*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හිපියෙකුගේ යාච්ඥාව අවසන හිමි වූ නොබෙල් ත්‍යාගය

සටහන – බාසුරු ජයවර්ධන

පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් නෝර්විජියානු ලේඛක ‘ජෝන් ෆොසේ’ යනු නවකතාකරුවෙකු, තිර පිටපත් රචකයෙකු හා කවියෙකු වශයෙන් පුළුල් මාධ්‍ය භාවිතාවන් ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන 64 හැවිරිදි නිර්මාණකරුවෙකි. ඔහුගේ බොහොමයක් නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය වීම සිදුව ඇත්තේ ඉතා සුළු වශයෙන් වුවද දැන් දැන් එම තත්වය මඟහැරෙමින් එම නිර්මාණ කාර්යයන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙමින් තිබේ.

ෆොසේ යනු ඊළඟ නොබෙල් සාහිත්‍යලාභියා වශයෙන් දිගු කලක් තිස්සේම ඉඟි කර තිබුණ අතර නොබෙල් ත්‍යාගයට පෙරාතුවම ඔහු බොහෝ සම්මානවලින් සම්මානිත වූ අතරම සිය මව් රට තුළ මහඟු කීර්තියකට සහ ප්‍රසංශාවකට ද ගරු නම්බු නාම ලැබීමට ද සමත් වූයේය.

නාට්‍ය රචකයෙකු ලෙස ද ෆොසේ විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන අතර ‘නව- ඉබ්සන්’ යන අන්වර්ථ නාමයෙන් ඔහුව හැඳින්වීම ඒ බව සනාථ වන සාධකයකි. ඉබ්සන්ගෙන් පසුව නෝර්වේ තුළ වැඩි වශයෙන්ම රඟ දක්වා තිබෙනුයේ ෆොසේ ගේ නාට්‍යයන්ය.

නොබෙල් ත්‍යාගය ලබා දීමේදී ද ෆොසේගේ නාට්‍ය රචනය පිළිබඳව විශේෂයෙන් සළකා බලා තිබෙන බව පෙනෙන්නේ, නාට්‍ය සම්බන්ධ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව නොබෙල් සාහිත්‍ය ඇගයුම් කමිටුව කර තිබෙන ප්‍රකාශයෙනි. එනම් ‘කිව නොහැකි දේට හඬක් ලබා දෙන නව සොයාගැනීම් වලින් යුක්ත ඔහුගේ නාට්‍ය සහ ගද්‍ය සඳහා’ නොබෙල් ත්‍යාගලාභියා බවට පත් වන බව සඳහන්කර තිබීම තුළිණි.

භාෂා පනහකට පමණ පරිවර්තනය කර තිබෙන ඔහුගේ නවකතා ,ළමා කතා සහ කවි මෙන්ම නාට්‍ය ගණනද සංඛ්‍යාත්මකව හැත්තෑවකට අධික වන බව සඳහන් වේ. ගීතමය ගද්‍යය හා පද්‍යමය ස්වරූපයකින් භාෂාව භාවිතා කරන ෆොසේ මිනිමලිස්ට්වාදී සහ ගැඹුරු අභ්‍යන්තර විමර්ශනයන් සහිත නාට්‍යයන් තුළින් 19 වන සියවසේ හෙන්රික් ඉබ්සන් විසින් පිහිටුවන ලද නාට්‍ය සම්ප්‍රදායේම නවීන වූ අඛණ්ඩ පැවැත්මක් නියෝජනය කරන බව විචාරකයක් පවසති.

ෆොසේගේ කෘති බොහෝ වශයෙන්ම පශ්චාත් නාට්‍යමය නාට්‍ය ලිවීමේ සම්ප්‍රදායට ඇතුළත් වන අතරම ඔහුගේ කැපී පෙනෙන නවකතා කිහිපක්ම පශ්චාත්නූතවාදී සහ ඇවන්ගාඩ් සාහිත්‍යය ශෛලියට අයත් වනුයේ, ඒවායේ පවතින මිනිමලිස්ට් ගතිය සහ පද ඝටනය හේතුවෙන් නිර්මාණය වන ගීතමය ස්වභාවයෙන් යුතු වාක්‍ය ඛණ්ඩයන්ගේ අසාමාන්‍ය භාවිතාව හේතුවෙනි.

