ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

Date:

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසුවේ අද (12) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවත්, ඒ සඳහා අධ්‍යාපනය විධිමත්ව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලුවාය.

විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවයි.ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද ඇය සඳහන් කළාය.

අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දුන් පළමු වසර පන්ති කාමර සහ ඉගැන්වීම් ක්‍රමවේද නිරීක්ෂණය කළ අතර දරුවන් සමඟ සුහද කථාබහකටද එක් විය. පසුව වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ සහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සමඟ පිළිසඳරක නිරත වෙමින් වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමට ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කළ අතර උසස් පෙළ දරුවන් පාසල තුළ රඳවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළාය.

හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේ නිරීක්ෂණයට ද එක්වූ අග්‍රාමාත්‍යවරිය, එහි පවතින ඉහළ යටිතල පහසුකම්වලට සාපේක්ෂව ශිෂ්‍ය සංඛ්‍යාව අවම මට්ටමක පැවතීම පිළිබඳව සිය අවධානය යොමු කළාය. පාසල් පරිපාලනය විසින් නිසි සැලසුමකට අනුව කටයුතු කරමින් ශිෂ්‍ය ගලනය නංවාලිය යුතු බවත්, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙවැනි අංගසම්පූර්ණ පාසල්වලින් මහත් ප්‍රයෝජනයක් ගත හැකි බවත් ඇය සඳහන් කළාය.

නිරීක්ෂණය අතරතුර නයිගල රාජ මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් බැහැදැකීමටද කටයුතු කළාය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිහාල් ගලප්පත්ති, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් සෙනරත් සහ අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...