තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා යුතුයි කියලා.
තරඟකාරිත්වය වැඩි වෙද්දී භාණ්ඩයක මිලට ඇත්තටම වෙන්නේ කුමක්ද?
තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ නිකම්ම නිකම් වියුක්ත අදහසක් පමණක් නෙමෙයි. ලෝකයේ ඇත්තටම පවතින වෙළඳපොළ ආකෘතියක්. එහෙත්, ලෝකයේ පවතින හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. බොහෝ තැන් වල අපට ප්‍රායෝගිකව දැකිය හැකි කතිපයාධිකර වැනි තවත් වෙළඳපොළ ආකෘති ගණනාවක් තිබෙනවා. මේ වෙළඳපොළ ආකෘති අතරින් තරඟකාරී වෙළඳපොළවල් හා ඒකාධිකාර කියා කියන්නේ අන්ත දෙකක් කියා කිව හැකියි.
සමහර අවස්ථා වලදී රාජ්‍ය මැදිහත්වීම් නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. ඊට අමතරව, වෙළඳපොළ නිදහස හොඳින් තහවුරු වී ඇති විටද, විවිධ ස්වභාවික හේතු නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. මේ දෙවන තත්ත්වය බොහෝ විට නරක තත්ත්වයක් නෙමෙයි.
ඒකාධිකාරයක් තේරුම් ගන්න එක වෙනත් වෙළඳපොළ ආකෘතියක් තේරුම් ගන්නවාට වඩා පහසුයි. ඒකාධිකාරයක් තේරුම් ගත් පසුව ඊට සාපේක්ෂව අනෙකුත් වෙළඳපොළ ආකෘති වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
ඒකාධිකාරයක් කියන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින, එහෙත් පාරිභෝගිකයින් විශාල පිරිසක් සිටින වෙළඳපොළ ආකෘතියක්. ඒකාධිකාර හා සම්බන්ධවද බොහෝ වැරදි මත ජනගත වී තිබෙනවා. ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට හිතේ හැටියට මිල වැඩි කර වැඩි වැඩියෙන් ලාබ ලබා ගත හැකි බව එවැනි එක් ප්‍රචලිත වැරදි අදහසක්. ඒකාධිකාරයක් යටතේ වුවත් සැපයුම්කරුවෙකුට මිල ඉහළ දැමීම මගින් ලාබ වැඩි කර ගත හැකි උපරිම සීමාවක් තිබෙනවා.
මෙය තේරුම් ගැනීම සඳහා අපි කිසියම් මනඃකල්පිත භාණ්ඩයක් උපයෝගී කර ගනිමු. වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා වලට වගේම මේ භාණ්ඩයටත් කිසියම් වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. භාණ්ඩයේ මිල ඉහළ යද්දී මේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් න්‍යාය කියන්නේ එයටයි.
පහත තිබෙන්නේ මෙම භාණ්ඩයේ මිල රුපියල් 370 සිට රුපියල් 320 දක්වා වෙනස් වෙද්දී ඒ සඳහා වන ඉල්ලුම වෙනස් වන ආකාරයයි.
370 – 100
365 – 110
360 – 120
355 – 130
350 – 140
345 – 150
340 – 160
335 – 170
330 – 180
325 – 190
320 – 200
අපි හිතමු මේ භාණ්ඩයේ පිරිවැය රුපියල් 300ක් කියලා. ඒ කියන්නේ මෙම පිරිවැය, එනම් රුපියල් 300, සහ භාණ්ඩයේ විකුණුම් මිල අතර වෙනස සැපයුම්කරුගේ දළ ලාබය. රුපියල් 370 බැගින් විකිණුවොත් එකකින් රුපියල් 70ක් ලාබයි. රුපියල් 360 බැගින් විකුණුවොත් එකකින් රුපියල් 60ක් ලාබයි.
දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරී වෙළඳපොළක්නම් සැපයුම්කරුට වෙනත් කාගෙන්වත් තරඟයක් නැහැනේ. ඒ නිසා, සැපයුම්කරුට තමන්ගේ ලාබය ඉහළ යන පරිදි මිල නියම කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ඇති විට සැපයුම්කරු විසින් කරන්නේ පුළුවන් තරම් ඉහළ මිලක් අය කරන එකද?
කිසිසේත්ම නැහැ. මොකද මිල ගොඩක් වැඩි කළොත් ඉල්ලුම අඩු වෙනවා. එකකින් ලාබය වැඩි වුනත් විකිණෙන්නේ අඩුවෙන් නිසා ලාබය අඩුයි. අනෙක් අතට ගොඩක් මිල අඩු කළොත් වැඩියෙන් විකුණන්න පුළුවන් වුනත්, එකකින් ලැබෙන්නේ සුළු ගණනක්නම් අන්තිමට ලොකු ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට ඔය අන්ත දෙක අතර තේරීමක් කරන්න වෙනවා.
ඉහත උදාහරණයේදීනම් ඒකාධිකාරී සැපයුම්කරුවෙකු විසින් භාණ්ඩය මිල කරන්නේ රුපියල් 360 ලෙසයි. එහිදී එකකින් රුපියල් 60ක ලාබයක් ලැබෙනවා. ඒකක 120ක් විකිණෙන නිසා රුපියල් 7200ක දළ ලාබයක් ලැබෙනවා.
භාණ්ඩයේ මිල රුපියල් 365 දක්වා වැඩි කළොත් එකකින් රුපියල් 65ක ලාබයක් ලැබෙන නමුත් විකිණෙන්නේ ඒකක 110ක් පමණක් නිසා අන්තිමට ලැබෙන දළ ලාබය රුපියල් 7150ක් පමණයි. අනෙක් අතට භාණ්ඩයේ මිල රුපියල් 355 දක්වා අඩු කළොත්, ඒකක 130ක් විකුණාගන්න පුළුවන් වුනත් එකකින් ලැබෙන්නේ රුපියල් 55ක් පමණක් නිසා ලැබෙන දළ ලාබය කලින් මෙන්ම රුපියල් 7150ක් දක්වා අඩු වෙනවා. රුපියල් 7200ක් ලැබෙන්නේ හරියටම රුපියල් 360ට මිල කළොත් පමණයි. ඊට වඩා අඩුවෙන් මිල කළත්, වැඩියෙන් මිල කළත් වෙන්නේ ලැබෙන ලාබය අඩු වෙන එක.
ඔය විදිහට රුපියල් 360 බැගින් ඒකක 120ක් විකුණා රුපියල් 7200ක දළ ලාබයක් ලැබුවා කියා කියමු. නමුත් මේ ලාබය දළ ලාබයක් මිසක් ශුද්ධ ලාබයක් නෙමෙයි. ශුද්ධ ලාභය වෙන්නේ ඔය දළ ලාබයෙන් ස්ථාවර පිරිවැය අඩු කලාට පසුව ඉතිරි වන මුදල. ස්ථාවර පිරිවැය රුපියල් 3500ක්නම් ශුද්ධ ලාබය රුපියල් 3700ක්. ස්ථාවර පිරිවැය රුපියල් 4000ක් නම් ශුද්ධ ලාබය රුපියල් 3200ක් පමණයි.
කිසියම් වෙළඳපොළක් ඒකාධිකාරයක් වෙනවද නැත්නම් තරඟකාරී වෙළඳපොළක් වෙනවද කියන එක එම වෙළඳපොළ හා අදාළ ස්ථාවර පිරිවැය කොපමණද කියන එක මත තීරණය වෙනවා.
ඉහත උදාහරණයේදී පවතින වෙළඳපොළ ඉල්ලුම හා භාණ්ඩයේ විචල්‍ය පිරිවැය අනුව ලැබිය හැකි උපරිම දළ ලාබය රුපියල් 7200ක් පමණයි. ඔය වෙළඳපොළට තවත් තරඟකරුවෙක් එකතු වුනොත් මෙම දළ ලාබය දෙදෙනෙකු අතර බෙදී යනවා. එවිට එක් අයෙකුට ලැබෙන දළ ලාබය උපරිම වශයෙන් රුපියල් 3600ක් පමණයි.