පශ්චාත් නාට්‍යමය නාට්‍ය ලිවීම යන සංකල්පය ජර්මානු පර්යේෂකයෙකු වන හෑන්ස් තීස් ලෙහමන් විසින් ඔහුගේ පෝස්ට් ඩ්‍රැමටික් තියෙටර් කෘතියේ ස්ථාපිත කරන ලද සංකල්පයකි. 1960 ගණන්වල අග භාගයේ සිට ඇවන්ගාඩ් රඟහල තුළ ඇති වූ ප්‍රවණතා සහ ශෛලීන් ලක්ෂ ගණනාවක් මෙහිදී ඔහු සාරාංශ කරනු ලබයි. පශ්චාත් නාට්‍යමය නාට්‍ය ලිවීම යනු නාට්‍ය රචකයෙකු විසින් සිතුවම් කරන ලද එකළස් නොකළ සහ අසංවිධානාත්මක සාහිත්‍යය නවකතාමය ආකෘතියකට ගෙන ඒමට තැත් කිරීමකි.

මෙම ලිපියේ අන්තර්ගත සෑම පාරිභාෂික පදයකම අරුත් සරළව පැහැදිළි කිරීම කළ නොහැකි යථාර්ථයක් වන බැවින් හැකි සෑම අවස්ථාවකදීම ඒවා සරළව ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇත්තෙමු. ඒ පිළිබඳව පාඨක ඔබ යම්කිසි අපහසුතාවයකට පත් වූවා නම් සමාවනු මැනවි. ඉඳින්, එම නිසාම දැන් අපි මෙම නිර්මාණකරුවාගේ චරිතාපදානමය කරුණු කීපයකට යොමු වී බලමු. එය, මෙහි සංකීර්ණ බව මඳකට දුරු කරනු ඇත.

ෆොසේ උපත ලබන්නේ 1959 දී නෝර්වේවල හොග්එසුන්ඩ්වල වුවද ඔහු හැඳී වැඩුණේ ස්ටැන්ඩ්ඩෙබාර්ම් වලදීය. ඔහුගේ පවුල ක්වාර්ක්වරුන් සහ පයිටිස්ට්ස්වරුන්ගෙන් සමන්විත වූ අතර ඔහුගේ ආත්මීය දැක්ම මුවහත් කිරීම පිළිබඳව ෆොසේ ඔවුනට බෙහෙවින්ම ගෞරව කරන බව කියවේ.

වයස අවුරුදු හතේදී සිදු වූ මාරාන්තික අනතුරක් හේතුවෙන් ඔහු මරණාසන්න වුණේය. එහිදී ඔහු අත්දැකීමෙන්ම මිනිසෙකුගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින දීප්තිමත් ආලෝකමත් බවක්, සාමය සහ අලංකාරත්වය පිළිබඳ හැඟීමක්(පාරභෞතික පුද්ගලික හැඟීමක්) අත්විඳිනු ලැබුවේය.

ඒ පිළිබඳව සඳහන් කරමින් ෆොසේ පසුකාලයකදී පවසා සිටියේ ‘මං හිතන්නේ ඒ අත්දැකීම මූලික වශයෙන් මාව වෙනසකට භාජනය කළා. ඒ වගේම බාගවිට මාව ලේඛකයෙකුත් කළා’ යනුවෙනි. පොත් ගැන එතරම්ම සැළකිළිමත් බවක් මුලදී ඔහු තුළ නොමැති වුණත් ඔහු තමන්ගෙ ලේඛනය පටන් ගත්තෙ යාන්තම් අවුරුදු දොළහ වන විටදීමය.

නව යෞවනයෙකු වශයෙන් රොක් සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙකු වීමට ඔහුට අවැසි වූ නමුත් ඔහු එම අභිලාෂයන් අතහැර දැමීමත් සමඟ වැඩි වශයෙන් තම කාලය ලේඛනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කළේය. වයලීනය වාදනයේද නිරත වූ ඔහුගේ නව යොවුන් වියේ රචනාවන් බොහොමයක් ඇතුළත් වුණේ ඔහුගේම සංගීත පද රචනාවන්ටය.

