පුවත අසන්න
පුවත නරඹන්න
ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා නන්දෙස වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව පෙබරවාරි 14වන දින කාඩ්පත්, චොකලට් සහ රෝසමල් එකිනෙකා සමඟ හුවමාරු කරගන්නේ වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය සමරමිනි. නමුත් වැලන්ටයින් දිනය ආරම්භ වන්නේ හදවත් හැඩැති ඇසුරුම් හෝ රාත්‍රී ඉටිපන්දම් භෝජන සංග්‍රහවලින් ඔබ්බට ගිය පීඩිත පන්තියේ දැවැන්ත සමාජ අරගලයකකින් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකි ය.
එෙතිහාසික වත්පිළිවෙත්වල සිට නූතන ප්‍රේමවෘතාන්ත දක්වා වැලන්ටයින් දිනය ඉතිහාසය පුරා පැමිණි ගමන ඇසුවොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුමාන ය.
වැලන්ටයින් දිනයේ ආරම්භය
වර්තමානයේ දී කොන්ඩම් සමාගම්වලට දැවැන්ත ලාභයක් උපයාදෙන, අධික ලෙස වාණිජකරණය වූ වැලන්ටයින් දිනයේ ආරම්භය හමුවන්නේ, පැරණි රෝමයේ වසන්තකාලය සනිටුහන් කරමින් පෙබරවාරි මැද කාලසීමාව තුළ සැමරූ ලුපර්කාලියා (Lupercalia) උත්සවයෙනි. මෙම උත්සවය සැමරීම සිදුවූයේ, මිනිසුන්ගේ සරුභාවය ආශ්‍රිත වතාවත් සිදුකිරීම, ලොතරැයි හරහා පිරිමින් සහ කාන්තාවන් එකිනෙකා හා මුණගැස්වීම වැනි දෑ ඉලක්කකරගෙන ය.

පස්වන සියවසේ අගභාගයවන විට, එවකට පාප් පදවියේ සිටි පළමු ගෙලාසියස් හිමිපාණෝ මෙම ලුපර්කාලියා උත්සවය පැවැත්වීම තහනම්කළ අතර, ඒ වෙනුවට දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයා ගේ පාලන සමය වූ ක්‍රිස්තු වර්ෂ 270 කාලසීමාව තුළ තම ආගමික විශාවස නිසා දිවි අහිමි වූ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රිස්තියානි පියතුමාට උපහාර දක්වන උත්සවයක් ප්‍රකාශයට පත්කළහ.
කෙසේවෙතත්, ඉතිහාස වාර්තාවල මෙම ශාන්ත වැලන්ටයින් පියතුමාට අමතරව වැලන්ටයින් නම පැවති තවත් පුද්ගලයන් පිළිබඳව කියවෙයි. ඉතා ජනප්‍රිය පුරාවෘත්තයක් වන්නේ, ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් සොල්දාදුවන්ට බිරින්දෑවරුන් සරණපාවා ගැනීම තහනම් කිරීමත් සමඟ පෙම්වතුන් හොර රහසේ විවාහයට පත්කළ වැලන්ටයින් නම් පියතුමා පිළිබඳ කතාවයි. ඝාතනයට ලක්කිරීමට පෙර බන්ධනාගාර නිලධාරියකුගේ අන්ධ දියණියකගේ පෙනීම සුවපත්කොට “ඔබගේ වැලන්ටයින්ගෙන්..” (from your Valentine) යැයි සඳහන්කළ සටහනක් පමණක් ඉතිරිකර අවසන් ගමන්ගිය වැලන්ටයින් නම් සිරකරුවකු පිළිබඳව තවත් කතාවක් පවතී.


ඒ අනුව, හුදෙක් ප්‍රේමවෘතාන්තවලට වඩා විශ්වාසය සහ තමා විශ්වාසකළ දේ වෙනුවෙන් ජීවිත පූජා කිරීමට සිදු වූ පුද්ගලයන් අනුස්මරණය කරන දිනයක් ලෙස වැලන්ටයින් දිනය ආරම්භ වී ඇත.
වැලන්ටයින් දිනය ප්‍රේමවෘතාන්තවලට පමණක් සීමාවුනේ කොහොමද?
සමාජ අරගලයක සිටි මිනිසුන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වෙන්ව තිබූ වැලන්ටයින් දිනය රෝමාන්තික ආදරය සැමරීමේ උත්සවයක් බවට පරිවර්තනයවීම සිදුවන්නේ මධ්‍යතන යුරෝපීය යුගයේ ය. දාහතරවන සියවසේ දී, ජොෆ්රි චවුසර් නම් ඉංග්‍රීසි කවියා ශාන්ත වැලන්ටයින් පියතුමා වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය, පෙබරවාරියේ පක්ෂීන්ගේ ප්‍රජනන සමය සමඟ සමපාතකොට පෙබරවාරි මැද කාලසීමාව යනු පෙම්වතුන් සඳහා වෙන්වූ කාලසීමාවක් බවට අර්ත නැංවූවේය.
වැලන්ටයින් දිනය එසේ ආදරවන්තයන් වෙනුවෙන් වෙන්වන විට, කාව්‍ය, වේදිකා නාට්‍ය වැනි දේ ඊට බැඳි ප්‍රේමණීය අරුත ශක්තිමත් කළේය. විලියම් ශේක්ස්පියර්ගේ නිර්මාණ මේ අතර ප්‍රමුඛ ය. දහඅටවන සියවසවන විට, එංගලන්තයේ අත්අකුරින් ලියූ සටහන්, මල්, සහ රසකැවිලි හුවමාරුකර ගැනීම වැලන්ටයින් සම්ප්‍රදායක් බවට පත්විය. අනංගයා, රතු රෝස සහ එකිනෙක බැඳි හදවත් උත්තරීතර ප්‍රේමයේ සංකේත බවට පත්විය.
ඒ අනුව, සමාජ අරගලයකින් ආගමික සැමරුමක් බවට පත්ව, එතැනින් ද ආදරවන්තයන් මෙන්ම පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් අතර ලෙන්ගතුකම ප්‍රකාශකරන දිනයක් බවට වැලන්ටයින් දිනය පත්විය.

වික්ටෝරියානු පුපුරා යෑම සහ ඉන් ඔබ්බට
වැලන්ටයින් දිනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ දහනමවන සියවසේ ය. මුද්‍රණයේ සහ තැපැල් ප්‍රතිසංස්කරණ වැඩිදියුණුවීමත් සමඟ පෙම් හසුන් ලාභ මිලට විකිණීම සිදුවූ අතර යැවීම පහසු විය. බ්‍රිතාන්‍යයේ වාර්ෂිකව විසිතුරු ලේස්වලින් නිමවන ලද වැලන්ටයින්පත් ලක්ෂ ගණනින් පළකරන ලදී. 1840 ගණන්වල, ජනප්‍රිය නිර්මාණකාරිනියකවන එස්තර් හව්ලන්ඩ් විසින් නිමවන ලද වැලන්ටයින් කාඩ්පත් අත්ලාන්තික් සාගරය හරහා රටවල් රැසක විකිණුනු අතර, ඒවා රිබන් සහ අලංකාර කඩදාසි වලින් සමන්විත විය.
මේ කාලසීමාව තුළ, චොකලට් ද වැලන්ටයින් හි සංකේතයක් බවට පත්විය. 1861 වර්ෂයේ දී, ජනප්‍රිය චොකලට් සමාගමක්වන කැඩ්බරි විසින් හදවත් හැඩැති චොකලට් ඇසුරුම් නිමවන ලද අතර, චොකලට් පරිභෝජනයකර ඇසුරුම ඉවත නොදමා ළඟ තබා ගැනීමට සිත්පහළවන අන්දමින් අලංකාර ලෙස මෙම ඇසුරුම් නිමවා තිබිණි.

විසිවන සියවස පුරාම, වැලන්ටයින් දිනය ඒ ඒ යුගයට ආවේණික තේමාවන්ට අනුවර්තනයවීම සිදුවිය: 1920 ගණන්වල ජෑස් නර්ථන සහ චිත්‍රපට නැරඹීම සඳහා යෙදෙන චාරිකාවල තේමාව ගත් අතර, 1950 ගණන්වල පෙම්වතුන්ගේ වාහන චාරිකාවල තේමාව ගත්තේය; 1970 ගණන්වල ඩිස්කෝ විලාසිතාව සහ ගිල්වූ රසබොජුන් හෙවත් ෆොන්ඩියු බොජුන් පිළිගැන්වූ රාත්‍රී භෝජන සංග්‍රහවල තේමාව ගත්තේය. විසිවන සියවසේ මැද භාගයවන විට ලොව පුරා වැලන්ටයින් කාඩ්පත් බිලියන ගණනින් හුවමාරුවීම සිදුවිය.
ඒ අනුව, සමාජ අරගලයකින් ආගමික සැමරුමක් බවට පත්ව, එතැනින් ද ආදරවන්තයන් මෙන්ම පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් අතර ලෙන්ගතුකම ප්‍රකාශකරන දිනයක් බවට පත් වූ වැලන්ටයින් දිනය, දැවැන්ත ලාභ උපයන වාණිජමය කාලරාමුවක් බවට පත්වීම සිදුවිය. පවුම් බිලියන ගණනින් මුදල් සංසරණය වීමට හේතුවන ස්වර්ණාභරණ, මල්, මුළුතැන්ගෙයි විසිතුරු භාණ්ඩ, කොන්ඩම්, ලිංගික උපකරණ සහ ඩිජිටල් ත්‍යාග වෙළඳාමට වැලන්ටයින් දිනය කදිම වේදකාවක් බවට පත්විය.

වැලන්ටයින් ගෝලීය සන්නාමයක් බවට පත්වීම
වැලන්ටයින් දින සැමරුම බටහිර ලෝකයට සීමාවූයේ නැත, එය ලොව පුරා විවිධ සංස්කෘතීන්වල විවිධාකාරයෙන් සැමරීම ආරම්භවිය.
ජපානය සහ දකුණු කොරියාවේ, පෙබරවාරි 14වන දින චොකලට් හුවමාරු කිරීම කාන්තාවන්ගේ සම්ප්‍රදායකි. “හොන්මෙයි-චොකෝ” (honmei-choco) හෙවත් සැබෑ හැඟීම අර්තවත් කරන චොකලට් ලබා දෙන්නේ රෝමාන්තික සහකරුවන්ට වන අතර, “ගිරි-චොකෝ” (giri-choco) හෙවත් බැඳීම අර්තවත් කරන චොකලට් ලබා දෙන්නේ හිතමිතුරන් සහ රැකියා ස්ථානයේ සගයන්ට ය. වැලන්ටයින් දිනයෙන් හරියටම මාසයකට පසු එළඹෙන ධවල දිනයේ දී (මාර්තු 14) එම රටවල පිරිමින් විසින් ඊට ප්‍රතිචාර දැක්වීම සිදුවෙයි. ඒ අනුව, රසකැවිලි, සුදු චොකලට් හා ස්වර්ණාභරණ වැනි දේ ත්‍යාග කිරීම පිරිමින්ගේ සම්ප්‍රදායයි. පිලිපීනයේ, පෙම් යුවළයන් සිය ගණනින් දැවැන්ත ජනකායක් ඒකරාශීවන විවාහ උත්සවවලට සහභාගීවන අතර, එමඟින් වැලන්ටයින් දිනය තමා ආදරය වෙනුවෙන් දක්වන කැපවීම පොදුවේ තහවුරු කිරීම සඳහා ඔවුහු යොාදාගනිති.
ඩෙන්මාර්කයේ, “ගෙක්කබ්‍රිව්” (gaekkebrev) හෙවත් ඉතා ආකර්ශණීය අන්දමින් කඩදාසි කැටයම්කළ නිර්නාමික හසුන් යැවීමේ සම්ප්‍රදායක් වැලන්ටයින් දිනය වෙනුවෙන් සිදුකරයි. මෙම හසුන්වල එළිසමය ගැළපූ ආදර කවි ඇතුළත්වන අතර, හසුන එවන්නාගේ අනන්‍යතාවය හෙළිවන්නේ එහි අඩංගු පණිවිඩය නිවැරදිව කියවා ගෙන අනුමාන කිරීමට හැකිවූවහොත් පමණි. බ්‍රසීලයේ, ස්පාඤ්ඤ වැලන්ටයින් දිනය වන “දියා දොස් නමොරදොස්” (Dia dos Namorados) ජූනි 12වන දින සැමරීම සිදුවන අතර, එමඟින් සැණකෙලි මඟහැර ප්‍රේමය සංගීතය සහ පවුලේ හමුවීම් සමඟ මුසු කිරීමට ඔවුහු උනන්දු වෙති. ෆින්ලන්තයේ සහ එස්ටෝනියාවේ, පෙබරවාරි 14වන දින මිතුරාගේ දිනය ලෙස සැලකෙන අතර, රෝමාන්තික බැඳීම් මෙන්ම ලිංගික සම්බන්ධවලින් තොර බැඳීම් සංකේතවත් කිරීම සඳහා එම දිනය යොදා ගැනීම සිදුවෙයි.

වැලන්ටයින් දිනය ආකල්පමය වශයෙන් පරිණාමයට ලක්වීම
නූතන වැලන්ටයින් දිනය හුදෙක් සාම්ප්‍රදායික කාන්තා-පිරිමි ප්‍රේම සබඳතාවලින් ද ඔබ්බට සමරිසි යුවළයන් සහ සමාජභාවීය වශයෙන් ස්වාධීන ප්‍රේම සබඳතා අතර සැමරීම සිදුවෙයි. මේ අනුව, වැලන්ටයින් දිනය ඇතුළත්භාවය අතින් ඉහළ මට්ටමක පවතින බව දැන් නිරීක්ෂණයකළ හැකි ය. නොවැළැක්විය හැකි වාණිජකරණය තුළ, විවිධ ලිංගික අනන්‍යතා සංකේතවත් කරන කාඩ්පත්, නිර්මාණ ඇතුළු වැලන්ටයින් නිශ්පාදන සඳහා ද ඉහළ නඟින ඉල්ලුමක් ඇතිවෙමින් පවතී. විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන් ඔවුනට ම ආවේණික වැලන්ටයින් දින සැමරුම් සංවිධානය කරන අතර, එමඟින් රෝමාන්තික සබඳතා සහ තෝරාගත් පවුල් සංකල්පය ඇතුළු සියලු ආකාරයේ ආදරයන්වලට ගෞරව කිරීම සිදුවෙයි.
මෙම දිනය තනිකම, ප්‍රතික්ෂේපවීම හෝ හුදෙකලාබවේ හැඟීම් වැඩිකරන දිනයක් විය හැකි බව ද සිහිපත්කළ යුතු ය. විශේෂයෙන් ම, තනිකඩ, හෝ ප්‍රේමය ශීර්ෂපාඨය බවට පත්වූ සංවාදයන්වල නිරත නොවන සබඳතා ඇති පුද්ගලයන්ට වැලන්ටයින් දිනය පීඩාකාරී විය හැකි ය. ඒ අනුව, වැලන්ටයින් දිනය ඇතමෙකුට ප්‍රීතියේ දිනයකි; තවත් පිරිසකට අපේක්ෂාවන් සිහිකර දීමේ දිනයකි.
කෙසේවෙතත්, වැලන්ටයින් දිනයේ පරිණාමය, එහි පවතින යටිපෙළ අරුත වෙනස් කරන්නේ නැත. සමාජ අරගලයන්, ආගමික විශ්වාසයන්, ආදරණීයයන් ගේ හමුවීම්, වාණිජකරණය, ලිංගික එක්වීම්, සාම්ප්‍රදායික නොවන ආදරයන් – මේ සෑම පුද්ගල අන්තර්ක්‍රියාවකම අභ්‍යන්තරයේ පවතින්නේ එක් ලක්ෂණයකි: එනම් එක්වීම සඳහා පවතින මනුෂ්‍ය අවශ්‍යතාවයයි!



