Home පුවත් “නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

0
1

ඕවින්දි විෂ්මිකා

පෙබරවාරි 08, කොළඹ (LNW): සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය ඇතුළු විදේශීය නීතිමය බලධාරීන් හමුවේ ගොනු කර ඇති නඩු කටයුතු ඉල්ලා අස්කර ගැනීමට හෝ ඉවත් කරගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවට පළවන වාර්තා නීතිපති පාරින්ද රණසිංහ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

The Sunday Morning වෙත අදහස් දක්වමින් නීතිපතිවරයා සඳහන් කළේ පවතින කිසිදු නඩු කටයුත්තක් අත්හැරීමට හෝ ඉවත් කරගැනීමට කිසිඳු අදහසක් නොමැති බවයි. දැනට සලකා බලමින් සිටිනුයේ උපායමාර්ගික කරුණු කිහිපයක් පමණක් වන අතර නඩු කටයුතු අවසන් කිරීම පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය. එම කරුණු පිළිබඳ අවසන් තීරණයක් ගත් පසු යෝජිත ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුවත් කරන බවද නීතිපතිවරයා සඳහන් කළේය. දැනට ස්ථිරව පවතින එකම දෙය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගය බවද ඔහු තවදුරටත් පැවසීය.

තමා නඩු ඉවත් කරගැනීමට උත්සාහ කරන බවට පළවන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළ නීතිපතිවරයා ශ්‍රී ලංකාව පවතින සියලුම නීතිමය කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද දැනට සිදුවෙමින් පවතින සාකච්ඡා තනිකරම උපායමාර්ගික ක්‍රියාමාර්ග බවද ඔහු පැහැදිලි කළේය.

MV X-Press Pearl නෞකාව මුහුදේ ගිලී යාම සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළුව පිළිබඳව අදහස් දක්වමින් නීතිපතිවරයා සඳහන් කළේ මෙය වගකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස නොව වන්දි ප්‍රමාණය තීරණය කිරීමේ ක්‍රියාවලියක් ලෙස බැලිය යුතු බවයි. වගකීම දැනටමත් පැහැදිලිව තහවුරු කර ඇති බැවින් දැන් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට හිමි විය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීමට අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

ජාත්‍යන්තර නෞකා දූෂණ නඩු සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය ප්‍රතිපත්ති අනුව මෙවැනි කරුණු දිගු නඩු විභාගවලට නොගෙන සාකච්ඡා මගින් විසඳා ගැනීම සාමාන්‍යයෙන් සිදු කළ යුතු බවද නීතිපතිවරයා පැහැදිලි කළේය. නෞකා සමාගම් සහ රක්ෂණ ආයතන මුලින් වන්දි ඉල්ලීම් ප්‍රතික්ෂේප කළද හානිය නිශ්චිතව ගණනය වූ පසු සාකච්ඡා මඟින් එකඟතාවයකට පැමිණීම නිරායාසයෙන්ම වන දෙයක් බවත් ඔහු සඳහන් කළේය.

නීතිපතිවරයා අවධාරණය කරන ආකාරයට ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය පිළිබඳ කිසිඳු විවාදයක් නොමැත.නෞකාව ගිලී යාම සහ එයින් සිදු වූ බලපෑම් ඒ සඳහා පැහැදිලි සාක්ෂියක් වේ.දැන් ඉතිරිව ඇත්තේ එම හානිය මුදල් වටිනාකමක් ලෙස නිවැරදිව තක්සේරු කිරීම පමණක් වන අතර එය දිගු සාකච්ඡා ඇතුළත් විය හැකි ක්‍රියාවලියක් විය හැකි බවද ඔහු පැවසීය.

ඕනෑම ක්‍රියාත්මක කිරීමක් හෝ වන්දි එකඟතාවයක් සම්බන්ධ තීරණයක් ගනු ලබන්නේ පළමුව රජය දැනුවත් කිරීමෙන් පසු බවද නීතිපතිවරයා අවධාරණය කළේය. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කරමින් මාධ්‍ය හරහා නොව පළමුව රජයට සෘජුවම කරුණු දැනුම් දෙන බවත් එය සිදු වූ පසු නිල මාර්ගවලින් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව දැනට ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ රජය නිසි ලෙස දැනුවත් කිරීම බවත් එයින් පසු අවශ්‍ය තොරතුරු ක්‍රමානුකූලව ජනතාව වෙත නිකුත් කරන බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.