*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

ඔහු නික්ම ගිය පසුව ….

වංගු ගැසෙනා රේල් පාර දිගේ දුම්රිය හෙමිහිට ඉදිරියට ඇදෙයි. වම්පසින් ඇති ග්‍රේට් වෙස්ටර්න් කන්ද වරින් වර මිහිදුමෙහි එතී යළි මිදෙයි. තේ වතුයාය අතරින් පලින් පල රූරා හැලෙන දිය දහරාවන්ය. ඈතින් නානුඔය දුම්රිය නැවතුම් පල දිස්වෙද්දී එතෙක් දුම්රියෙහි නැගි ගී නද නතර වෙයි. කලබලයෙහි ස්වභාවය මාරුවෙයි. එතෙක් විනෝද සුවයෙන් දැඟලූ විවිධ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයෝ වහ වහා සිය බෑග් අතටගෙන මැදිරි දොර වෙත රොක් වෙති. දුම්රිය හූ තියාගෙන නානුඔයට ලංවෙයි. මේ දුම්රිය මගින් එන විනෝදකාමීන්ගේ සිහින පුරයයි.

සීත සුළං දසත හමන්නේ සුදු වළාකුලයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න විවේකයක් ගන්න ඇඟේ පතේ සුවේ දැනෙන්න…

දැන් ඒ ගීය නතරව ඇතද සියල්ලන්ගේම දෑස් යොමුව ඇත්තේ සාහිත්‍යය මගින් උත්කර්ෂයට නංවන ලදුව තම පරිකල්පනීය ලෝකය තුළ නෙක හැඩ ගන්නා සීතළ අඩවිය කෙරෙහිය.

උපුල් සේනාධීරිගේ නම් සංචාරකයා අන් සංචාරකයන්ගෙන් වෙනස් වන්නේ මෙහිදීය. ඒ වෙනස වටහා ගන්නට නම් ඔබ ඔහුගේ නානුඔය දුම්රිය නැවතුමේදී නම් කව කියවිය යුතුය. ඒ කවිය පිටුපස ඉන්නේ ගැඹුරු දේශපාලනික කවියෙකි. සෞන්දර්යය තුළ ගිල්වා සඟවාලනු ලබනා සත්‍යය නිරාවරණය කරන්නට සමත් දැක්මක් සහිත කවියෙකි. ඔහු සිය කවිය මගින් එතෙක් අපේ පරිකල්පනය තුළ මැවී ඇති විසිතුරු සිත්තම තූ තූ කර දමා අප අකමැති සත්‍යය අපේ ඇස් දෙකෙටම එල්ල කර මොලවාලයි. ඒ කව ගින්නකි, සැඩ සුළඟකි, යකුළු පහරකි. මේ ඔහු දකින නානුඔයයි.

සි‍ඳු තරඟ පෙලින් ඔබ
අහස්ගව් සතක් නැග
මොහොතකට නැවතුනෙමි
කඳු මගක නැවතුමෙක

සොවින් බර බිළිඳු වත
බඳුව ලා සඳ නැගෙත
විඩා හළ දුම්රියක
හතිය නැවතුණ බිමෙක

පහල බිම් තල අරා
නැගුණු පැල්පත් රැසකි
අව පැහැව දැල්වෙනා
විදුලි හුළු තැන තැනෙකි

දමිළ වෙන මෘදංගද
ඇසෙයි නුමුසු ව මුසුව
දැවෙන පිටි පූපයක
සුවඳ නැහැ පුඩු මඩිත

පවන් රැළි හා වෙලී
මතුව ඉඳහිට පරොස්
මධු විතෙක අබිමනක්
අතරතුර උස් හඩෙක

නෙක පැහැති දෙව් රූප
පියෙසි මත රුවාගෙන
මුනිවතින් කෝවිලක්
දෙව් ඇසද නිවාගෙන

භරත දේසෙට නැගෙන
මං ලකුණු අහිමිවූ
තේ ලපල්ලට ගෙවුනු
මිනිස් මුළුවකි දැවෙන….

අද අපෙන් වෙන්ව ඇත්තේ එහෙවු කවියෙකි. මේ කවියා බොහෝ කාව්‍ය පර්ෂදයන්හී ඇගයුනේ නැති. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ලැබෙන තුරුම ඔහු අමතකව ගොස් තිබුණි. එහෙත් හේ නොනවත්වාම ලිවීය. තමන්ගේ දෙනෙත් අහිමිව යද්දී මහත් අනුරාගයෙන් කියවන වේගය වැඩි කළ ඔහු, තම පාදයද අමිහිව යද්දී ඒ වේගය තවත් වැඩි කළේය. නෙත් අහිමි වන විට සිය පරිකල්පනීය ලෝකය අවදි කල ඔහු වෙනදාටත් වඩා සිය දැක්ම සවිමත් කරගති.

