සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 21,(LNW)කොළඹ :
ලංකාවෙ රගර් කොච්චර අවදානම් ද කියලා දැණුනෙ තාජුඩීන්ගේ මියයාම එක්ක.ඔහු ලංකාවෙ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ නියෝජනය කරපු ක්‍රීඩකයෙක්.අති දක්ෂයෙක්.කවුරුත් ඔහු වෙනුවෙන් කලු පටි බැඳගෙන තරග කළේ නැහැ.තරග පටන්ගන්න ඉස්සෙල්ලා විනාඩි දෙකක් නිශ්ශබ්ද වුණේ නැහැ.තමන්ගෙ එකාට අත් වෙච්චි ඉරණම ගැන බෝඩ් කෑල්ලක් උස්සන් පාරෙ හිටගත්තෙ නැහැ.සමහර අය තම තමන් කතා වෙන්න ඇත්තේ කළු ගල්වල ඔළුව ගහගන්න හොඳ නැහැ වගෙ කතා.සමහරු ඒ කළුගල්වලට හේත්තු වෙලා සැපට ඉන්නත් කල්පනා කරන්න ඇති.
ඒ රගර් ඒ වන විට තාජුඩීන් ඝාතනයේ සැකයට භාජනය වූ පිරිසගේ දේශපාලනයේ ශබ්දයෙන් පිරී තිබුණු,අනෙකාව නිහඬ කිරීමේ හැකියාවෙන් ඇලී තිබුණු නිසයි.
ඒවාට රාජ්‍යතාන්ත්‍රිකව ඇති සබැඳියාවන් ද පටලවාගෙන දෙස් විදෙස් සහයද ඕනෑවටත් වඩා එකතු කර ගැනීමේ හැකියාවත් ඔවුන්ට තිබුණා.නාමල් රාජපක්ෂ මේ රටේ ක්‍රීඩා ඇමති වුණ ගමන් අපි හිතුවෙත් තමන්ගෙ ක්‍රීඩාව වුණ රගර් නඟා සිටුවන්නට ලොකු පියවර ගනියි කියලා.ඒත වුණේ පැවතුණු පරිපාලනයට සහයවීම වෙනුවට තමන්ගෙ නම ඉතිහාසයට එකතු කරන්න,මේ රටේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරලා,ඒ අපරාධයට වන්දි හැටියට මේ රටේ රගර් සංවර්ධනයට එන මුදල කප්පාදු කරලා,ඒ වරදට තමන්ගෙ තාත්තාගෙ ආණ්ඩුව යටතෙ නීතිය ක්‍රියාත්මක වුණේ නැති නිසා පරීක්ෂණයකුත් නැතුව ආසියාවෙ වගකීමක් ගන්න පුළුවන් වෙච්චි කෙනාව උඩින් පාත් කරලා පරිපාලනය ඔහුගේ යටතට පත්වෙන විදිහට උපදේශක සභාවක් ඇති කිරීම.තිබුණු රාජ්‍ය සබඳතා හරහා රටේ ජනපතිගෙ ඥාති පුතා වෙච්චි සහ හිටපු ජනපතිගෙත්,එවකට අගමැතිගෙත් පුතා වුණ ආසියානු සබාපතිගෙ ආශිර්වාදයත් අරගෙන ලංකාවෙ තියෙන්න ඕනි තමන්ට කැමති රගර් එකක් කියලා පාර පෙන්නීම.
මේ රගර්මය අපරාධවලින් සීමා නොවි විසිරුණු අපරාධ යාන්ත්‍රණයක් ඇතුළෙ ඔවුන්ට අභියෝග කිරීම,අඩුම තරමෙ නෝක්කාඩුවක් ඇති කරගෙන මම දන්නවා ඔක්කොම කියා තර්ජනයක් කිරීමත්,ආයෙ කතා කරන්න ඉඩක් නොලැබෙන වැඩක් හැටියට සළකන සමාජ සැකය තවමත් දුරුව නැත.එහි ගැඹුර සහ නපුරු අදහස් කවරේද යන්න වටහාගෙන එයම එක් හේතුවක් කරගෙන නැඟුණු සමාජ විවේචනයක් සමඟ බලය පැමිණි ආණ්ඩුවක රගර් හැඩය,තවමත් රාජපක්ෂමය ආකෘතියකින් පවත්වාගෙන යන්නට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද යන්න සැක සහිතය.
