“සමාජවාදය පෙන්නලා ඇවිත් අන්ත දක්ෂිණාංශික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ජවිපෙ ඉදිරිපත් වෙලා.” (හර්ෂ ද සිල්වා)
කොළඹ LNW:ඔව්! ඇත්ත වශයෙන්ම ඒක විහිළුවක් තමා. ඒත් කමක් නෑනේ හර්ෂ. ඒකනේ කොහොම හරි අපට සිද්ධ වෙන්නත් ඕන නේද? එතකොට ඒ පිළිබඳ කරුමයත් ඉවරයි. ඒත් තාමත් අපිට තියෙන බය තමා සමාජවාදය ඔලුවේ තියාගෙන ධනවාදය නඩත්තු කරන්න ගිහින් අන්තිමට හැම දේම විකාරයක් වෙයිද කියන එක. එහෙම වෙන එක රටට හොඳ නැති නිසා මේ මොහොතේ අපි පුළුවන් තරම් ඒ කියන දක්ෂිණාංශික වැඩ පිළිවෙලත් එක්ක ඉස්සරහට යන්න මේ ආණ්ඩුවට උදව් කරමු. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙලෙන් පිටට පනිනවා නම් විතරක් අපි ආණ්ඩුවට විරුද්ධ වෙමු. මං එහෙම කිව්වට ඉතිං ආණ්ඩු බලය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට එහෙම පාඩුවේ ඉන්න පුළුවන් කමකුත් නෑනේ නේද? අනිත් එක ජවිපෙ දැන් ආණ්ඩුව කරන ගමනුත්, තමන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ බව අමතක වෙලා වගේ පරණ පුරුදු විදිහට විරුද්ධ අනික් අයට බැන බැන ඉන්න එකේ, ඉතිං ඔයාලා එහෙම විහිළුවක් දෙකක් කරන එකෙත් අසාධාරණයක් නෑ. කමක් නෑ! කොහොම කොහොමින් හරි අන්තිමට හැමෝම රට ගැන ප්‍රශස්ථ (යථාර්ථවාදී) ස්ථාවරයකට එන එක හොඳයි. දැන් බොහෝ කාලයක් ඉඳන් අපි බලාගෙන හිටියේ එහෙම තත්ත්වයකට මේ රට පත් වෙන කල්නේ. ඒකට මෙතෙක් ලොකුම බාධාවක් වුණේ වාමාංශික ව්‍යාපාරය කියලා හිතෙන නිසා ඒකෙනුත් බලපෑම් ශක්තියක් ඇත්තටම තිබුණේ ජවිපෙට කියලා කියලා දන්න නිසා, කමක් නෑ ලොකු හූවක් තියලා හරි, ඒත් ඒ හූවෙන්ම එයාලව සාදරයෙන් පිළි අරගෙන, ඔයාලගේ මතයත් එක්ක හැඩ ගැහෙන්න දැන් එයාලට උදව් කරන්න. අපි දැන් හිතා ගනිමු ජවිපෙ ඒ හැඩ ගැසීම රටට වාසනාවක් කියලා.
ඇත්තටම එහෙම විහිළුවකට ලක් නොවී, මේ ලබපු ජයග්‍රහණය ලබා ගන්න ජවිපෙට හොඳටම පුළුවන්කම තිබුණා, ජවිපෙ නව ලිබරල්වාදයට ගොදුරු වෙලා කියලා චෝදනා කරමින් අතිවාමවාදී පිරිසක් (අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය) ජවිපෙන් ගැලවිලා ගියාට පස්සේ, ඔවුන්ගේ එම චෝදනාව හිස මුදුණෙන්ම පිළි අරගෙන ඒ පිරිසටම සමාජවාදය කියන සමාජ-වදයයි, ජවිපෙන් ඊටත් ඉස්සර ඉවත් වුණු විමල් වීරවංශ ඇතුලු පිරිසට (ජාතික නිදහස් පෙරමුණට) ජාතිකවාදය කියන ජාතික-වදයයි දෙක ඉත සිතින්ම බාර දීලා, නිදහස් හිතින් ලෝක ආර්ථික යථාර්ථය ගැන විද්‍යාත්මක අධ්‍යයනයක යෙදෙන්නට උනන්දු වුණා නම් සහ ඒ ඔස්සේ කල් ඇතිවම ලංකාවේ මේ උද්ගත වුණු ආර්ථික අර්බුදයට නිසි විසඳුම තෝරගෙන ඒ සඳහා පක්ෂය සහ ජනතාව සූදානම් කරන්න දක්ෂ වුණා නම්.