මේ විදිහට සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විට, විචල්‍ය පිරිවැය රුපියල් 3500ක් පමණක්නම් එය ආවරණය කර ගත්තාට පස්සේ තවත් රුපියල් 100ක් ශුද්ධ ලාබය විදිහට ඉතිරි වෙනවා. නමුත්, විචල්‍ය පිරිවැය රුපියල් 4000ක්නම් දළ ලාබය රුපියල් 3600ක් වුවත් අන්තිමට රුපියල් 400ක ශුද්ධ පාඩුවකුයි වෙන්නේ. විචල්‍ය පිරිවැය මෙවැනි ඉහළ මට්ටමකට ඇති විටෙක වෙළඳපොළක් ඒකාධිකාරයක් ලෙස පවතිනු මිස එයට දෙවැන්නෙක් එකතු වී තරඟයක් ඇති වෙන්නේ නැහැ. එය ස්වභාවික තත්ත්වයක් මිසක් විකෘතියක් නෙමෙයි.
මේ වගේ තත්ත්වයක් යටතේදී ඒකාධිකාරයක් තිබීමෙන් පාරිභෝගිකයාට වෙන්නේ වාසියක්. මොකද ඒකාධිකාරය නැත්නම් පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගැනීමේ අවස්ථාවම අහිමි වී යනවා. ඒක ඊට වඩා පාඩුවක්. ඕනෑම වෙළඳපොළක් මුලින්ම හැදෙන්නේ ඒකාධිකාරයක් විදිහටයි. තවත් අය එකතු වෙන්නේ ඉන් පසුව වෙළඳපොළ පුළුල් වී ඉල්ලුම වැඩි වුනාට පස්සේ. ස්ථාවර පිරිවැය දරා ගත හැකි සැපයුම්කරුවන් දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙළඳපොළ ඉල්ලුමක් හැදෙන තුරු වෙළඳපොළ නිදහස හොඳින්ම තහවුරු කර ඈතත් ඒකාධිකාරයක් පවතිනු මිස දෙවැන්නෙක් වෙළදපොලට ඇතුළු වෙන්නේ නැහැ.
ස්ථාවර පිරිවැය රුපියල් 3600කට නොවැඩිනම් පමණක් මෙම වෙළඳපොළේ දෙවැන්නෙකුට ඉඩක් තිබෙනවා. නමුත්, තුන් වැන්නෙකුට ඉඩක් නැහැ. තුන් වැන්නෙකුට ඉඩක් ලැබෙන්නනම් ස්ථාවර පිරිවැය රුපියල් 2400කට වඩා අඩු විය යුතුයි. හතරවැන්නෙකුට ඉඩක් ලැබෙන්නේ ස්ථාවර පිරිවැය රුපියල් 1800 නොඉක්මවන්නේනම් පමණයි. ස්ථාවර පිරිවැය රුපියල් 1440 දක්වා අඩු වුනොත් පස්වැන්නෙක්ටත් එකතු වෙන්න පුළුවන්. ඔය ආකාරයකට කිසියම් වෙළඳපොළක වෙළඳපොළ ආකෘතිය තීරණය වෙන්නේ ඉල්ලුමේ ප්‍රමාණය සහ පිරිවැය ආකෘතිය අනුවයි. එය පැවතිය හැකි කාර්යක්ෂමම තත්ත්වය මිසක් “ජාවාරම්කාර මාෆියාවක්” නිසා වෙන දෙයක් නෙමෙයි. වෙළඳපොළ නිදහස තහවුරු වී නැති විට රාජ්‍ය මැදිහත්වීම් නිසා ජාවාරම්කාර මාෆියා හැදෙන්න පුළුවන්එ වීම වෙනම දෙයක්.
