගකීම පවරන්නේ, ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලනඥයින් සුළු පිරිසකට පමණි. එහෙත් මේ රටේ පවතින ප්‍රශ්නවලට වගකිව යුත්තේ ඔවුන් පමණක්මද ? ඇත්තෙන්ම ඒ ගැන කතා කිරීම පවා එතරම් ජනප්‍රිය නැත. මේ, එකී ජනප්‍රිය නොවන සංවාදයට ප්‍රවේශයකි.
“මහජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවයක් සහතික කිරීම සඳහා සාධාරණත්වය, සමරූපීතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින් පරිපාලන විධිවිධාන සකස් කරමින් ජාතික සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා දීප ව්‍යාප්ත සේවා හා සමස්ත ඒකබද්ධ සේවාවන් හි පරිපාලන කටයුතු සිදු කරමින් ,රාජ්‍ය සේවය තුළ මානව සම්පත වඩා ඵලදායී ලෙස කළමණාකරණය කිරීම මඟින් දැයට විශිෂ්ට රාජ්‍ය සේවයක් ඉටු කිරීම” සිය දැක්ම වශයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබුණ ද එය බිම් මට්ටම තුළ ක්‍රියාත්මක වීමේදී ආයතනයේ මෙහෙවර හුදු වචනාර්ථයකට පමණක් ලඝුව පැවතීම දක්නට ලැබේ.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ දිස්ත්‍රික් මට්ටමෙන් දිස්ත්‍රික් ලේකම් (දිසාපති), අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්ගෙන් ලබා ගන්නා තීන්දු තීරණ සාමාන්‍ය පොදු ජනයා වෙත ගෙන යන්නේ වසමට සම්බන්ධ නිලධාරීන්ය. මෙහිදී ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ කාර්ය භාරය අතිශයින්ම වැදගත්ය. මිනිසුන්ගේ ගැටලු, අවශ්‍යතාවයන් ඉහළ නිලධාරීන් වෙත ගෙන යන්නේ ද අමාත්‍යංශයන්හි ගනු ලබන විධි විධානයන් පිළිබඳ ජනයා දැනුවත් කරන්නේ ද ඒවායෙහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ වගකීම ඇත්තේ ද මෙම නිලධාරීන්ටය. නමුත් ඔවුන්ගේ කාර්ය භාර්ය හා හැසිරීම පිළිබඳ බොහෝ අප්‍රසන්න අත්දැකීම් ඔබට මට ඇත.
මහජන අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී ආකල්ප, වගකීම්, සම්පත් විචක්ෂණශීලීව යොදා ගනිමින් අපක්ෂපාතීව සේවය ඉටු කිරීම අපේක්ෂා කළ ද වසමට සම්බන්ධ එක් එක් නිලධාරීන් අනෙකාට වඩා වැඩි බලයක්, ප්‍රාදේශීය වශයෙන් ආධිපත්‍යක් ගොඩනගා ගනු දක්නට ලැබේ. මෙහිදී සේවා අවශ්‍යතාවයන් වෙනුවෙන් පැමිණෙන සාමාන්‍ය ජනයා වෙත අනවශ්‍ය බලයක්, පීඩනයක් යොදවමින් මහත් අභිමානයක් ඔවුන් ඉදිරියේ පෙන්වමින් හැසිරීම පිළිබඳ අත්දැකීම් අප කාටත් නැතුවා නොවේ.
ඔවුන් ජනතා සේවකයන් ලෙස ප්‍රකාශ කිරීම පිළිබඳවද බහුතර දෙනෙකුට ඇත්තේ අකමැත්තකි. ග්‍රාම සේවකවරුන් දැන් “රාළහාමිලා”ය, “ග්‍රාම නිලධාරීන්” ය. මේ එක් නිදසුනක් පමණි.
ගම්වල අසරණ ජනතාව වෙනුවෙන් රජයෙන් ලබාදෙන ආපදා ආධාර, ආබාධිත දීමනා, වකුගඩු ආධාර, ස්වයං රැකියා ආධාර යනාදිය ලැබෙන්නේ ඒවායේ අවශ්‍යතාවය පවතින පිරිසට ද යන්න ගැටලුවකි. මේවා බහුතරයක් සැබවින්ම ලැබෙන්නේ ග්‍රාම නිලධරීන්ගේ සමීපතමයන්ට හා හිත මිත්‍රාදීන්ටය. ග්‍රාම නිලධාරීවරුන්ගේ අනුමැතියකින් තොරව කිසිවෙකුට මෙම ආධාර ලබා දීමට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට නොහැක. ඒ අනුව ග්‍රාම නිලධාරීන්ගේ අනුමැතිය හරි හෝ වැරදි හෝ වේවා ඒ අනුව දීමනා ආධාර බෙදීයන තත්වයක් දක්නට ලැබේ.