ඔයාගේ නායකයා වුණත් හර්ෂ ඔයා වගේ පැහැදිලි දැක්මක නැති බවත් ජවිපෙට අභිමුඛව දිනපතා විහිළු සහගත කතා සපයපු කෙනෙක් කියලත් ඔයා දන්නවනේ නේද? “IMF කොන්දේසිවලට යට වෙලා වැඩ කරන්න, එහෙම යට වෙලා ජාතික සම්පත් විදේශිකයින්ට විකුණලා දාන්න මේ සජිත් ප්‍රේමදාස සූදානම් නෑ” කියලා පපුවට අත ගහගෙන සජිත් දිවුරන කොට සහ ඉෂ්ට කරන්න තියා නිකමටවත් හිතන්නවත් බැරි දේවල් දෙන්නම් කියලා ජනතාවට පොරොන්දු වෙන කොට ඒ වේදිකාවෙම හිනා වෙලා අහගෙන හිටියට හිතෙන් ඔයා හිටියේ කට ඉස්පිල්ලක් වගේ ඇද කරගෙන කියලා අපි දන්නවා හර්ෂ. ඇත්තටම රටට අවශ්‍ය දේ එදා සිටම නිවැරදිව දැක්කට, ඒ දන්නා දේත් එක්ක හරි හැටි දේශපාලනේ රැඳී ඉන්න ඔයා වගේ අයට බැරි වුණෙත් උන්නැහේ එජාපෙට කරපු හරිය නිසා නේද?
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/Harsha_24121.jpg)
රනිල් එක්ක තිබ්බ කෝන්තර තමන්ගේ මාධ්‍ය ඇතුලේ ජුගුප්සාජනක විදිහට ප්‍රදර්ශනය කරමින් සිරසම කැප කරල කටයුතු කරපු මාධ්‍යයට ගොදුරු වෙලා එයා කරපු ඒ වැඩෙන් අන්තිමට පාඩු වුණේ ඔයාලටමයි හර්ෂ. එජාපෙට දිනන්න බැරි වුණේ රනිල් නිසා කියලා රනිල්ව පන්නන්න හදලා, බැරි තැන ඔයාලවත් ඩැහැගෙන සජබ අටව ගත්තට, එහෙම කරලා එකම එක ජාතික ලැයිස්තුවේ මංත්‍රී ධූරයකට පමණක් වට්ටලා එ.ජා.ප.ය මට්ටු කළාට කෝ ඉතිං ඔයාලා ඒත් දිනුවේ නෑනේ. ඒ එක මංත්‍රී ධූරයවත් බාර ගන්නේ නැතිව ඉඳලා, කොහොමද කල් යල් බලලා ඒකේ පිහිටෙන් ආයෙත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අරගලයටත් අවශ්‍ය තරමින් නඩත්තු කරලා, සජිත් බාර ගන්න බෑ කිව්ව (ඔයත් එයාට භාර ගන්න එපා කිව්ව) අගමැතිකමත් භාර අරගෙන, අන්තිමට ජනාධිපතිකමත් ඩැහැගෙන රනිල් ගහපු ගේම? පළමු පැයේදිම අපි දැන ගත්ත රනිල් ආර්ථිකය ස්ථාවර කරන්න දක්ෂ වෙන බවත් ඒ වුණාට ඒකෙන් එයාට කොහොමටවත් පක්ෂය ගොඩදාගන්න බැරිවෙන බවත්. එකක් තමා රනිල් ඒකට නම් දක්ෂ නෑ. ජනප්‍රියවාදී ලක්ෂණත් රනිල්ට අඩුයිනේ නේද? අනික තමා රට ගොඩදාන