යද්දී දුම්රියේ කොළඹට උදෑසන
පැද්දී බලන අඟනකි නෙත සිනාසෙන
ඇද්දී බලද්දී මා නෙත අයාගෙන
උද්දීපනය මා සියොළඟ බදාගෙන
බෙන්තර පාලමින් එගොඩට යන මොහොත
පියකරු සිනාවක විදුලිය එයි මවෙත
පියයුරු යුවල නලවයි සිල්පර විරිත
නිසි පුළුලුකුල කනපිට ගැහුවා ම’සිත
කළුතර බෝධියේ අනුහස අපට හිමී
පිංකැට පවා හිනැහේ කළුගඟට නැමී
පාලම උඩ දි හොඳ හුස්මක් ළයට ගමී
දාඩිය බිංදු මිරිකා කළුගඟට දෙමී
පසුවිය පානදුර දුම්රිය නලාවේ
සිග්නල් කණුව වැනුණා බාවනාවේ
කොළඹ දි ඇය ද වෙන්වන පෙම් තුලාවේ
සීතල දැනිණ මට බගවන්තලාවේ
මොරටුව කියත ඉරනා අරටුව ගානේ
පෙරටුව දුවයි මා සිත ලී කොට ගානේ
තෙරපුම විඳිමි නැලවෙන විලිබර හීනේ
ඉඳිකටු ඇනෙන සුවයකි ඉඳිකටුපානේ
දෙහිවල සත්තුවත්තේ කැන්ගරු දෙඩුවා
බෙල්ලන්විලෙන් කෙරවක්කන් පැන් වැඩුවා
බම්බලපිටිය ළඟ පැස්බරෙකුත් දුටුවා
සොල්දර ගෙවල් උඩ පිළිහුඩුවන් නැටුවා
සපැමිණි කලට කොටුවේ ඉස්ටේසමට
පටුවන් නළල අඩසඳ එබුණා ළයට
දුටුවන් සමඟ ඕ මුසුවිය ජන ගඟට
කපුටන් සිනාසී කෙටුවා ටකරමට
කවදා ආයි හමුවේවි ද ඒ දෑස
බිතුසිතුවමක තවරමි සුදු මඳහාස
කොටුවෙන් පිටට පැන ඇවිදින ආවේස
කොළඹ දි දැනෙන්නෙ ම මට තනිකම් දෝස
එළුවන් ඇවිත් මට පානා විට නිකට
හෙළුවෙන් දුවයි සිතුවිලි දසදෙස අවට
මනි බඩු අත ගගා බලනා කල දුකට
බවදුක දුනිමි මම සයිලන්සර දුමට
~ කුමාර හෙට්ටිආරච්චි
RN