සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 15,(LNW)කොළඹ :
ඔස්ට්‍රේලියාව ඉදරියේ ගාල්ල ක්‍රීඩාංගණයේදී ලැබූ දැවන්ත ටෙස්ට් පරාජයන් දෙකකට පසුව එක්දින තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී චරිත් අසලංක පවසන්නේ තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගැනීම සිය අපේක්ෂාව බවයි.දැවන්ත පරාජයන් දෙකකට පසුව එම තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයන්ද සිටින කණ්ඩායමක් සමඟ,තරගාවලියක තරග දෙකක් 2-0 ක් ලෙස ජයගත හැකි බව සිතීම තරමක විශ්මය දනවන කරුණක්ය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0002.jpg)
එහෙත් චරිත් අසලංක ඒ වචන යථාර්තයක් කිරිමට සිය උපරිමය දෙමින් කැපවිය.පළමු තරගය පරාජයේ කළු වළාවන්ගෙන් වැසී යද්දී ඔහු එය තල්ලුකර ජයග්‍රහණයේ රිදී රේඛාවන් දැකිය හැකි ලෙස කළු වළාවන් තල්ලු කර දැමීම වෙනුවෙන් ප්‍රශස්ත සේවයක් ඉටු කළේය.විශ්මය දනවන ප්‍රකාශය සැබෑවක් කරමින් 2-0 ක ජයකට යමින්,ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දන තරගයක ලැබූ දැවන්තම ජයග්‍රහණය වාර්තා කරමින් ද,එම ජයග්‍රහණවලට නායකත්වයෙන් සහ පෞද්ගලික හැකියාවන්ගෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් චරිත් අසලංක තරගාවලියේ වීරයා වන්නට සමත්වීම ද වෙනම ඇගයිය යුතු හැකියාවකි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0003.jpg)
පළමු තරගයේ දී මෙන්ම දෙවන තරගයේදී ද කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කළේය.දෙවන වරටත් එහිදී පැතුම් නිශ්ශංක අසමත් වුණත්,පළමු තරගයේදී ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට කැඳ වූ නිශාන් මධුශ්ක අපූරු ඉණිමක් දියත් කළ අතර එක්දින පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු ලෙස ජාත්‍යන්තර අවධානය දිනා සිටින කුසල් මෙණ්ඩිස් සමඟ මධුශ්ක දෙවන කඩුල්ලට 98 ක සබඳතාවයක් එක් කළ අතර ඔහු දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 51 න් ශ්‍රී ලංකා ඉණිමට දායකත්වය දක්වා තිබිණ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0004-1024x682.jpg)
ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන ක්‍රිකට් ප්‍රවර්ග තුනටම යොදා ගැනීමෙන් ද,කමිඳු මෙණ්ඩිස්ගේ පෙර රිද්මය අවසාන තරග කිහිපය තුළම දකින්නට නොලැබෙන අතර ඔහු මේ තරගයේදී ද ලකුණු 4 ට දැවී ගිය අතර පැතුම් සහ කමිඳු දෙදෙනාගේම දැවීයාම්වල ස්වභාවය තුළ ඔවුන්ගේ ක්‍රීඩා රටාවේ අර්බුදයක්ද දකින්නට තිබීම නරක තත්ත්වයක්ය.කෙසේ හෝ අගනා ශතකයකින් සිය දායකත්වය දෙමින් දෙවන තරගයේ සුවිශාල ජයග්‍රහණයේ වීරයා බවට නිල වශයෙන්ම ඇගයුණු කුසල් මෙණ්ඩිස් සහ චරිත් අසලංක සිව්වන කඩුල්ලට ලකුණු 94 ක් එක් කරන්නට සමත් විය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0005.jpg)
කුසල් 45 වන ඕවරයේ පළමු පන්දුවට දැවී යන විට ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 215 ක් විය.ඉනික්බිති චරිත් අසලංක ප්‍රහාරාත්මක සංග්‍රහයක් ඔස්ට්‍රේලියානුවන්ට ලබා දුන් අතර 50 වන ඕවරයෙන් තරගය නිමාවන විට ලකුණු 281 ක් වූ ශ්‍රී ලංකා ඉණිමෙන් නොදැවී ලකුණු 78 ක් පන්දු 66 ක් තුළ අසලංක සතු වී තිබිණ.ජනිත් ලියනගේ පන්දු 21 න් ලකුණු 32 ක් නොදැවී ලබාගෙන උන්නේය.