ඉහත වෙළඳපොළට දෙවැන්නෙකු එකතු වූ පසු එක් සැපයුම්කරුවෙකුගේ ශුද්ධ ලාබය රුපියල් 100ක් විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් 100ක් විය යුතු නැහැ. එසේ වෙන්නේ සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගීතාවයෙන් කටයුතු කළහොත් පමණයි. ඔවුන් දෙදෙනා එකනෙකා සමඟ තරඟ කළහොත් වෙන්නේ දළ ලාබය ස්ථිර පිරිවැයට සමාන වන තුරු මිල අඩු වෙන එකයි. එහිදී එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙවැන්නක් අනිවාර්යයෙන්ම වන බවට සහතිකයක් නැහැ.
අපි හිතමු ස්ථාවර පිරිවැය රුපියල් 3500ක් කියා. දැන්, සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළහොත් මිල රුපියල් 360 මට්ටමේම පවතිනවා. එක් අයෙකු ඒකක 60ක් විකුණා රුපියල් 3600ක දළ ලාබයක් හා රුපියල් 100ක ශුද්ධ ලාබයක් ලබා ගන්නවා. නමුත් දෙදෙනා තරඟ කළහොත් මිල රුපියල් 350 දක්වා අඩු වෙනවා. එහිදී එක් ඒකකයකින් ලැබෙන ලාබය රුපියල් 50 දක්වා අඩු වුනත්, ඉල්ලුම ඉහළ ගොස් එක් අයෙකුට ඒකක 70ක් විකුණන්නට ඉඩ ලැබෙන නිසා රුපියල් 3500ක දළ ලාබයක් ලැබෙනවා. එහෙත්, ස්ථාවර පිරිවැය ඉවත් වූ පසු ශුද්ධ ලාබයක් නැහැ. ඒ නිසා, මිල තරඟය එතැනින් නවතිනවා. මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට ලැබෙන මිල ලැබිය හැකි හොඳම මිලයි. වෙළඳපොළේ සිටින්නේ තරඟකරුවන් දෙදෙනෙකු පමණක් වුවත් එම හොඳම මිල පාරිභෝගිකයාට ලැබෙනවා.
කිසියම් වෙළඳපොළක වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ වැඩිනම් එවැනි වෙළඳපොළක් ඒකාධිකාරයක් හෝ කතිපයාධිකාරයක් ලෙස පවතිනු මිස පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. සැපයුම්කරුවන් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය ආකෘතිය මතයි. තරඟකාරී වෙළඳපොළක් බිහි විය හැක්කේ වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ අඩුනම් පමණයි.
අපි හිතමු ඉහත වෙළඳපොළේ ස්ථාවර පිරිවැය රුපියල් 40ක් පමණයි කියා. ස්ථාවර පිරිවැය මේ වගේ අඩු මට්ටමක ඇති විට එම වෙළඳපොළට දිගින් දිගටම සැපයුම්කරුවෝ එකතු වෙනවා. අපි හිතමු ඒ විදිහට සැපයුම්කරුවෝ 100 දෙනෙකු එකතු වුනා කියලා. දැන් වෙළඳපොළ තරඟය නිසා භාණ්ඩයේ මිල රුපියල් 320 දක්වා පහළ යනවා. එම මිලට භාණ්ඩයේ ඒකක 200ක් විකිණිය හැකි වුවත් සැපයුම්කරුවන් 100 දෙනෙකු සිටින නිසා එක් අයෙකුට විකිණිය හැක්කේ ඒකක දෙකක් පමණයි. එකකින් ලාබය රුපියල් 20ක් පමණක් නිසා මුළු දළ ලාබය රුපියල් 40ක් පමණයි. එයින් ස්ථාවර පිරිවැය ආවරණය වෙනවා. නමුත් ඊට වඩා ලාබයක් නැහැ. තවත් තරඟකරුවෙක් ආවොත් කාට හෝ එක් අයෙකුට පාඩු වෙනවා. එම තරඟකරු ඉවත් වී නැවත සැපයුම්කරුවන් ගණන 100ක් වෙනවා.
සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටින විට ඒ දෙදෙනා සහයෝගයෙන් කටයුතු කිරීම හා තරඟ කිරීම යන දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. නමුත් සහයෝගයෙන් කටයුතු කරන්න වැඩි ඉඩක් තිබෙනවා. එහෙත්, සැපයුම්කරුවන් 100ක් සිටින විට ඒ සියලු දෙනා අතර සහයෝගයක් ඇති වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මෙන් භාණ්ඩයේ මිල එය විකිණිය හැකි අවම මිල මට්ටම දක්වා අඩු වෙනවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ එවැනි වෙළඳපොළක්. අවම වශයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විටද මේ මට්ටමේම තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් ඇතත් එය එසේ සිදු වන බවට කිසිම සහතිකයක් නැහැ.
වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා.
දැන් අපි හිතමු ඉහත උදාහරණයේ විචල්‍ය පිරිවැය රුපියල් 300 සිට රුපියල් 310 දක්වා ඉහළ ගියා කියලා. මෙහිදී ඒකාධිකාරයක් ඇති විට වෙන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් ඇති විට වෙන්නේ කුමක්ද?
ඒකාධිකාරයක් යටතේ කලින් මිල තීරණය වුනේ රුපියල් 360 ලෙසයි. එම මිලට ඒකක 120ක් විකිනුනු අතර එකකින් රුපියල් 60 බැගින් රුපියල් 7200ක දළ ලාබයක් ලැබුණා. දැන් කලින් වගේම එකකින් රුපියල් 60ක ලාබයක් තියා ගන්නනම් මිල රුපියල් 370 දක්වා වැඩි කරන්න වෙනවා. නමුත් එවිට විකිණෙන්නේ ඒකක 100ක් පමණක් නිසා දළ ලාබය රුපියල් 6000 දක්වා පහත වැටෙනවා. අනෙක් අතට මිල වැඩි නොකළොත්, කලින් ප්‍රමාණයම විකිණෙන නමුත් එකකින් ලැබෙන්නේ රුපියල් 50ක් පමණක් නිසා දළ ලාබය ලෙස ඒත් ලැබෙන්නේ රුපියල් 6000ක් පමණයි.
ඔය දෙකම නොකර මිල රුපියල් 355 දක්වා පමණක් වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒකක 110ක් විකිණෙනවා. එකකින් රුපියල් 55ක් බැගින් රුපියල් 6050ක දළ ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ ඒකාධිකාරයක් පවත්වා ගන්නා සැපයුම්කරු විසින් තමන්ගේ ලාබය උපරිමයක් කර ගන්නනම් මිල වැඩි කළ යුත්තේ රුපියල් 355 දක්වා පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් පිරිවැය රුපියල් 10කින් ඉහළ ගියත් මිල වැඩි වෙන්නේ රුපියල් 5කින් පමණයි.
ඒකාධිකාරයක් වෙනුවට තරඟකාරී වෙළඳපොළක් තිබුණානම් වෙන්නේ කුමක්ද? ඒකාධිකාරයක් පවතිද්දී මෙන් තරඟකාරී වෙළඳපොළක සැපයුම්කරුවෙකුට පිරිවැය ඉහළ යාමේ කම්පනය අවශෝෂණය කර ගන්න බැහැ. ඒ නිසා, රුපියල් 10ක පිරිවැය ඉහළ යාම මුළුමනින්ම පාරිභෝගිකයා මත පටවන්න වෙනවා. ඒ අනුව, කලින් රුපියල් 320ක් වූ භාණ්ඩයේ මිල රුපියල් 330 දක්වා ඉහළ යනවා. ඒ අනුව, විකිණෙන මුළු ඒකක ගණන 180 දක්වා පහත වැටෙනවා. රුපියල් 40ක ස්ථාවර පිරිවැය ආවරණය කරගන්නනම් එක් සැපයුම්කරුවෙකු විසින් අඩු වශයෙන් ඒකක 2ක්වත් විකිණිය යුතු නිසා දැන් මේ වෙළඳපොළේ රැඳී සිටිය හැක්කේ තරඟකරුවන් 90 දෙනෙකුට පමණයි. ඉතිරි 10 දෙනාට වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.
