පොලිසිය සහ සොලිඩ් දෙවන අර්ධයේ පෑ හපන්කම්වලින් පෙරළි කරයි

0
2


නිශ්මං රණසිංහ පෙබරවාරි 24, කොළඹ LNW:

ඉකුත් සති අන්තයේ පැවති චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවියේ පැවති තියුණුම තරග දෙක වූයේ සෝන්ඩර්ස් – සොලිස් තරගය සහ ඒ සමානම ගෝල වෙනසකින් 3-2 ක් ලෙස පොලිසිය විසින් නිව් ස්ටාර් පරාජයට පත් කළ තරගයය.එහිදි පළමු අර්ධය නිමාවන විට පොලීසිය 0 – 2 ක් ලෙස පසුපසින් සිටියද දෙවන අර්ධයේ මුල් කාලය වෙනස්ම වේගවත් බවකින් ක්‍රීඩා කළ පොලීසිය 52 වන විනාඩියේ සිට 58 වන විනාඩිය දක්වා වූ විනාඩි 6 ක කාලය තුළ ගෝල 3 ක් ලබා ගනිමින් තරගය තමන් සතු කර ගැනීමට සමත් විය.


සෝන්ඩර්ස් – සොලිඩ් තරගයද එබඳුම විය.මුල් අර්ධය හමාර වන විට ලකුණු තත්ත්වය 2 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ සෝන්ඩර්ස්ය.එහෙත් දෙවන අර්ධයේදී සෝන්ඩර්ස් ආරක්ෂක වළල්ල බිඳ දමිමින් 54,77 සහ 87 වන විනාඩිවලදී ගෝල වාර්තා කළ සොලිඩ් කණ්ඩායම තරගයේ ජය ගෝල 3-2 ක් ලෙස ලබා ගැනීමට සමත් විය.


ඉකුත් සති අන්තය මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කිරීම තව දුරටත් දුෂ්කර තැනකට ඇඳ දමපු සතියක් විය.අපරාජිතව වුවත් ජය පරාජයෙන් තොරව තරග දෙකක් අවසන් කර සිටි සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සොලිඩ් ක්‍රීඩා සමාජය ඉදිරියේ ගෝල 3-2 ක් ලෙස ලද පරාජය නිසා සතිය නිමාවේ ඔවුන් සිව්වන තැනට පහළ බැස සිටියේය.


මේ වන විට මේ සුපිරි අට වටයේදී අපරාජිත බව රැකගෙන සිටින්නේ පෙලිකන්ස් කණ්ඩායමට සහ ජාවාලේන් කණ්ඩායම් පමණි.පෙලිකන්ස් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇති අතර ජාවාලේන් තරග දෙකක්ද ජය පැරදුමෙන් තොරව අවසන් කර පිළිවෙලින් පළමු සහ දෙවන තැන් හි රැදි සිටියි.


ඉදිරියෙන්ම සිටින පෙලිකන්ස් ඉකුත් සති අන්තයේ සෙන්ට් මේරිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.එසේම ජාවාලේන් කණ්ඩායම මේ දක්වා දක්ෂතා දක්වමින් සිටි සෙරන්ඩිබ් කණ්ඩායමට ගෝල 5-0 ක් ලෙස දැවන්ත පරාජයක් උරුම කර දුන්නේය.