වයසින් මෝරා වැඩෙත්ම ඔහුට කොමියුනිස්ට්වාදයේ සහ අරාජිකවාදයේ බලපෑමට මුහුණ දීමට සිදු වූ අතර ඔහු ඔහුවම හිපියෙකු වශයෙන් හඳුන්වා ගත්තේය. බර්ජෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ෆොසේ තුලනාත්මක සාහිත්‍ය හදාරමින් එම අවධියේදී නීනෝසිකි රචනයෙන් ලිවීමට පටන් ගත්තේය. නීනෝසිකි යනු නෝර්වීජියානු ලේඛනයේ නිළ ලිඛිත ප්‍රමිතීන්ගෙන් එකක් වන අතර අනෙක බොක්මෝල් යනුවෙන් හඳුන්වනු ලබයි.

ඔහුගේ පළමු නවකතාව ‘රෙඩ් බ්ලැක්’ නම් වූ අතර එය 1983 දී පළ විය. එය නීනෝසිකි රචනයෙන් ලේඛනයේ නිරත වූ නෝර්වීජියානු කවියෙකු සහ නවකතාකරුවෙකු වූ ‘ටාර්ජෙයි වෙසාස්’ ගේ ආභාසය මත නිර්මාණය වූ නවකතාවක් ලෙස හඳුන්වනු ලැබේ. මෙම නවකතාව එකල නෝර්වේහි ජනප්‍රිය වූ ‘සමාජ යථාර්ථවාදී ප්‍රබන්ධ’ වලට ප්‍රතිවිරුද්ධ වූ අතර කථා වස්තුවට වඩා භාෂාමය ප්‍රකාශනය අවධාරණය කොට ලියන ලද්දකි.

සිය දෙවන නවකතාව වන ‘ක්ලෝස්ඩ් ගිටාර්’ නම් කෘතිය 1986 දී පළ කළ හෙතෙම ඒ සමඟම ‘කාව්‍ය චක්‍රයක්’ වූ ‘ඒන්ජල් විත් වෝටර් ඉන් ඉට්ස් අයිස්’ ද ඒ සමඟම පළ කරනු ලැබුවේය. කාව්‍ය චක්‍රයක් යනු ආදරය සහ අහිමිවීම පිළබඳවත්, නැවත එය ලබාගැනීම පිළිබඳවත් කාව්‍යාවලියක් තුළින් කියාපෑමකි. මෙහි තේමාව ස්වයං ආවර්ජනයන් මඟින් මතුවෙමින් කියාපානු ලබන්නකි.

1987 දී බර්ගෙන් විශ්ව විද්‍යාලයෙන් විශාරද උපාධිය ලබා ගන්නා ඔහු සිය තෙවනි නවකතාව වන ‘බ්ලඩ් ද ස්ටෝන් ඊස්’ නම් වූ කෘතිය ද ප්‍රකාශයට පත් කළේය. 1989 දී සිය බිරිඳගෙන් වෙන් වූ හෙතෙම එය අනුව යමින් තවත් නවකතාවක් පළ කළ අතර ඒ සමඟම සිය පළමු නිබන්ධන එකතුව ද පළ කරන ලැබුවේය . සිය දෙවන බිරිඳ වන ග්‍රේතේ සමඟ එක්වෙමින් දිගින් දිගටම නවකතා පළ කිරීමේ නිරත වූ ෆොසේ පරිවර්තන කිහිපයකට ද ඇය සමඟ අත ගැසුවේය.

ෆොසේ ගේ පළමු නාට්‍ය ‘ඇන්ඩ් වෙල් නෙවර් බී පාර්ටඩ්’ 1994 දී රඟදැක්වුවේය. ෆොසේ ගේ නිර්මාණකරණයට බලපෑ ප්‍රධාන පෙළේ ලේඛකයන් වශයෙන් සැමුවෙල් බෙකට්, තෝමස් බර්න්හාඩ් ,ෆ්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ් යන අය හැඳින්වීමට පුළුවන.

හිටපු ප්‍රංශ ජනාධිපති ‘ඩි ගෝල්’ විසින් 1963 දී ආරම්භ කරන ලද චෙවාලියර්(නයිට් පදවිය) පදවියෙන් පිදුම් ලැබීමට 2003 වසරේදී ෆොසේට හැකි වුණි. ‘ඩේලි ටෙලි ග්‍රාප්’ විසින් ඔහු ජීවතුන් අතර සිටින බුද්ධිමය හා නිර්මාණාත්මක බව පිළිබඳ විශිෂ්ඨතමයන් සිය දෙනා අතරින් 83 වැනි ස්ථානයේ පසුවෙන බව ප්‍රකාශයට පත් කළේය. 2011 දී නෝර්වේ රජමාලිගාවට සමීපයෙන් වූ ග්‍රොටන් නම් වූ ගෞරවයට පාත්‍රවන පුරවැසියන් උදෙසා වූ නිවහනෙහි පදිංචි වීමටද ෆොසේට හැකි වුණි.

සිය නිර්මාණාත්මක ගමන් මගේ කෙමෙන් කෙමෙන් ඉදිරියට යන විට ඔහුට ලැබුණ සම්මාන සහ පිළිගැනීම් මෙතකැයි කියා කිව නොහැකි තරම්ය. අවසන එය කූඨ ප්‍රාප්තියට පැමිණියේ, පසුගිය වසරේ නොබෙල් සාහිත්‍යය ත්‍යාගයට ඔහු හිමිකම් කීමත් සමඟිනි.

විවාහයන් තුනකටම යොමු වූ මේ නිර්මාණවේදියා දරුවන් සය දෙනෙකුගේ පියෙකි. මේ වන විට ඔහු සිය තෙවන බිරිය වන ස්ලොවැක් සමඟ ඕස්ට්්‍රයාවට වී දිවි ගෙවනු ලබන්නේය. හුදකලාව සිටීමට ප්‍රියකරන ෆොසේ කිසිවිටෙක රූපවාහිනිය හෝ ගුවන් විදුලියට සවන් නොදෙන අතර කලාතුරකින් ඔහු සංගීතයට ඇහුන්කන් දෙන බව කියවේ. හුදකලාව ලුහුබඳිමින් ලේඛනයේම නිරතවන ඔහු ලිවීම දකිනුයේ පාපොච්චාරණයක් සහ යාච්ඥාවක් ලෙසටය.

ෆොසේගේ ප්‍රධාන වශයෙන්ම කථිකාවට බඳුන් වූ නවකතා කීපයක අන්තර්ගතයන් පිළිබඳ කතා කිරීම ඔහුගේ කෘති පරිශීලනය කිරීමට මෙම ලිපිය කියවන ඔබ තුළ නැඹුරුවක් ඇතිවන කාරණාවක් බැවින් ඔහුගේ තෝරාගත් කෘති කිහිපයක අන්තර්ගතයන් පිළිබඳ සාරාංශයකට යොමු වීම වටින්නේ යැයි සිතන්නෙමු.

2023 දී ප්‍රකාශයට පත් වූ ඔහුගේ ‘ඇලිස් ඇට් ද ෆයර්’ නම් වූ නවකතාව සිග්නේ නම් වූ මහළු ගැහැණියක් සිය එෆ්ජෝර්ඩ් හි නිවසේ ගිනි උදුන අසළ වැතිරගෙන වසර විස්සකට පෙරාතුව ඔරු පැදීමට ගොස් නැවත නොපැමිණි සිය සැමියා වන ඇස්ලේ ගැන කරනු ලබන සිහින දැකීමකි. ඇස්ලේ ගේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය වටා ගොඩ නැගී තිබෙන මෙම කතා පුවත එකම රූපයක් වටා නැවත නැවතත් කේන්ද්‍රගත වෙමින් දිගහැරෙන්නකි. ඇස්ලේ ගේ සීයාත් ඔහු මුහුණ දුන් ඉරණමටම මුහුණ දී තිබෙන අතර ‘ද ගාඩියන් ’මෙම කෘතිය හඳුන්වන්නේ මෝහනීය සහ අද්භූත නවකතාවක් යනුවෙනි.