සෑම තැනකම එවැනි ආකාරයේ ක්‍රියාන්විතයන් සිත්ගන්නා සුළු විදිහට එල්ලි පවතින බව පැහැදිළි වෙමින් ඇත.විශේෂයෙන් අවසාන මොහොතේ හැරයාමේ ස්වභාවයෙන් නොවී රාජපක්ෂ කෝශය හැර ආ ඇතැම් අය පැමිණ ඇත්තේ එය ආරක්ෂා කිරීමේ උවමනාවෙන් විය හැකිය.එහෙත් අඩු අත්දැකීම් සමහර විට මේවා ස්පර්ශ කරන්නේ වෙනම දරුණු නිල වගකිම ගැන නිලධාරින් විසින් වපුරන බරසාර වචනවලින් මිස සැබෑ ප්‍රායෝගිකත්වයේ සිට නොවේය.මේවා ඇමතිවරුන්ට බෝ කරන්නට නිලධාරි හොඳින්ම සමත්ය.
රගර් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය පරික්ෂා කිරීම වටින බවට හිටපු ඔම්බුඩ්ස්මන්වරයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා ඇත්තේ ඉකුත් වසරේ 2024 ජූලි මාසයේය.සමහර කරුණු ගැන ඔහුත් දන්නවා විය යුතුය.ඒ මේ සිඳුවීම සිඳුවන සමයේ ආගමන විගමන පාළක ධූරයේ සිටියේ ඔම්බුඩ්ස්මන් ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පමණක් නොව එවකට සිටි අමාත්‍යංශ ලේකම්වරයාට ද දන්වා ඇත.එසේ නොදන්වා ඇති බව පවසන්නේනම් ජූලි මාසයේ 04,05 වැනි දිනවල ඔම්බුඩ්ස්මන් කාර්යාලයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ කාර්යාලවලට පැමිණ ඇති ලිපි සිටි පරික්ෂා කිරීම වටන්නේය.
මේ සිඳුවීම් හරි පැහැදිළිය.සැළසුම් සහගතය.අමාත්‍යවරයාට නොපෙනෙන තරම් දුර සිට කළ ඒවා ද විය හැකිය.ඒ අනුව විශාලම රගර් ඛේදවාචකයට අදාළ පරිපාලනයේ ප්‍රධාන විධායකවරයා අමාත්‍යවරයාට ජාතික ක්‍රීඩා උපදේශක සභාවේ සභාපතිවරයාට ගෙන එන්නට සිඳු වන්නේය.නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපයන් පෙරට රැඟෙන යමින් බොහෝ හානි ඇති කළ හැම ක්‍රීඩා දේහයකම සිටි අයත්,නැවත උපදෙස් දීමේ වගකීමෙන් පැමිණ අසුන් ගෙන ඇත.තාජුඩීන් ඝාතනයේ සිට තමන්ගේ චක්‍රය ඇතුළෙ ක්‍රීඩා කළ ක්‍රීඩකයාට සාධාරණය ඉල්ලා බරපතල බලපෑමක් නොකළ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල කීකරුභාවය වෙනුවෙන්,රගර් යාන්ත්‍රණයේ වැඩි බර ඔවුන් වෙත පැවරෙන ව්‍යවස්තාමය වෙනසක් ජාත්‍යන්තර ඉල්ලීම අනුව යැයි,ලංකාවේ අධිකරණ එකඟතා ද නොසළකා සිඳු වෙමින් ඇත.
එහි ද සිතන්නට දේවල් ඇත.යෝෂිත රාජපක්ෂගේ නාවිකමය වික්‍රමාන්විතය බොහෝ ප්‍රසිද්ධ කතාවක්ය.ඒ ලැබුණු වරදාන වරප්‍රසාද කිසිවකට විරුද්ධ විමේ උවමනාවක් හෝ හැඟීමක් එවකට නාවික හමුදාවේ ඉහළම තැනෙක සිටි වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තිබුණේ ද නැත.එසේ යම් වැරදි සහගත තත්ත්වයන් හමුවේ රාජකාරියෙන් බැහැරව ගොස් නැවත පැමිණ ඉහළ තනතුරු දැරූ අය ද හමුදාවේ නැත්තේ නොවේ.උදාහරණයකට දැඬි විශ්වාසයෙන් මේ මොහොතේ පොලිසියට කැඳ වූ ශානි අබේසේකර ගත හැකිය.ඒ නිසා ගලන අතට රැඳෙන විදිහ සහ දේශපාලනයට වඩාත් නමනීයව වැඩ කිරීම හෝ එසේ පෙන්වීම තුළ තමන්ගේ සමීපතම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ සූත්‍රය දන්නා නිලධාරියෙකු ලෙස මේ සීමිත ඉතිහාසය තුළ ක්‍රීඩා අමාත්‍යවරු තිදෙනෙකුගේම සමීපතම නිලධාරියෙකු ලෙස විශ්වාසය දිනා ගන්නට සමත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හැකි වී ඇත.
රගර් මේ මොහොතේ අන්තර්ජාතික මුහුණුවරකින් සහ බලපෑමකින් යුතුව වෙනස් කිරීමේ වගකීම පැරණි ව්‍යවස්ථාව යටතේ කරන්නට,අධිකරණය කිව්වත් ඉඩ නොදී කරගෙන යාමේ උවමනාව අමාත්‍යවරයාට නොතේරෙන්නේ මෙහි මුල කියවා නොගැනීමේ සහ ප්‍රායෝගිකව අත් නොවිදීමේ පලයක් හැටියටය.එසේ පත් වුවහොත ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කරන දේශිය රගර් පරිපාලනය ලංකාවේ රගර්වල විනාශකාරී වර්ථමනායට බලපාන කාරණා සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සමඟ ව්‍යවස්ථා සංශෝධනයේ මුව විටට ගිය විට,මේ මොහොතේ නිලවරණයකට නොයා ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ආරක්ෂා කරන්න හදන බොහෝ අයට යළි රගර් හී රැඳෙන්නටවත් අවස්ථාව නැති වෙන්නට ඉඩ ඇත.
එහෙත් සියල්ල ගලන්නේ සහ අමාත්‍යවරයා ද දරන්නේ ඔහු විශ්වාස කරන ඔහුට විශ්වාස කරන්නට සිඳුවන තරමට විෂ කවා ඇත්තේ කුමක්ද යන්න අපට අපැහැදිළි නැත.හැබැයි එය අප ගන්නා ජිවිත අවදානමට වඩා විශ්වසනීය වනු ඇත.අප අවදානම භාර ගන්නට පැකිලෙන්නේ නැත.එය අප අත්විඳ දරා ගත් ඉතිහාසයක සාක්ෂිකරුවෝය.වරක් හඹා ඒම,පැහැර ගනීය යන සැකය ඇති කළ සිඳුවිමකදී මේ ලියුම්කරුත්,ප්‍රියාන් ආර් විජේබණ්ඩාරත් සනත් බාලසූරිය වෙනුවෙන් ඉදිරිපත් විය.ප්‍රතිපලය වූයේ ප්‍රසිද්ධ සුදු වෑන් ප්‍රවාහන සේවය අප පසුපසින් ඒමය.මෙරින් ඩ්‍රයිව් හී කීල්ස් හී අපට ආදරය කරන හදවතක් තිබුණු බැවින් එය තුළ යම් කාලයක් අපට සැඟ වී සිටින්නට අවසර ලැබිණ.