පිළිතුරු ඉණිමේදී ජයග්‍රහණයට ඔස්ට්‍රේලියාව ලකුණු 282 ක් ලබා ගත යුතුය.
“මැක්ස්වල් ඉන්නවා,ට්‍රෙවිස් හෙඩ් ඉන්නවා පරිස්සම් වෙන්න වෙනවා.“
ජයග්‍රහණය ගැන විශ්වාසය තිබුණත්,හුංඩුවක පමණ බඳුනකට පිරුණු බියර්වල සීතල සමඟ ප්‍රේමදාස පිටියේ තැන තැන රොද ගැසී නැඟෙන උණුසුම් කසු කුසුය.ඒවා ජයග්‍රහණයේ අපේක්ෂාවෙන් සහ එය නොසෙල්වන මතුපිටක් සහිත හැඟීමක තැන්පත් කර තබන්නට නොහැකිවීමේ මැක්ස්වල්මය සහ හෙඩ්මය හැඟීම්වලින් ආස්වාදය අවිනිශ්චිත කරමින් ඇත.එහෙත් ලකුණු 33 ක් වන විට එම අපේක්ෂිත ආස්වාදයට බාධා කළ එක හැඟීමක් ඉදිරී වැටෙන්නේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස පිටියට පැමිණ සිටි අවිශ්ක ප්‍රනාන්දු රැකගන්නා අපූරු උඩ පන්දුවකින්ය.පන්දු යවන්නා වූ අසිත ප්‍රනාන්දු ඒ ලබා ගන්නේ තමන්ගේ තෙවන කඩුල්ලය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0006-1024x689.jpg)
අසිත මුල කඩුලු 3 ම ලකුණු 33 වෙද්දී ඔස්ට්‍රේලියාවට අහිමි කර තිබුණු අතර ඒ කසකරු පිටුපසින් වැටුණු වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ ඔස්ට්‍රේලියානුවන් තණතිල්ලේ සිට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන පෙරහැරේ සංවිධානය සම්පූර්ණයෙන් භාරගෙන තිබිණ.ජයග්‍රහණය ගැන බිය හැගීමක් ඇති කළත්,ප්‍රදර්ශණාත්මක ඉණිමක් සම්බන්ධයෙන් මැක්ස්වල් ගැන ඇති කරගත් සොඳුර ක්‍රිකට්මය ආසාවක් තිබුණ අයට එය විඳින්නට ඉඩක් දෙන්නට වෙල්ලාලගේ අකමැති විය.ග්ලේන් මැක්ස්වල් එක ලකුණක් ලබා සිටියදී ඔහු මුහුණ දුන් තෙවන පන්දුව කඩුල්ලේ දැවටීම නිසා වෙල්ලාලගේ ඉදිරියේ අසාර්ථක වන්නට සිඳු විය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0007-1024x682.jpg)
ස්ටිව් ස්මිත් නායකයා ලෙස ඔස්ට්‍රේලියා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 29 ක් ලැබූ අතර ඔහු වනිදු හසරංගට ගොදුරු වුණේ කඩුල්ල මුවා කිරීමේ වරදටය.ඔස්ටේලියා ඉණිමේ කඩුල්ලක් අතර වූ හොඳම සබදතාවය වාර්තා වුණේ හතරවන කඩුල්ලටය.ඒ ස්මිත් සහ ජොස් ඉන්ග්ලිස් (22) අතරය.සබඳතාවය ලකුණු 46 කි.මේ පන්දු යැවීමේ පීඩනය හමුවේ ඔස්ට්‍රේලියාව ලකුණු 100 ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දී උන්නේය.කෙසේ හෝ අවසානයේ ඔවුන්ට ලකුණු 107 ක් දක්වා යන්නට හැකි විය.පන්දු යැවීමේදී ආරම්භක කඩුුලු 3 දවාගත් අසිත ප්‍රනාන්දු ලකුණු 23 ක් ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට පරිත්‍යාග කර තිබිණ.වැඩිම කඩුලුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගත්තේය.වනිඳු හසරංග නමින් කඩුලු 3 ක් සටහන් වුණේ ලකුණු 23 ට ය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250215-WA0008.jpg)
පහතින් තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසෙන්නට හැකිය.
→ https://es.pn/3QkFgCC
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-2-1-1-1-1.webp)