කොට්ඨාශ දිනවල තත්වය ද මෙහිදී සඳහන් කළ යුතුමය. ඒවා බහුතරයක ප්‍රාදේශීය ලේකම්ට සිදුව ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය ලෙස වැඩකටයුතු කිරීමටය. එම සභාවන් මෙහෙයවන්නේ හා පාලනය කරන්නේ බොහෝවිට ග්‍රාම නිලධාරීන්ය. නීතිමය වශයෙන් යම් ප්‍රතිපත්තිමය තීරණයන් ගන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ගොස් සිය බලය රැක ගැනීමට මොවුන් නොකරන දෙයක් නැත.
මොවුන් බහුතරයක් සිය වසම තුළ පක්ෂ දේශපාලනයෙහි නිරතවන තත්වයක් ද උද්ගතව ඇති අතර ඔවුන් සෑම තැනකදීම සිය ප්‍රාදේශීය බලය පවත්වා ගැනීමට මෙන්ම වඩවා ගැනීමට උත්සාහ දරනු ද දක්නට ලැබේ. මෙය බරපතළ තත්වයකි.
රට පුරා දැඩි සංචරණ සීමා පනවා තිබූ පසුගිය වසර මැදභාගයේ දෛනිකව විශාල කොරෝනා ආසාධිතයින් ප්‍රමාණයක් හා මරණ වාර්තා වෙමින් පවතිද්දී, රට පුරා එන්නත්කරණය ආරම්භ වෙමින් පවතින අවධියේ තමන්ට යාමට පහසුම තැනින් එන්නත් ලබා ගන්නා ලෙස නිරන්තරව මාධ්‍යවලින් දැනුවත් කරන විටදී පවා ඇතැම් ග්‍රාම නිලධාරීන් විසින් සිය වසමේ ස්ථිර පදිංචිකරුවන් නොවන, කුලී නිවාසවල වෙසෙන පුද්ගලයින් අවස්ථා ගණනාවකදී හරවා යවනු අප පුද්ගලිකව අත්දුටු අත්දැකීමකි. නීතිය පිළිබඳ බොහෝසෙයින් අවම දැනුවත් වීමක් සහිත සාමාන්‍ය මිනිසුන්ට මෙලෙස සැලකීම කෙතරම් ශිෂ්ඨ සම්පන්නදැයි යන්න ගැටලුවකි.
මොවුන් සිය සේවය පංගු පේරුවකින් තොරව සිදු කරන්නේ නම්, අවශ්‍ය ආධාර අවශ්‍යතැනට යන්නේ නම් අපේ රට මීට වඩා සංවර්ධනය වූ රටක් විය යුතුය. කණගාටුවට කරුණ නම් එට එසේ නොවීමයි, එවැනි සුබදායක සිහිනයක ඡායා මාත්‍රයක්වත් දක්නට නොලැබීමයි. මොවුන්ගේ මේ හැසිරීම නිසා පීඩනයට පත් වන්නේ ගම්වල සිටින අවවරප්‍රසාදිත, අඩු අධ්‍යාපන මට්ටම් හා අඩු සමාජ දැනුමක් සහිත අසරණ ජනතාව ය.
කොරෝනා අවධියේ සිය ජීවිත ගැන මෙන්ම පවුල්වල පිරිස පිළිබඳ පවා අවදානමක් දරාගනිමින් නිරෝධායන කටයුතු හා සම්බන්ධ වෙමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු බෙදා දුන්, සිය වෘත්තීයේ ගෞරවය රැක ගනිමින්, අවංකව සේවය කරන නිලධාරී මහත්ම මහත්මීන්ටහට හිමි ගෞරවය නිතැතින්ම ඔවුන්වෙත හිමිවනු ඇත. ඇත්තෙන්ම ඉහත කී චෝදනා සියල්ලන්ටම පොදු ඒවා නොවන අතර හොඳ නිලධාරීන් නැතුවා නොවේ. නමුත් ග්‍රාම නිලධාරී සේවය තුළ බොහෝ තැන්වල අනන්තවත් ප්‍රශ්න තිබෙන අතර බොහෝවිට ඒවා පැමිණිලි වශයෙන්වත් කරළියට එන්නේ ද නැත. “බලය” දූෂිත වන්නේ ඉහළ තළයෙහි පමණක්ම නොවේ. එය පහළ තළයෙහි ද දූෂිත මය. දරුණතම ප්‍රශ්නය වන්නේ ඊට ගොදුරු වන, දරිද්‍රතාවයෙහි පතුළේ සිටින ජනතාවට කිසිදු හඬකුත් නොමැති වීම ය.
SM
සබැඳි ලිපි –
අලුතින් ස්ථිර කළ උපාධිධාරීන් කාර්යාලවලට පුරවයි. දෙන්න වැඩත් නෑ, ඉන්න ඉඩත් නෑ !