සිනමාව, සංගීතය, සාහිත්‍යය, දේශපාලනය සහ වමේ දේශපාලන දර්ශනය යන මේ සියල්ලම තමා සමීපයෙහි තබාගත් ඔහු සිය කාර්යබහුල වෘත්තීය දිවිය තුළදීද ලෝකය නිවැරදිව දකින්නට සමතෙක්ම විණි. ඔහු බොහෝ සේ කියවීය. උන්මාදයෙන් මෙන් සිනමාපට නැරඹීය. සංගීතයට සවන්දීමේදී ද ඔහු එසේමය. තමන්ගේ දෙනෙත තමන්හට සතුරුව යද්දී ඔහු ඒ වන තෙක් තම අවධානය දැඩිව දිනාගත් කලා කෘති පිලිබඳව මිතුරු සමාජයන් සමග මහත් උනන්දුවෙන් අදහස් බෙදා ගත්තේය. ඔහු සමග කතා කර වදනින් දෙකින් නතරවීම කල නොහැක්කකි. එසේම ඔහු සමග කරනා කතාබහකදී ඊට සහභාගිවන්නාට ගෙවී යන කාලය කවදාවත් නොවටනා එකක් වූවේද නැති. මධුවිතකින් සප්පායම් වන විටක බොහෝ අය වෙනත් මං වල සරද්දී උපුල් වෙතින් සැමවිටම පාහේ ගලා ආයේ සාහිත කලා උල්පත් පිළිබඳවමය. ඔහු සමග කරනා කතාබහක් යනු අනෙකාට බොහෝ දේ උගත හැකි අවස්ථාවකි.

සිය දෙනෙත අමිහිවූපසුව ඔහු ගුවන්විදුලියට බොහෝ සමීප වූවේය. මා ගුවන් විදුලි වැඩ සටහනකට සම්බන්ධ වූ සෑම අවස්ථාවකදීම හැකිනම් ඊට සජීවීව සම්බන්ධ වූ ඔහු ඉන්පසුවද බොහෝ වේලා ඒ ගැන සිය අදහස් පල කරමින් මට බොහෝ වටනා අදහස්වලින් මා පෝෂණය කළෙය. අන් අයටද ඔහු එසේම වූ බවද මම දනිමි.

උපුල් කවියකු ලෙස කළ කැපවීම කෙරතම් වුවද විදර්ශන අත්පිටපත් ත්‍යාගයේදී ඇගයීමට ලක්වන තුරුම කිසි දිනෙක හෝ ඔහු ගැන ඇගයුමක් කෙරුණේ නැති. එහෙත් ඔහු නිහඩව සිය වැඩෙහි නිරතවිණි. මම පසුගිය කාලයතුළ ඔහුගේ කාව්‍ය මැදිහත්වීම ගැන ඇගයුමක් ගැන කල්පනා කරමින් සිටියෙමි. ඒ ගැන රත්න ශ්‍රී කවියාට කී විට ඔහු මහත් කැමැත්තෙන් උපුල්ගේ සමස්ත කාව්‍යාවලිය පිළිබඳවම ලියන්නට එකඟ වූවේය. ඊළඟට මා කතා කළ නන්දන වීරසිංහ කවියාද දැක්වූයේ එවන් ප්‍රතිචාරයකි. එහෙත් පසුගිය දේශපාලන කලිකලහ මැද ඒ කාර්යය යටපත් විණි. මගේ අපේක්ෂාව වූවේ උපුල්ට නොදැනෙන සේ එය සම්පූර්ණ කර ඔහු වෙනුවෙන් ඇගයුමක් සංවිධානය කිරීමටය. එහෙත් ඔහුගේ රෝගී තත්වයන් අපේ පමාවන් ඉවසා සිටියේ නැති.

අවසන උපුල් නික්ම ගියේය. කනගාටුදායක පුවතක් කියන්න තියෙනවා කියමින් ඒ ගැන මට මුලින්ම කීවේද ඔහුගේ සමීපතම මිතුරකු වූ රත්න ශ්‍රී කවියාමය. ඉදින් සෙනසුරාදා නයිනමඩමේ සාහිත්‍ය කටයුතුත්කට දින දී තිබුණ හෙයින් සිකුරාදා සන්ධ්‍යාවෙ එහි ගොස් ඔහුට සමුදුන්නෙමි. ඒ බෙහෙවින් ළබැඳි මිතුරකුගේ නික්ම යාමය. යළි මට ඔහුගේ කටහඬ දුරකථනයෙන් ඇසෙන්නේ නැත. සාහිත්‍ය කටයුත්තකදී සිය සැරයටියට දෑත තබාගෙන සිටින විට ඔහුගේ අතක් මත අත තබමින් උපුල් මං චූලා කියා කියන්නට නැවත අවස්ථාවක් ලැබෙන්නේද නැත. එහෙත් ඔහු අපට තිළිණ කර ගිය මල් පැස මෙන්ම සොඳුරු මතකද මගේ මරණය තෙක්ම මා සමග රැඳෙමින් මට තනි රකින බව නම් නියතය.

යමකු නික්ම යා යුත්තේ තමන් නැති තැන අඩුවක් පවතින බව සමාජයට දැනෙන තරම් වැඩ කොටසක් කළ පසුවය. උපුල් එසේ තම කොටස කර නික්ම ගිය මිනිසෙකි.

~ චූලානන්ද සමරනායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan