*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පස්වන කොටස)

විනිමය අනුපාතය නිදහසේ තීරණය වෙනවානම් ආනයන වෙනුවෙන් කොයි තරම් විදේශ විනිමය වැය කළත් රටකට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනයන ඉල්ලුමට සරිලන ඩොලර් සැපයුමක් නැත්නම් ඩොලරයේ මිල ඉහළ යනවා. එවිට, ආනයන ස්වභාවිකවම සීමා වෙනවා. 2001දී විනිමය අනුපාතය පාවෙන්න ඉඩ දීමෙන් පසුව, 2001-2003 කාලයේදීත්, ඉන් පසුව 2015-2019 කාලයේදීත් භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් ලංකාව වැය කළ හැම ඩොලරයක්ම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙස හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර්.

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ බැරකම් ඉතා විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ ණයට ගත් ඩොලර් වලින් විණිමය අනුපාතය පාලනය කිරීමයි. මෙහිදී විණිමය අනුපාතය පාලනය කිරීම තුළ ණයට ගත් ඩොලර් වලට අමතරව තවත් ඩොලර් රටට ආවා. ඒ ඩොලර් නිසා විණිමය අනුපාතය තව දුරටත් පහළ ගියා. තව තවත් ඩොලර් ණය ලෙස රටට ආවා. ණය ඉහළ ගියා.

එහෙමනම් 2015-2019 අතර කාලයේදීත් ඩොලර් ප්‍රශ්න මතු වුනේ කොහොමද?

භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය රටට ආවත්, 2015 වන විට එකතු වී තිබුණු විදේශ ණය වල වාරික ගෙවීමට හා පොලී ගෙවීමට තවත් ඩොලර් අවශ්‍ය වුනා. විණිමය අනුපාතය තවත් ඉහළ යාමට ඉඩ දුන්නානම් පරණ ණය වල පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් වුවත් මිල දී ගන්න තිබුණා. එහෙත්, යහපාලන ආණ්ඩුව එසේ කළේ නැහැ. මම හිතන්නේ පැවති දේශපාලන වාතාවරණය එයට හේතු වෙන්න ඇති. එයට අමතරව එසේ කිරීමේදී මතුවන සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් ඇතුළු වෙනත් අතුරු ප්‍රශ්නද තිබෙනවා.

කෝවිඩ් වසංගතය හා ආණ්ඩුවේ අසාර්ථක කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා ආර්ථිකයට සිදු වූ හානිය හමුවේ වුවත් 2020 වසරේදීද මේ තත්ත්වය එළෙසම තිබුණා. එම වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,047කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 3,035කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 7,104කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 20,186ක්. භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් රටින් පිටට ගියේ ඩොලර් මිලියන 18,271ක් පමණයි. වාහන ආනයනය පාලනය කිරීම නිසා ඩොලර් මිලියන 500කින් හෝ 600කින් පමණ ආනයන වියදම් අඩු වූ සේ සැලකුවත්, ආනයන පාලනයක් නැති තත්ත්වයක් යටතේ ආනයන වියදම් සඳහා අවශ්‍ය විය හැකිව තිබුණු මුළු ඩොලර් ප්‍රමාණයම රටට ඇවිත්.

කෝවිඩ් නිසා රටේ ඩොලර් හිඟයක් ඇති නොවූ බව ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට ඉතාම පැහැදිලියි. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ආපසු ගෙවන්නයි. ඒ ණය 2004-2014 කාලයේ හෝ ඊටත් පෙර කාලයක ගත් ණය. කෙසේ වුවත්, 2021 වසරේදී විණිමය අනුපාතය පාලනය කිරීමට පටන් ගැනීම නිසා, දැඩි ආනයන පාලනය හමුවේ වුවත්, 2004-2014 කාලයේදී මෙන්ම, භාණ්ඩ හා සේවා ආනයන වියදම, භාණ්ඩ හා සේවා අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඉපැයූ මුදල ඉක්මවා තිබෙනවා.

