Home පුවත් දේශපාලන පුවත් වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති කර තිබෙන අතර වත්මන් පාර්ලිමේන්තුව හෙල්ලීමට කිසිම ජගතෙකුට නොහැකි බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ඇල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යට‍තේ වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සේරුවිල මාවිල්ආරු බැම්ම අසලදී පැවැත්විය.

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තවමත් රට තුළ සිටින අතර ඔවුන්ට පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

“ආපදාවෙන් ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි පරීක්ෂණ කළා. නිරීක්ෂණ කළා. ඉන් අනතුරුව නිගමනවලට පැමිණියා. අපේ නිගමනය තමයි මේ මාවිල්ආරු ඇල්ල ව්‍යාපාරය මුළුමනින්ම පරිවර්තනයකට ලක් කිරීම. අද පටන් ගන්න වැඩේට මිලියන 5000ක් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අපට වෙන් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ මුදල් නිසි පරිදි වේගයෙන් වියදම් කරලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. මේක ලේසි නැහැ. යල කන්නය සඳහා ගොවියන්ට වතුර දෙමින් මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. මේ සඳහා මහජන කමිටුවක් අවශ්‍යයි. මේ කටයුතු නිසියාකාරයෙන් වෙනවද බලන්න. අපි මේ කරන්නේ ජන සහභාගීත්ව සංවර්ධනයක්.

පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදි 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට ලබා දුන්නා. ලංකාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය ආවට පස්සේ පාර්ලිමේන්තුවට 159ක් එක පක්ෂයකින් කවදාවත් මහජන නියෝජිතයෝ ලබා දීලා නැහැ. මේ තමයි පළවෙනි වතාව. ඉන් රටේ දේශපාලන ස්ථාවර බවක් හදලා තියෙනවා. කිසිම ජගතෙකුට පාර්ලිමේන්තුව හොල්ලන්න බැහැ. වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් ඉන්නවා මේ රටේ. එයාලට පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් ඉඩක් නැහැ. පැරදුණු බලවේගවල පිටුපස සිටි කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ කරමින් ජාතිවාදී හැඩයෙන් බොරු ප්‍රචාර කරමින් දේශපාලන අස්ථාවරභාවයක් රටේ හදන්න හදනවා. ඒත් ජනතාව දැන් ඒවාට අහුවෙන්නේ නැහැ.

මෙතන හොඳ ජාතික සමගියක් ගොඩනඟන්න පුළුවන් තැනක්. මෙතන සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව සමසමව ජීවත්වන තැනක්. අපි අද පටන්ගන්නේ වාරි ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. ජාතික සමගියේ වැඩසටහනක්. නැවත මේ රටේ ජාතිවාදයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ජනතාව ජාතිය මත ආගම මත කොටවන කොට එයාලට ජාති භේද නැහැ. එයාලා මහජනයාව හූරගෙන කාලා ජීවත් වෙනවා. ඒක නවත්වන්න ඕනේ.

මේ අතර මෙරට නතර කර තිබුණු වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද වත්මන් ආණ්ඩුව නැවත ආරම්භ කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

”ලංකාවේ වී මිලදී ගැනීම නතර කරලා තිබුණා. දැන් අපි ඒක පටන් ගත්තා. ගොවියාට සාධාරණ මිලක් දුන්නේ නැහැ. ගොවියෝ මේ රටේ වහ බිව්වා. එහෙම ඉතිහාසයක ගොවිජනතාව දුක් වින්දා. ඒ නිසා ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වී සඳහා නිසි මිලක් දීලා තියෙනවා. අපේ කෘෂිකර්මාන්තය බිඳ වැටුණු නිසා නේද අපේ දුප්පත් දෙමව්පියන්ගේ දියණියෝ ගාමන්ට් යන්න පටන් ගත්තේ අම්මලා විදේශ රැකියාවලට යන්න ගත්තේ. මේක නඟා සිටුවන්න නම් ගොවිජන ආර්ථිකයට නවෝදයක් හදන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. තමන් නිෂ්පාදනය කරන දෙයට හොඳ මිලක් ලැබෙන්න ඕනේ.

මේ තත්ත්වය ප්‍රතිගාමී බලවේගවලට කඩාකප්පල් කරන්න දෙන්න එපා. අපි සහලින් ස්වයංපෝෂිතයි. හැබැයි හාල් මිල අඩු කරගන්න තව නිෂ්පාදනය වැඩි කරගත යුතුයි. කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩසටහනකට යමින් ඉන්නවා. දැන් එක ටින් මාළු ටින් එකක් පිටරටින් ගේන්නේ නැහැ. එළවළු ගේන්නේ නැහැ පිටින්. මුං ඇට ගේන්නේ නැහැ පිටින්. අපි කහ ගේන්නේ නැහැ. අපට තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා බඩඉරිඟු. බඩඉරිඟු 50%ක් ගේන්නේ පිටින්. ඒකටත් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

අපේ අරමුණ අල්ල ව්‍යාපාරය නව පරිවර්තනයකට ලක්කිරීම. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා එක මිටට – ගොවි බිමට වැඩසටහන. ඒ හරහා වගා කළ හැකි වගා නොකරපු ඉඩම් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. කුඹුරු වැඩි කරන්න අවශ්‍ය නැහැ. කුඹුරුවල අස්වැන්න වැඩි කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ යාය 500 වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

දැන් අපි බලනවා නාඩු 120ට ගන්න කියද්දි ඊට අඩුවෙන් ගන්න බැරි වෙන්න නීතියක් ගේන්න. එතකොට 120ට අඩුවෙන් ගන්න බැහැ. 120ට වැඩියෙන් ගන්න පුළුවන්. ගොවිජන ජීවිතය හදලා රටේ ආර්ථිකය හැදුවොත් අපේ රටේ ප්‍රශ්නවලින් 80%ක්ම ඉවර වෙනවා. ඒ සඳහා ඔබ අපිට මේ යුතුකම් ටික ඉෂ්ට කරලා දෙන්න. දේශපාලන ස්ථාවරත්වය නැති කරන්න ඉඩදෙන්න එපා. ජාතිවාදයට ඉඩදෙන්න එපා. ලබන 17 වෙනිදාට ගේනවා පනතක්. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත.” යනුවෙන් ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඇල්ල ව්‍යාපාරය ගොවි සංවිධාන 41කින් සමන්විත සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජන වර්ගවල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන ගොවි ව්‍යාපාරයකි. මෙය අක්කර 25,000ක පමණ වගා වපසරියක් තුළ විසිර පවතින අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අල්ල ව්‍යාපාරයට විශාල හානියක් සිදු විය. පසුගිය සමයේදී මෙම ව්‍යාපාරය කෙරෙහි නිසි අවධානයක් යොමුව නොතිබුණු අතර ඇල්ල – මාවිල්ආරු ව්‍යාපාරය නැවත ගොඩනැඟීම සඳහා ඇස්තමේන්තුගත කාලය මාස 18කි.