අනෙක් අතට යම් හෙයකින් ඔය විචල්‍ය පිරිවැය අඩු වුනොත් ඊට අනුරූපව මිල පහළ ගිහින් ඉල්ලුම ඉහළ යනවා. එහිදී තවත් අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේක තරඟකාරී වෙළඳපොලක ස්වභාවය. පිරිවැය විචලනය වීමට අනුරූපව සැපයුම්කරුවන් ගණන වගේම භාණ්ඩයේ මිලද විචලනය වෙනවා. ස්ථාවර පිරිවැය අඩු නිසා, අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න පහසුයි. ඒ වගේම, පිරිවැය පොඩ්ඩක් ඉහළ ගිය ගමන් යම් සැපයුම්කරුවන් පිරිසකට වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද එවැනි කම්පනයක් දරා ගත හැකි තරමේ සුපිරි ලාබ මෙවැනි වෙළඳපොළක නැහැ.
මෙයින් වෙනස්ව ඒකාධිකාරයක් ඇති විට පිරිවැය විචලනය වන තරමටම මිල විචලනය වෙන්නේ නැහැ. පිරිවැය ඉහළ යද්දී එයින් කොටසක් සැපයුම්කරු විසින් දරා ගන්නවා. ඒක කරන්නේ පාරිභෝගිකයාට තිබෙන ආදරයකට නෙමෙයි. ලාබ උපරිමයක් වෙන්නේ එසේ කළ විට නිසා. අනෙක් අතට, පිරිවැය අඩු වන තරමට මිල අඩු කරන්නේත් නැහැ. මොකද එහෙම නොකළා කියලා පාරිභෝගිකයින්ට යන්න වෙන තරඟකරුවෙක් නැහැ.
ඒකාධිකාරයක ඉඳලා තරඟකාරී වෙළඳපොළක් දක්වා වෙළඳපොළක් පරිණාමය වෙද්දී වෙන්නේ ස්ථාවරව තිබුණු මිල වැඩි වැඩියෙන් විචලනය වෙන එක. හොඳම උදාහරණය ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ. මෙම වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්න නිසා දැඩි තරඟය හමුවේ මිල තීරණය වෙන්නේ පිරිවැය අනුව ලබා දිය හැකි අවම මට්ටමේ. මිල ඒ මට්ටමට ආවට පස්සේ පිරිවැයෙහි සිදුවන සුළු වෙනසක් වුවත් පාරිභෝගියාට පටවන්න වෙනවා. මොකද එවැනි සුළු වෙනසක් වුවත් දරා ගැනීමේ හැකියාවක් සැපයුම්කරුවෙකුට නැහැ. පිරිවැය ඉහළ යද්දී සියළුම සැපයුම්කරුවෝ එකවර මිල වැඩි කරනවා.
ඒකාධිකාරයක් ඇති විට මෙවැන්නක් වෙන්නේ නැහැ. ඒකාධිකාරී සැපයුම්කරුට තමන්ගේ සුපිරි ලාබ වලින් පිරිවැය කම්පන අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ හේතුව නිසාම, පිරිවැය ඉහළ යද්දී ඊට අනුරූපව මිල ඉහළ යනවානම් එයින් පෙනෙන්නේ තරඟකාරිත්වය හොඳ මට්ටමක තිබෙන බව. එසේ නොවේනම් එයින් පෙන්වන්නේ පිරිවැය කම්පන අවශෝෂණය කරගෙන ලාබ වැඩි කර ගත හැකි ඒකාධිකාරී බලයක් තිබෙන බව.
~ ඉකොනොමැට්ටා
RN