1989 දී පළ වූ ඔහුගේ ‘බෝට් හවුස්’ නම් වූ නවකතාව අපරාධ නවකතා ගණයට සමීපත්වයක් දක්වන නවකතාවකි. මෙහි තිස් හැවිරිදි කථකයා සිය ජීවිතයේ සියළු දේවල් වලින් පරාජයට පත් වූ අයෙකු සේ දිස්වන අතර හෙතෙම අත්‍යයන්ත හුදකලාවක් මැද සිය මව සමඟ වාසය කරන්නේ, සිය ජීවිතයේ මූලික දේවල් සිදු කරගැනීමටවත් හැකියාවක් නොමැති බව පෙන්වමිනි. ඔහුගේ ජීවිතයේ වඩාත්ම වැදගත් අතීත සිදුවීම නම්, ඒ වන විට ඔහු සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති සිය ළමා වියේ මිතුරෙකු වූ නට් සමඟ ගොඩ නැගූ රොක් සංගීත කණ්ඩායමයි. එක් ග්‍රීස්ම සෘතුවකදී අහඹු ලෙස ඔහුට නැවතත් නට් මුණ ගැසේ.

ඒ වන විට නට් විවාහ වී යම්කිසි දුරකට සාර්ථක යැයි කිව හැකි සාමාජීය ජීවිතයක් ගත කරන්නෙකි. කථකයා තුළ විනාශකාරී හෙළා දැකීමකට තුඩු දෙන මේ සිදුවීමට සමාන්තරව ඔහු නවකතාවක් ලිවීමට පටන් ගනී. මෙය ඔහුගේ පැවැත්මේ සෑම නොසන්සුන් අවස්ථාවක්ම නිරූපණය කරමින් ලියනු ලබන කතාවකි.

ෆොසේගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැළකෙන්නේ පොත් හතකින් සමන්විත වන ‘සෙප්ටලොජි’ නම් වූ නිර්මාණයයි. පසුව මෙය පොත් තුනකින් නම් වෙනස් කොට එළි දක්වා තිබේ. මෙම නිර්මාණය නිරිත දිග නෝර්වේහි වාසය කරන වයස්ගත කලාකරුවෙකු වන ඇස්ලේ වටා ගෙතුණ කතා පුවතකි. කතෝලික ආගමට හරවාගනු ලැබූ ෆොසේ මෙන්ම ඇස්ලේ ද කාලය කලාව සහ අනන්‍යතාවය සමඟ පොරබදමින් සිටින්නෙකි. මෙය පැවැත්මේ අර්බුදය පිළිබඳ ලියවුණ අසාමාන්‍ය කෘතියකි. ‘ද ගාඩියන්’ මෙය හඳුන්වන්නේ බිය උපදවන සහ තීව්‍ර කියවීමක් වශයෙනි.

එය වාක්‍ය බිඳීමකින් තොරව විදහා දක්වා ඇති බැවින් පාඨකයා මෙහි ඇස්ලේ සමඟම ජීවිතය ගත කරන්නක් බදු හැගීමක් ජනිත කරවන කෘතියක් බව ‘ද ගාඩියන්’ වැඩිදුරටත් මේ කෘතිය සම්බන්ධයෙන් කියා තිබේ. ගැඹුරු ආගමික විස්වාසයක් සහිත කෘතියක් වන මෙය ගූගල් රීඩින්ග්ස් හරහා නොමිලේ කියවීමේ අවකාශය විවර වී තිබේ.

එමෙන්ම ෆොසේ ගේ ‘බෝට්හවුස්’ නිර්මාණය ඇතුළුව තවත් නිර්මාණ කීපයක්ම ගූගල් රීඩින්ග්ස් හරහා නොමිලේ කියවීමේ අවකාශය දැන් උදා වී තිබෙන බැවින් ඒ නෝර්වීජියානු ලේඛන වෑයම පරිශීලනය කිරීමේ අවකාශය දැන් අප ඉදිරියේ විවරව තිබේ. ඉතිං, තවඳුරටත් පමා නොවී ඒ නෝර්වීජියානු සාහිත්‍යය අස්වැන්න පරිශීලකය කර බලන්න. ආස්වාදනීය කියවීමකට දොරටුවක් වන එම කෘති සැබැවින්ම ආනන්දජනකය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan