රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය තුළ ස්වභාවික විපතකින් සිදුවූ දරුණුතම සහ පෙර නොවූ විරූ විනාශය ලෙස 'දිට්වා' සුළි කුණාටුව සනිටුහන් වී හමාරය.
අද වන විට රජය මෙම ව්‍යසනයෙන් බැටකෑ ජනතාව යළි පදිංචි කිරීම සහ වන්දි ගෙවීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටියි. නිල සංඛ්‍යාලේඛන දෙස බැලූ බැල්මට පෙනෙන්නේ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. නමුත්, එම දීප්තිමත් ඉලක්කම්වලින් වැසී පවතින, ව්‍යසනයට හසු වූ මිනිසුන්ගේ සැබෑ ජීවිත තුළ පවතින කටුක යථාර්ථය ගවේෂණාත්මක ඇසකින් හෙළිදරව් කළ යුතුව තිබේ. සහන සැලසීමේ "සාර්ථකත්වය" පිටුපස සැඟවුණු කතාවක්ද ඇත.
රජයේ වාර්තා පෙන්වා දෙන පරිදි මූලික සහන ගෙවීමේදී රජය ඉතා වේගවත් ප්‍රගතියක් පෙන්වා ඇත. විශේෂයෙන්ම නිවාස යථාවත් කිරීමේ මූලික පියවර ලෙස ලබා දෙන රුපියල් 25,000 සහ 50,000 දීමනා බෙදා දීම අවසන් අදියරට පැමිණ තිබේ.

- රුපියල් 25,000 දීමනාව: සුදුසුකම් ලැබූ 439,979ක් අතරින් 431,868කට ගෙවා අවසන් (ප්‍රගතිය 98.1%).
රුපියල් 50,000 දීමනාව: ප්‍රතිලාභීන් 167,567ක් අතරින් 128,503කට ගෙවීම් කර ඇත (ප්‍රගතිය 76.96%).
නමුත් මෙම “සාර්ථකත්වය” තුළ සැඟවුණු විශාලතම පරතරය වන්නේ ජීවනෝපාය අහිමි වීමේ දීමනාවයි. මෙම දීමනාව ගෙවීමේ ප්‍රගතිය පවතින්නේ 14.95%ක ඉතාම මන්දගාමී මට්ටමකය. සුදුසුකම් ලැබූ 1,384 දෙනෙකුගෙන් වන්දි ලැබී ඇත්තේ 207 දෙනෙකුට පමණි. මෙයින් පැහැදිලි වන්නේ රජය මිනිසුන්ට මූලික “පැලැස්තර” විසඳුම් ලබා දීමට වේගවත් වුවද, ඔවුන්ව නැවත ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය ආර්ථිකමය පදනම සැකසීමට දක්වන උනන්දුව අඩාල වී ඇති බවයි.
මරණ සහ නවාතැන් යුක්තිය අතපසු වීම: ජීවිතයකට ලැබිය යුතු වන්දි තවමත් ප්‍රමාදයි
දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වූ මිනිස් ජීවිත වෙනුවෙන් ඉටුකළ යුතු සාධාරණත්වය තවමත් සංඛ්‍යාලේඛන අතර හිරවී තිබේ. වාර්තා වී ඇති මරණ 676ක් සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය තවමත් පවතින්නේ 46.25%ක් වැනි මධ්‍යස්ථ අගයකය. මියගිය පුද්ගලයින් 676 දෙනා වෙනුවෙන් සම්පූර්ණ වන්දි ගෙවා ඇත්තේ 296 දෙනෙකුට පමණි.
වඩාත් බැරෑරුම් තත්ත්වය වන්නේ නිවාස අහිමිව කුලී නිවාසවල දිවි ගෙවන පවුල් මුහුණ දෙන අර්බුදයයි. පවුල් 8,998ක් කුලී නිවාස දීමනා සඳහා සුදුසුකම් ලැබුවද, ඉන් දීමනාව ලැබී ඇත්තේ පවුල් 1,515කට (17.02%) පමණි. මෙය පරිපාලනමය ප්‍රමාදයක් නොව, දහස් ගණනකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි.

“දෙනවා දෙනවා කිව්වාට තව ම නම් ලැබුණේ නැහැ. මට ළමයි දෙදෙනා වෙනුවෙන් දානයක් දීගන්නවත් වත්කමක් නැතිව ඉන්නේ. දැනට කුලී නිවාසයක සිටිනවා, එම කුලිය ගෙවා ගැනීමට නොහැකිව මමත් බිරිඳත් අන්ත අසරණ වෙලා.” — කේ.එම්. ආරියදාස මහතා, ඌව පරණගම (නායයාමකින් දරුවන් දෙදෙනෙකු සහ නිවස අහිමි වූ පියෙක්)
ඩොලර් බිලියන 4.1 ක බර සහ රුපියල් බිලියන 500ක අයවැය: දැවැන්ත මූල්‍ය පරතරයක්
ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 කි. වත්මන් විනිමය අනුපාත අනුව මෙය දළ වශයෙන් රුපියල් බිලියන 1,230 (ට්‍රිලියන 1.23) කට අධික මුදලකි. එහෙත් රජය මේ සඳහා වෙන් කර ඇති අමතර අයවැය රුපියල් බිලියන 500කි.
මෙයින් පෙනී යන්නේ රජය සතු සම්පත් මගින් සමස්ත හානියෙන් හරි අඩක්වත් ආවරණය කිරීමට නොහැකි වී ඇති බවයි. ‘රීබිල්ඩිං ශ්‍රී ලංකා’ අරමුදලට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් බිලියන 10ක් වැනි සුළු මුදලකි. මෙම දැවැන්ත මූල්‍ය පරතරය හමුවේ, විනාශ වූ යටිතල පහසුකම් සහ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට අතිවිශාල සම්පත් හිඟයක් පවතින බව රහසක් නොවේ.
තවමත් අවතැන්ව සිටින 4,175ක්: 'සුරක්ෂිත මධ්‍යස්ථාන' සිරකඳවුරු බවට පත්වෙලා ද?
මාස කිහිපයක් ගතවී තිබියදීත්, පවුල් 1,373කට අයත් පුද්ගලයින් 4,175 දෙනෙකු තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 50ක රඳවා සිටීම බරපතල සමාජ ගැටලුවකි. විශේෂයෙන්ම බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව මෙම “අනියත රැඳවුම්” තත්ත්වයේ පසුවෙති.
රක්ෂණ සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය 80%ක් පමණ අවසන් වී ඇති බව නිලධාරීන් පැවසුවද, එම ප්‍රගතිය මෙම 4,175 දෙනාගේ ජීවිතවලට දැනී නොමැත. “සුරක්ෂිත මධ්‍යස්ථානයක” මාස ගණනක් රැඳී සිටීම තාවකාලික සහනයක් නොව, එය ඔවුන්ගේ අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය (Limbo) තවදුරටත් තීව්‍ර කරන්නකි.

තාක්ෂණික තක්සේරුකරණයේ හිරවීම: මිනිස් ජීවිත නිලධාරිවාදයට බිලිදීමක් ද?
වන්දි ලබා දීමේ ක්‍රියාවලිය අඩපණ කරන ප්‍රධානතම තාක්ෂණික බාධකය (Bottleneck) වී ඇත්තේ නිවාස පරීක්ෂාවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) වෙත ලැබී ඇති ඉල්ලීම් 32,000න් 18,641ක් තවමත් පරීක්ෂා කර නොමැත. මෙයින් අදහස් වන්නේ විපතට පත් වූවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසකගේ අනාගතය තාක්ෂණික වාර්තාවක් ලැබෙන තෙක් නතර වී ඇති බවයි.
නායයාම් අවදානම් කලාපවල නිවාස 9,600කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබියදී, මෙවැනි තාක්ෂණික ප්‍රමාදයන් මිනිස් ජීවිත අවදානමකට ලක් කිරීමක් ලෙස හැඳින්විය හැකිය. මෙම නිලධාරිවාදී බාධාව නිසා දහස් ගණනක් මිනිසුන් අද වන විට බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත්ව සිටිති.
"ගෙදර හදාගන්න ආධාර මුදල් කිසිවක් ලැබිලා නැහැ. මහත්තයයි මමයි කුලී නිවසක ඉන්නේ. දැන් ජීවත් වෙන්නත් අමාරුයි." — ඩී.ජී. සිරිමතී මහත්මිය, උඩපුස්සැල්ලාව.
දිට්වා සුළි කුණාටු සහන සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවලින් පෙනෙන 98% ක “සාර්ථකත්වය” යනු දත්තවලින් නිර්මාණය කරන ලද මායාවක් පමණි. සැබෑ ජීවනෝපාය සහන, මරණ වන්දි සහ නිවාස කුලී ගෙවීම්වල පවතින අතිමහත් ප්‍රමාදය තුළින් පෙනී යන්නේ පොළොවේ පවතින සැබෑ තත්ත්වය අතිශය ඛේදනීය බවයි.