එහෙත් අප මෙන්ම අපේ මිත්‍ර සනුහරය මේ පාදඩ දේශපාලන ආක්‍රමණයේ ගොදුරු වූහ.අපට වඩා ඒ බව දැන දැනම ඊට අභියෝග කළහ.මරණයේ සංඥා ඉදිරියේ නොනැවතී ජීවත්වන මිනිසුන් වෙනුවෙන් ජීවත්වීමට අර්ථයක් දීම ඔවුන් අපට දැණුම සහ භාවිතාව හැටියට දායාද කළහ.පෝද්දල ජයන්ත මිත්‍රයා තිරිසන් ප්‍රහාරයට ලක්වන්නට පෙර අප කාර්යාලයට පැමිණ සාකච්ඡා කර නික්ම යන්නට මත්තෙන් “මචං අවුලක් නැද්ද යන්න පුළුවන්ද“ යනුවෙන් අසන්නට තරම් ඒ බියකරු බවේ ඉව අපට වැටී තිබිණ.ඒවා සැහැල්ලු සිනාවකින් ගෙන සිය භාවිතාව තුළ නියැලෙන්නට පෝද්දලලාට තිබුණු හයියම අපට පාර කිව්වේය.ඒ ආකාරයට විප්‍රවාසී වූ මාධ්‍ය මිතුරන් බොහෝ දෙනෙක් ඔවුන් සිය වගකීම ඉටු කරන අතරේම ඔවුන් පසුපස එන බියකරු මරණ සෙවණැලි වෙනුවෙන් කාලය වැය නොකර,අපගේ ජීවිත නිරුපද්‍රිතව තැබීම වෙනුවෙන් අප මුණ ගැසීම පවා මොහොතකට අඩු කළ බව දැනෙන විට ක්‍රීඩාව සෙල්ලමක් සේ දකින සමාජයක එහි ඇති සමාජ දේශපාලනික බලපෑම සහ විසිර පැතිරීමේ හැකියාවේ පරිමාව සුවිශාල බව අපි දනිමු.ඒ නිසාම දේශපාලන ඉතිහාසය කියවන විට ක්‍රීඩා සමාජවලට ගලා ආ මුදල්,හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි මාතෘකා එක්කම පවුම් 50000 දඩය හිමි වුණ විදේශිකයන් ලංකාවට ක්‍රීඩා කරවීමේ සිඳුවීමේ අවශ්‍යයතාවයත් සමාන වන බව දැනෙනු ඇත.
ඒ නිසා අවදානම දැන එහි බියකරු බව විසින් අපට නිහඬ වන්නට ඉඩ නොදෙන්නෙමු.මේ නිහඬතාවය නොරැකි මිනිසෙකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා බලය හිමිවීමෙන් ඉනික්බිතිව පළමු මොහොතේ එකඟ වූ අරගලකාරී අභ්‍යාසය හමාර කර ඇද්ද යන්න අපි නොදනිමු.එහෙත් බොරුවට ලැබෙන ඉඩ විසින්,ඇත්ත කතා කිරීම නොනවත්වන තැනෙක අපව නිහඬ කළ දවසක මල් වඩම්නම් අනවශ්‍යය බව කිව යුතුමය.
තාජුඩීන් පාර්ක් රෝඩ් හී මිය ගියේ සිය මෝටර් රථය අනතුරකට මුහුණ දී,ගිණිගෙන දැවී,මෝටර් රථියේ තිබුණු යම් යම් උපකරණ මොට ආයුධ සේ සිරුරේ වැදී සිඳු වු තුවාලවලින් බව සිතා,සිය සහෘදයා වෙනුවෙන් ශෝක විම පසෙකලා,චෝදනාලාභියා සමඟ සතුටු වූ මිනිසුන් වට කරගෙන සමස්ත ක්‍රීඩාවේම උන්නතිය සොයන්නට හදන ආණුඩුව ගැන ඇත්තේ විරෝධයක් නොව,අපේක්ෂා භංගත්වයට පත් වූ කළකිරීමක් පමණි.