මූලික වැඩ ටික කළාට, රටවැසියා එතෙක් ගත කරපු ජීවන තත්ත්වය වහා ලබා දෙන්න රනිල්ට නොහැකි වීම. ඒක රනිල්ට තියා කාටවත් බැරි බව අපේ බුද්ධිමත් ජනතාවට දැන්වත් තේරුණොත් හොඳයි. නැතිනම් පොහොට්ටු ආණ්ඩුවට වෙච්ච දේ තවත් විදිහකින් මාලිමා ආණ්ඩුවටත් වෙයි. අවදානමට කර ගහන්න එපා කියලා එදා ඔයා සජිත්ට කියන්න ඇත්තෙත් ඒ නිසානේ නේද? මොකද- රනිල්ට මේ වෙච්ච වැඩේ එහෙනම් වෙන්නේ සජිත්ටනේ. ඔයා එහෙම ගණන් හැදුවට හර්ෂ මේ අර්බුදයේ වාසිය දේශපාලනිකව ගන්නේ අනිවාර්යයෙන්ම ජාජබ කියලා පොළොවේ හිටපු අපි දැන ගෙන හිටියා. මොකද? අර්බුදයට වග කියන්න ඕන මෙතෙක් ආණ්ඩු කරපු හැමෝම කියන තැනට ජනතාවගේ වැඩි දෙනෙකුගේ මානසිකත්වය නැඹුරු වෙලා තිබුණේ ඒ වෙනකොටත්. උනුත් එකයි! මුනුත් එකයි! කියලා අදහසක් මුල ඉඳන්ම ජවිපෙ විසින් සමාජගත කරලා තිබුණු නිසා ඒක ඒ මොහොතේ ඉඳන් ජවිපෙට යා දෙන්න ගත්තා. ඒ කියන්නේ ලොකු වාසියක් වුණා.
ජවිපෙ ජයග්‍රහණය ගැන අපිට තිබුණු එකම බය තමා ජවිපෙ සමාජවාදී පක්ෂයක් වීම. සමාජවාදය පිළිබඳ වුවමනාව ජාජබ විදිහට අඩු කරලා පෙන්නුවාට, ඇත්තටම ජවිපෙ හිටියේ සමාජවාදය නිවැරදියි කියන තැන නිසා. බය අඩු කර ගත්තේ කොහොම වෙතත් විධායකය කියන්නේ ඒ අය විතරක් නොවෙයිනේ කියලා හිත හදාගෙන සහ “බලය නැති කාලේ යටි ගැහුණු මොලේ, බලය ලැබුණාම පෑදෙයි” කියන විශ්වාසයකින්. ස්ථාවර විධායකය විදිහට රජයේ නිළධාරීන් (විශේෂයෙන්ම ආර්ථික කාරණාවේදී මහ බැංකුව) දන්නවා කළ යුත්තේ කුමක්ද කියලා. ඉතිං අපිට දැන් හොඳටම පේනවා ජාජබට ඕන විදිහට ඒ කටයුතු හසුරු වන්නේ නැතිව, ඒ නිළධාරීන්ගේ දැනුමට අනුව හැඩ ගැහිලා ජාජබ ආණ්ඩුව හැසිරෙන විදිහක්. ඒ නිළධාරීන්ට නායකත්වයක් දීමට තරම් සුදුසු දැනුමක් නැතිකම අවාසනාවක් වුණත්, යටත් පිරිසෙයින් ඔවුන්ගේ උපදෙස් පරිදි ආණ්ඩුව කර ගෙන යාමට “නිහතමානී වීම” ගැන අපි ආණ්ඩුවට ප්‍රශංසා කළ යුතුයි. දෙකෙන් එකක් වෙන්න ජවිපෙට බලයට ලැබෙන එකත් හොඳයි කියලා අපි ඒ කාලේ නොකිව්වත් නොවෙයිනේ. පංතියේ දඩබ්බරයට පංති නායකකම දීලා වැඩේ ගොඩ දාගත්තු අපේ කාලේ සමහර පංතිභාර පාසල් ගුරුවරුන් අනුගමනය කරපු ක්‍රමය තමයි මෙදා පාර ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව කරල තියෙන්නේ. ඉතිං නරකම නෑ ඒ විදිහත්. ලොකුම දේ තමයි විපක්ෂයට වැටුණුදාක ආයෙත් “ලොරිටෝක්ස්” දෙන්න බැරි වෙන එක. සමහර විට ඉතා කඩිනමින් පුළුවන් වුණොත් රාජ්‍යතාන්ත්‍රික ළදරුභාවයෙන් මිදෙන්න ඒක රටට විතරක් නොවෙයි එයාලටත් වාසනාවක් නිසා ඒ සඳහා සුබ පතන්නත් අපි පසුබට වෙන්නේ නෑ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/images-2-2.jpeg)
මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කරලා තිබ්බට තුනෙන් දෙකේ ජනවරමක් තියෙන මේ මොහොතේ ජාජබ ආණ්ඩුවට පුළුවන් කම තිබෙනවා ඒ තත්ත්වය වෙනස් කරලා එයාලට ඕන විදිහට වැඩ කරගෙන යන්න. ඒත් ඉරුම් පට්ටලේට නැගලා ඉරුම් කඳේ ඉරුම් පහසුවට ගහල තිබ්බ කූඤ්ඤේ ගලවලා, ඉරුම් පලු දෙක අතරේ තමන්ගේ වලිගේ හිර කරගත්ත රිලවා වගේ වැඩ නොකර, රනිල් කරගෙන ගිය වැඩ පිලිවෙලේම යමින් කටයුතු කිරීමට සිතා ගැනීම හොඳ ප්‍රවණතාවක්. අපි හිතමු ඒකම දක්ෂ කමක් විදිහට. ඔව්! ජනතාවට මොනවා කියලා බලය ගත්තත්, බලය භාවිතා කිරීමේ දී යටත් පිරිසෙයින් ප්‍රවේශම් සහගත වීමත් (අමුතු දේවල් නොකර, කරගෙන ගිය වැඩේ යහතින් කර ගෙන යාමට හැකි වීම) දක්ෂ කමක් තමා. ඒ ගැන ආණ්ඩු පක්ෂයට ප්‍රශංසා කිරීමට අප ලෝබ නොවිය යුත්තේ, ඉතිරි-බිතිරි නැතිව අනෙක් දුබලතා සියල්ලත් අහෝසි කර ගැනීමට ඔවුන්ට දක්වන සහයෝගයක් විදිහට. මොකද? පෙරලා එය රටේ වාසනාවට හේතු වෙන නිසා. ඒ ගොල්ලෝ දේශපාලනේට ආවේ දේශපාලනෙන් හම්බ කර ගන්න බලාගෙන නොවෙයි කියන විශ්වාසය තාමත් අපි තුළ තියෙනවා. සුබවාදීව බලන් ඉන්න අයට පවා දිරවා ගන්න බැරි ගති ලක්ෂණ මොනවද කියලා ස්වයංව තේරුම් අරගෙන ඒවා නැති කර ගන්න උනන්දු වෙනවා නම් තවත් හොඳයි.
ගැමුණු කුසුම් දිසානායක
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-2-1-1.webp)