ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
පශ්චාත් ආපදා සහන වැඩසටහන පිළිබඳ පැහැදිළි කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ස්ථාපිත කර ඇති බවද සඳහන් කෙරිණි. විදුලිබලය, ඉන්ධන හා ගෑස් සැපයීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ජල සැපයීම සහ ජලාපවහනය ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇති බවද, ඒ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදු කෙරෙන අතර, ආපදාවෙන් දැඩි බලපෑමට ලක් වූ බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවද සඳහන් විය.
හදිසි නීතිය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර ඇති අතර, එම කාලය තුළ නැවත පදිංචි කිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධව කටයුතු සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “Rebuilding” වැඩසටහන යටතේ මාර්ග, නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් පෙර තිබූ තත්ත්වයට වඩා හොඳින් නැවත ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.




