ලිෆ්ටන් සිට් යනු ලංකාවේ සංචාරක ආකර්ශණය ඇති අපූරු තැනකි.එහි ඉතිහාසය 1890 පමණ දක්වා දිවෙයි.රටේ පළාත් නවයෙන් පහකට අයිති ප්‍රදේශ එහි සිට දර්ශනය කර ගන්නට හැකි වීම එහි පුරා වෘත්තයට වඩා අද සංචාරක ආකර්ශණයට හේතු වී ඇත.
අක්කර 2500 ක් පුරා පැතිරි ලිෆ්ටන් තේ නිර්මාපකයා වූ ස්කොට්ලන්ත ජාතික තෝමස් ලිෆ්ටන් සිය වතුයාය නිරීක්ෂනය කරන්නට ඉඳ ගත් ගල අභියස අද තනා ඇති තෝමස් ලිෆ්ටන් අසුන් ගෙන සිටින ආකාරයේ පිළිමය සමඟ ඡායාරූප ගන්නට වෙහෙසෙන දෙස් විදෙස් සංචාරක කැළ අතරේ එන සංචාරකයගේ මව් බසාන් ආමන්ත්‍රණය කරන අපූරු තරුණයෙකු එහිදි හඳුනා ගන්නට ලැබිණි.
පරිසරය විචිත්‍ර සේ ම ඔහු ද විචිත්‍රය.ආකර්ශණීය හැසිරීමක් ඇති මේ තරුණාය අපට විචිත්‍ර වුව ද ඔහුගේ ජීවීතය නීරස මතකවලින් පිරුණු එකකි.අද ද ඒ ගැන දුක්බර මතක තිබුණ ද,ඔහු ඔහුට සතුටු විය හැකි තැනෙක සිට ලෝකය දෙස බලන්නේය.එය ද විචිත්‍ර ය.
ඔහු නමින් නාරායන්ය.අපට කතා ලියන්නෙක් වන ආර්.කේ.නාරායන් දුරස් නැත.අපේම නෑදෑයෙක් තරමට සමීපය.මේ රටේ පුංචි ඉඩ ප්‍රමාණයේ බෙදි වෙන් වී සිටිය හැකි කුඩාම දේ ද සොයන මිනිසුන් අතරේ අපේ කතා නායක නාරායන් ද පොදු සාධකයකි.
ඔහු කතා කරන අතරේ එන සංචාරක නඩයක් වෙත දිව යන්නේ නොඉවසිලිමත්වය.ඔවුන් විදේශිකයන්නම් පළමු පැනය where are you from යන්නය.ඉනික්බිති ලැබෙන පිළිතුරට අනුව ඔහු ඒ විදේශිකයාගේ භාෂාවෙන්ම දෙසුම පටන් ගන්නේය.එය ප්‍රංහ ද ජර්මනි ද ජපන් ද ආදි ලෙස අදාළ වන්නේ නැත.ඔහු බස සපුරාම නොදනියි.ඒත් ස්ථාන විස්තරය කියන්න සහ තවත් සුළු කතාබහක් කරන්නට තරම් එය වැඩුණු එකක් බව පැහැදිළි කර ගත හැක්කේ විදේශිකයන්ගේ තාප්තිමත් මුහුණෙන්ය.
“
පඩියක් නැහැනෙ ස්ර් මට,මෙතැනට එන අය දෙන දෙයක් තමයි.ඉල්ලන්නෙ නැහැ දුන්නොත් ගන්නවා.ඉස්සෙල්ලා බලන්නෙ තොරතුරු ටික කියලා දෙන්න.ඒකට මං කැමතියි.දවසට කට්ටි දෙදහක් ආවත් මං ඒක කරනවා.”
නැවතත් අසළට එන නාරායන් පවසයි.
කොහොමද නාරායන් මෙහෙම භාෂාවල් ඉගෙන ගත්තෙ?
නාරායන්ගේ භාශා දැණුම ගැන විමසීය
එන අයගෙන් අහනවා.මතක තියා ගන්නවා.ඊට පස්සෙ කතා කරනවා.වැරදි වැරදි කතා කරලම ඉගෙන ගත්තා.
එය අපූරු මතක තබා ගැනීමකි.අධ්‍යාපනය ලබන අතරේ ඔහු මේ මතක තබා ගැනීමෙන් කෙතරම් ප්‍රයෝජන ගන්නට ඇද්ද?
මං ගියේ හයට විතරයි ස්ර්
එය විමසා බලන්නට ඇවැසි කාරණයක්ය.එහෙත් ඔහුට එකවර ඒවා කියන්නට සංචාරකයන්ට නොනවත්වා කියන ආකාරයේ හුස්ම නැත.සැරසෙන්නට කාලය තබා ඔහු හඬ අවදි කරන තෙක් මම නිහඬ විමි.
මට ස්කෝලෙ යන්න පොත් තිබුණෙ නැහැ.පොත් අරගෙන යන්න බෑග් එකක් තිබුණෙත් නැහැ.වත්තෙ දොස්තර මහත්තයා එයා ඉන්ජෙක්ෂන් දාගෙන යන බෑග් එක දුන්නා මට පොත් දා ගෙන යන්න.එතකොට මං හොඳට වැඩ කරනවා කියලා ස්ර්ල,මිස්ලා මාව පංතියෙ මොනිටර් කරලා තිබුණෙ.ඒත් මං අරං ගිය බෑග් එකටයි – පොත් නැති එකටයි ළමයි විහිළු කරා.මං එදාම ස්කෝලෙ අත ඇරලා ආවා.පහුවදාම කොළඹ ආවා රස්සාවක් හොයාගෙන.
පොත් නැති නිසා සිදූ වූ අපහාස නිසා හිත රිදි කොළඹ එන කුඩා නාරායන්ට නෑයෙක්ගේ මාර්ගයෙන් රස්සාව ලැබෙන්නේ පොත් කඩයක සහයකයෙකු ලෙස ය.ඒ දෙහිවල “නාලක’ පොත් කඩයේය.පොත් කඩයක් කීව ද එහි වැඩිපුරම සිදු වූයේ අභ්‍යාස පොත් අච්චු ගසා බෙදීමය.නාරායන් ඒවා බෙදන්නට රට පුරා ඇවිද්දේය.නිවාඩුවකට ගමේ එන විට පොත් නැති අය ද පොත් ද රැගෙන ආවේය.
ස්කෝලෙ යන්නෙ නැතුව ඉන්න කොට තමයි ස්ර් ඒකෙ අවුල තේරෙන්නෙ.දුක හිතෙනවා.ඒ නිසා මං වගෙ පොත් නැතුව ස්කෝලෙ යන්නෙ නැති අය ඉන්න එක නවත්තන්න මං මට පුළුවන් විදිහට මහන්සි වුණා.
ලිෆ්ටන් සිට් නාරායන් සිහි කරවන්නේම මහා සාහිත්‍යකරු ආර්.කේ.නාරායන් ය.මල්ගුඩියේ හමුවන තවත් අපූරු චරිතයක් බඳු ලිෆ්ටන් නාරායන් අපට බොහෝ දේ සිතන්නට ඉතුරු කරයි. වතුකරයේ අඩු පහසුකම් අධ්‍යාපනයම රටේ මහ ජාතිය නොවන දෙවන පුරවැසියන්ට නැඟෙන්නට නොහැකි සේ තැබූ මහා බරක්ය.ඇසූ සැනින් මතක තියාගෙන භාෂා කිහිපයක් හසුරුවන නාරායන් කියා පාන්නේ අපට ඔහුට ඇහිරුණු පංති කාමරය නිසා මඟ හැරුණු අපූරු විද්වතෙක්ගේ සෙවනැල්ලය.තවත් මේ තේ ගස් අතර සෙරඩියට,තේ දල්ලට ඉගිල්ලී ගිය කහට පැහැ ගැනවුණ ජීවිත ඇති නාරායන්ලා කොතෙකුත් ඇත.ඔවුන් සිටින්නේ සිටිය යුතු තැනට බොහෝ පහළින්ය.ඒ ඔවුන්ගේ වරද නොවන බව තේරුම් ගත් විට රට සිටිය යුතු තැනට පහළින් තිබෙන්නේ ඇයි ද යන්න මේ සම්ප්‍රදායික දේශපාලනය සම්බන්ධයෙන් හැඟීමක් ඇති කර ගන්නට අපහසු නැත.
ඔබ හෙට ලිෆ්ටන් යන්නේනම් නාරායන් හමුවනු ඇත.මේ අත්දැකිම ඔබට ද දැණෙනු ඇත.එන මොහොතේ මේ අපූරු තරුණයාගේ ජීවිතය හැඩය සකසා ගන්නට අත ඇති මුදලක් ඒ අපූරු බස් හැසිරවීම සහ සුහඳතාවය ඉදිරියේ ඔහු අත මිට මොලවන්නට ඔබටත් සිතෙනු ඇත.එහෙත් ඔහුගේ ජීවිතය අපට කියන කතාවේ වරදකරු ඔහු නොවන බව මේ සාමාජයේ සමාජ සාමාජිකාවන් ලෙස එබට ඇති කරන සියුම් රිඳවුම ද සමඟ යළි යළිත් ලිෆ්ටන් ප්‍රතිමාව මෙන්ම ඔහු සැබවින්ම වත්ත බලන්නට අසුන්ගෙන සිටි ගල අසළට හේත්තු වී සංචාරක නඩයක් පැමිණෙන තෙක් මඟ බලන නාරායන්ද සිහියට නැඟෙනු ඇත.
RM