සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 07,(LNW)කොළඹ :
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනය නිමාවන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබා ගෙන සිටිනවා.පසුපෙළ සමඟ සම්බන්ධ වන විශ්වසනීය පිතිකරුවා ලෙස අංක 7 ට පන්දුවට පහර දෙන්නට පිවිසෙන කුසල් මෙණ්ඩිස් නොදැවී ලකුණු 59 ක් ලබා හුදෙකලා සටනක නිරතව සිටිනවා.මේ වන විට ඔහු සිටින්නේ ලකුණු එකතු කිරීම මෙන්ම අනෙක් අන්තයේ සිටින ක්‍රීඩකයාගේද කඩුල්ල රැක ගැනීමේ වගකීමට මුහුණ දෙමින්.
කුසල් මෙණ්ඩිස් සහ දීර්ඝ කාලයකට පසුව කැඳවීම් ලද රමේෂ් මෙණ්ඩිස් හත්වන කඩුල්ල සඳහා ලකුණු 65 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.එහෙත් රමේෂ්ගේ දැවී යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය මෙන්ම නිශාන් පීරිස් ද ලකුණු නොලබා දැවී යාමෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ලකුණු 250 කරා යාමද අසීරු ඉලක්කයක්ව තිබෙනවා.හත්වන කඩුල්ලට සිඳු වූ ලකුණු 65 සබඳතාවයට අමතරව අර්ධ ශතකය ඉක්මවා ගිය සබඳතාවයක් වාර්තා වුණේ දෙවන කඩුල්ලටයි.එහිදී සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න (36) සමඟ මේ වන විට ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියාව සිටින දිනේෂ් චන්දිමාල් (74) එක්ව දෙවන කඩුල්ලට ලකුණු 70 ක සබඳතාවයක් ඇති කරනු ලැබුවා.
ටෙස්ට් තරගයක හොඳ ලකුණු පූවරුවක් කරා යාමට අවශ්‍යය පසුබිම සැකසෙන හොඳ සබඳතාවයක් ලෙස ලකුණු 65 හෝ 70 වැනි සබඳතා ගත නොහැකි වුවද,එවැනි තත්ත්වයන් නරක තත්ත්වයන් යැයි අදහස් කරන්නේ නැහැ.එහෙත් ඊට වඩා ඉහළ මට්ටමේ ලකුණු සබඳතාවන් හොඳ ටෙස්ට් ඉණිමක් සඳහා කණ්ඩායමතට වැදගත් වෙනවා.ශ්‍රී ලංකාව ඊයේ දවසටම එකතු කර ගත් ලකුණු ප්‍රමාණය තරමේ සබඳතාවයක් මේ ඉණිමට ඇතුළත් වුණානම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දවස ගැන සතුටු විය හැකියි.ප්‍රේක්ෂකාගාරය සහ මේ වන විට ව්‍යාප්තව ඇති සමාජ ජාලාවන් හි විරෝධයට දිමුත්ගේ අවසාන ටෙස්ට් ඉණිම් කිහිපය ලක් වූ ආකාරයටම ඉදිරියේදී ධනංජයගේ නායකත්වය සහ ඇන්ජලෝ මැතිවිස්ගේ දායකත්වයද දැඩි විවේචනයට ලක් විය හැකි බව ඔවුන් අවසාන තරග කිහිපයට මුහුණ දුන් ආකාරයෙන් පැහැදිළි වෙනවා.
අද දෙවන දිනයේ දී පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා අවසාන කඩුල්ල බිඳ වැටීම පමා කර ගන්නට උත්සාහ කිරීමයි.නොදැවී සිටින ලහිරු කුමාර මෙන්ම ලකුණු 59 ක් ලබා සිටින කුසල් මෙණ්ඩිස්ට සියලු දෙනාම දැවී යාම පැයකට පමා කළ හැකි වන්නේනම් එය ඔස්ට්‍රේලියාවට යම් අභියෝගයක් ඇති කරන්නට දායකත්වය සපයනු ඇති බව සිතිය හැකියි.ගාලු තණතිල්ලේ දඟ පන්දුවෙන් බලාපොරොත්තු වූ විස්කම ඉටු කරන්නට වේග පන්දු යවන මිචෙල් ස්ට්‍රැක් සමත් වූ අතර ඔහු ලකුණු 37 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.එය ස්ට්‍රැක්ගේ දස්කමක් මෙන්ම දඟ පන්දු යවන්නන්ට සහය දෙන තණතිල්ලක ශ්‍රී ලංකා පිතිකරුවන් ඊට දක්වන ප්‍රතිචාරයන්ගේ දුර්වලකමක් ලෙස ද හඳුනාගැනීම වැදගත්.නේදන් ලයන් ද ලකුණු 78 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වෙනවා.
තරගයේ ලකුණු පූවරුවට → https://es.pn/3CPcgQf