ජනපති රනිල් යාපනේ ගොවීන්ගේ ගැටලු විමසයි. වී කිලෝවකට රු. 100ක සහතික මිලක්

Date:

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.

පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය .

“ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළා. ඒ නිසා මෙවර මහ කන්නයේ දී වී අස්වැන්නේ අතිරික්තයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව වී කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගන්න කටයුතු කරනවා.

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටිනවා. ඒ නිසා පවුල් ලක්ෂ විස්සකට මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රැම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිංහල, දෙමළ අලුත් අවුරුදු සමය වන විට ඒ අයට සහල් කිලෝ 20ක් ලැබී තිබෙනවා.

දැනට හෙක්ටයාරයකට ලැබෙන්නේ වී මෙට්‍රික් ටොන් 03ක වගේ ප්‍රමාණයක්. අපි ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමඟ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හයක්වත් ලබා ගන්න අපට අවශ්‍යයි. හැකිනම් එය මෙට්‍රික් ටොන් 07 දක්වා වර්ධනය කරගත යුතුයි. එම දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා. මීට වඩා වී මිලදී ගැනීමේ ක්‍රම සහ ගබඩා කිරීමේ ක්‍රම ඉන් පසුව නිර්මාණය වේවි. ඒ වගේම කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නවීන හාල් මෝල් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළදී ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපිට හැකි වේවි. මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පුනරින් වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. ඉරනමඩු වැව මේ වනවිට සකස් කර අවසන්.

යාපනය දිස්ත්‍රික්කය සහ උතුරු පළාත නැවත රටටම ආහාර සැපයිය හැකි තරම් අස්වැන්නක් ලැබීමට හැකි පළාතක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මීට අමතරව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැනීම අපේ අපේක්ෂාවයි”

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව කිළිනොච්චිය, පන්නම් කන්ඩි වෙල්යාය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සිටි ගොවි ජනතාවගේ ද ගැටලු පිළිබඳ සොයා බලමින් ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ජනාධිපතිවරයා දැක බලා ගැනීමට ඒ අවට රැස්ව සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි කුඩා දරුවන් අතරට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...