“අර්බුදය සහ අරගලය” ප්‍රදර්ශනය නිමිති කරගෙන සුජිත් රත්නායක ගැන සටහනක් මා මෙහි පළකළේ මෙහෙ වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියත් ඉක්ම යමින් තිබියදී යි.
අද උදේ ලංකාවෙන් කෝල් එකක් ආවා.
අපේ ජීවිතවල සුන්දරම නන්නත්තාරය වගේම දුෂ්කරම බිහිසුණුම භීම සමයත් එකම විදියක සහෝදරත්වයෙන්, ආදරෙන්, ජීවගුණයෙන් පුරවමින් අපිත් එක්ක එක ගොඩේ වැටිල හිටිය අජියාගෙන්.
ඌ හිටියේ සුජිත් රත්නායකගේ ගෙදර. ඊයෙ හැන්දෑවේ ‘අර්බුදය සහ අරගලය’ ඇරැඹුමෙන් පස්සේ අජියා සුජිත්ලගෙ ගෙදර ගිහින්.

හැමදාම වගේ ඇස්වලට කඳුළු පුරල පටන් අරන් හිරවෙච්ච ඉකියකින් ඉවරවෙන අජියා සමග කතාව මැද්දෙන් අහම්බෙන් උගෙ කටින් පැනපු කතාවක් තමයි මේ සටහනේ නිමිත්ත.
මා ඉහත සුජිත් ගැන සටහනට යොදාගත් සුජිත්ගේ ඡායාරූපය කැමරා කාචයට හසුකරගෙන තියෙන්නේ අජියා.
ඒ ගිය අවුරුද්දේ මැයි 09වැනිදා.
මහින්ද රාජපක්ෂගේ කැඳවීමෙන් රට වටින් මැරයන් පිරිවරාගත් මැර දේශපාලකයන් අරලියගහ මන්දිරයට රොක්වෙලා, මහින්ද ඇතුළු ඒ මැරයන්ගේ පෙළඹවීමෙන් – ඇවිස්සීමෙන් ගෝල්ෆේස් අරගලබිමට කඩාවැදිලා තිරිසන් ප්‍රහාරයක් එල්ලකරපු දවස.
උන් සුජිත්ලාගේ අරගලබිමේ කලාගාරයටත් ගිනිතිබ්බ දවස.

“සුජියා එදා ඉකි ගගහා ඇඬුවා බං” අජිය ඉක්කාවක් හිරවෙන හඬ මැඩගෙන කිව්වා. “මං හිටියෙ ටිකක් ඈත. ඔය තියෙන්නෙ ඌ සිද්දවුණු දේ කාටද කියකිය හිටපු හැටි. ඇත්තටම එදා පින්තූරයක්වත් ගන්න හරියන මූඩ් එකක නෙමෙයි මාත් හිටියේ. මුංව මරාගෙන මැරෙන්ඩ තරම් කේන්තියක් එකපැත්තකින්. මේ කරපු විනාසෙ ගැන කෑගහල අඬන්න තරම් වේදනාවක් තව පැත්තකින්. ඒත් සුජියගෙ පැත්තට මං නිකමට ඔහෙ කැමරාව මානගෙන ටිකක් වෙලා හිටියා. මේ ඇක්ෂන් එක ආපු ගමන් මං ෂටර් එක එබුවා. වැඩක් ඔළුවෙ තියාගෙන ගන්න පින්තූරෙක ෂොට් දෙක තුනක්වත් ගන්නවනේ බං. ඒත් මේකෙ මං අරන් තියෙන්නෙත් මේ පින්තූරෙ විතරමයි. ඒ එකම එකපින්තූරෙ තමයි සනා ඔය!”
අජියා මේක නිකම්ම නිකං පින්තූරයක් නෙමෙයි. මේක ඒ මුළු කතාවම එක කාච නිමේෂයකට කැටිකරල ගත්තු මහ කත්න්දරයක් කියන පින්තූරයක්. සුජිත්ගෙ ඉරියව්ව, වේදනාව සහ කෝපය සහිත උගේ මුහුණේ හැඟීම්, දහදියෙන් පෙඟුණු ගතේ මහන්සිය, දැවැන්තම ආර්ථික ප්‍රපාතෙකට ලංකාව ඇදල දාල විලිලැජ්ජාවක් නැතුව තාමත් අහස දිහාට කෙලින්වෙලා ඉන්න යෝද නමුත් ඇතුළ හිස් බිල්ඩිං, ඒ පාමුල අගමැති කියන අපරාධකාරයගෙ පාදඩ දේශපාලන මැරයො රංචුවක් ගිනිතියල දාපු පොදුජන අරගල බිමක කලාගාරය!
මේක කාචමය රචනාවක් අජියා!, වචන සියගාණකට ගන්න බැරි!!
සනත් බාලසූරිය
Facebook