පසුගිය 2021 වසර තුළ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 20,637ක් වැය වී තිබෙනවා. සේවා ආනයන වෙනුවෙන් වැය වූ මුදලද මෙයට එකතු කළ විට එකතුව ඩොලර් මිලියන 24,000 ඉක්මවනවා විය හැකියි. මහ බැංකු අධිපති කබ්රාල් විසින් විමසන්නේ රටේ ඩොලර් නැත්නම් මෙපමණ මුදලක් වියදම් කළේ කොහොමද කියලයි. මේ කතාව බොරුවක්ම නෙමෙයි.

ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් විසින් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණය අනාගත ආනයන වියදම් සමඟ සසඳමින් ආනයන සඳහා ඩොලර් නැති වන දවස ගණන් හදනවා. එහෙත්, සෑම මසකම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙසත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙසත් රටට ඩොලර් එනවා. ඒ නිසා, සංචිත පහළට වැටී තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. කබ්රාල් කියන්නේ මේ කතාවයි.

සෑම මසකම රටට කොහොමටත් ඩොලර් යම් ප්‍රමාණයක් පැමිණෙන නිසා වියදමට ඩොලර් මදිනම් ආනයන පාලනය හරහා රටට එන ඩොලර් රටින් යන එක සීමා කළ විට ප්‍රශ්නය විසඳෙන බව කබ්රාල්ගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන අදහසයි. ඇතැම් වාමාංශික ආර්ථික විද්‍යාඥයින් මේ අදහසෙහි සෘජු ප්‍රකාශකයින් වී සිටිනවා. උදාහරණයක් ලෙස රටට එන්නේ ඩොලර් මිලියන 20,000ක් පමණක්නම්, ආනයන සීමා කර රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයද ඒ මට්ටමටම සීමා කර ගත් විට සංචිත නැතිකම තව දුරටත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මේ විසඳුම තුළ නොදකින දෙය හෝ නොකියන දෙය වන්නේ විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී රට තුළ මුදල් සැපයුම වැඩි කරද්දී රටට එන ඩොලර් ක්‍රමයෙන් අඩු විය හැකි බවයි. ඒ වගේම, ආනයන පාලනය කළද ආනයන ඉල්ලුම ඉහළ යාම නිසා අවසාන වශයෙන් ඩොලර් රටින් යාම වැළැක්වීම අසීරු බවයි. 2021 සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණ තහවුරු කරනවා.

පසුගිය වසරේ රටට ආ සහ රටින් ගිය ඩොලර් ප්‍රමාණ පිළිබඳ සම්පූර්ණ දත්ත තිබෙන්නේ සැප්තැම්බර් අවසානය දක්වා පමණයි. එම නව මස තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,934ක්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 1,833ක් හා ශ්‍රමික ප්‍රේෂණ හරහා තවත් ඩොලර් මිලියන 4,577ක් ලෙස ඩොලර් මිලියන 15,345ක් රටට ලැබී තිබෙනවා. ඒ අතර, දැඩි ආනයන පාලන හමුවේ වුවද, භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් 15,885ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අයුරින්, රටවැසියන් විසින් නූපයූ ඩොලර් වියදම් කිරීම 2015 වසරේ සිට 2020 වසර දක්වාම සිදු නොවූ දෙයක්.

මුළු වසරම සැලකූ විට, භාණ්ඩ අපනයනයෙන් ඩොලර් 12,502ක් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් ලෙස, සේවා අපනයන ආදායම් හැර, ඩොලර් මිලියන 17,993ක් රටට පැමිණ ඇති අතර භාණ්ඩ අපනයනය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 20,637ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අනුව, ඩොලර් මිලියන 2,644ක හිඟයක් තිබෙනවා. පළමු මාස නවය තුළ සේවා ගිණුමෙහි ඩොලර් මිලියන 886ක අතිරික්තයක් තිබීම සැලකූ විට වසර අවසාන වන විට මේ හිඟය පියවිය හැකි තරමේ අතිරික්තයක් සේවා ගිණුමෙන් ලැබෙන්න ඉඩක් නැහැ. සමානුපාතිකව සලකා එහි ඩොලර් මිලියන 1,181ක අතිරික්තයක් තිබුණේයැයි සැලකුවොත් තවත් ඩොලර් මිලියන 1,463ක හිඟයක් තිබෙනවා. වසර අවසානයේ සංචාරක කර්මාන්තයේ යම් පිබිදීමක් ඇති වූ නිසා මෙය මීට වඩා තරමක් අඩු විය හැකියි.

අධිපති කබ්රාල් කියන විදිහටම ආනයන වියදම් හා ණය ගෙවීම සඳහා යොදා ගත හැක්කේ දැනට රටේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. කවුරු හෝ එහෙම කියනවානම් එය විහිළු කතාවක් තමයි. සෑම මසකම රටට එන ඩොලර් ආනයන වෙනුවෙන් වගේම පරණ ණය ගෙවන්නත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 2015-2020 අතර කාලයේදී ලංකාවේ රටවැසියන් විසින් “පරිභෝජනය කළ” ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් රටට ගෙනාවා. ඒ නිසා, පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න හෝ සංචිත වැය කරන්න කිසිසේත්ම අවශ්‍ය වුනේ නැහැ. එසේ තිබියදීත් රටේ ඩොලර් හිඟයක් ඇති වුනේ 2015ට පෙර ලබාගත් ණය වල පොලී හා වාරික ගෙවන්න 2015-2020 කාලයේ රටවැසියන් විසින් ඉපැයූ ඩොලර් වලින් පරිභෝජන වියදම් වලින් පසු ඉතිරි වූ කොටස ප්‍රමාණවත් නොවූ නිසයි.

දැන්, 2021දී, නැවතත් පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න තැනට රට වැටී තිබෙනවා. එයට හේතුව අලුත් විදේශ විණිමය ප්‍රතිපත්තියයි. රටවැසියන් විසින් උපයන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආනයන වෙනුවෙන් රටෙන් එළියට යනවා කියන්නේ විදේශ ණය නොගන්නේනම් සංචිත වැය කරන්න වෙනවා කියන එකයි. සංචිත පහළ බැසීම ප්‍රශ්නයක් වන්නේ මේ සන්දර්භය තුළයි. දැඩි ආනයන පාලන රෙගුලාසි හමුවේ වුවද ආනයන වියදම් ඉහළ ගොස් තිබීමෙන් පෙනෙන්නේ මිල (විණිමය අනුපාතය) ඉහළ දමා ආනයන ඉල්ලුම අඩු නොකර පැලැස්තර අලවන්න යාම සාර්ථක වී නැති බවයි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුව තිබෙන්නේ එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියට වූ දෙයයි. ගත් ණය හා වාරික ගෙවන්නට විදේශ විණිමය නැතිව රට අර්බුදයට ගොස් තිබියදී දැන් සිදුව ඇත්තේ එදිනෙදා පරිභෝජන වියදම් වෙනුවෙන්ද විදේශ විණිමය සොයන්නට සිදු වන තත්ත්වයක් ඇති වී තිබීමයි.

බොහෝ විට මේ වසරේ මැද භාගය වෙද්දී කෝවිඩ් වසංගතය අවසන් වෙයි. එයින් අදහස් වන්නේ කෝවිඩ් ලෝකයෙන් තුරන් වන බව නෙමෙයි. බටහිර රටවල කටයුතු බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. ඒ එක්කම ලංකාවට නැවතත් සංචාරකයින් පැමිණීම ඉහළ ගොස් සේවා ගිණුමේ අතිරික්තය ඉහළ යයි. එහෙත්, එසේ වූ පමණින්, පවතින විණිමය අනුපාතය පවත්වා ගනිමින් ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ යාමේ හැකියාවක් නැහැ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan