ප්‍රශ්න කරදර කරනකල්, ඒවා හුදෙක් ප්‍රශ්න විදියටම තියෙන්ඩ අරින්ඩ ….

0
3

මං නං කාට හරි ණයට දීපු ගානක් වුනත් කරන්ඩම දෙයක් නැති තැන, ආපහු ඉල්ලන විදියක් තියෙනවා.

මොනවා වුනත්, උදේ වරුවෙනං ඒ වැඩේ කරන්නේම නෑ.

ඒක ඒ මනුස්සයාගේ දවසම මස්ත බාල්දු වෙන වැඩක්.

ඒකටත් එක්ක, අපිට පන්නගෙන ඇවිදිං ලීසිං අනං මනං දෙන මල්ලිලා….

ඔෆීස් එකට ගිහිං දෙයියනේ කියලා, ඉඳ ගන්නකොටම එන පළවෙනි කෝල්ලෙක මුංගෙං.

” මාත්තයා… වාරිකේ ඇවිත් තියෙන්නේ….හෙට අනිද්දම දාන්ඩ වෙයි..කවද්ද දාන්නේ..?”

” හරි..හරි, හෙටම දාන්නංකෝ..” කියලා මං කෝල්ලෙක කට් කරනවා.

ඒ මිසක ඒ ගැන මොකූත්ම හිතන් නෑ.

උසාවි ඉවරවෙලා එන ගමං රුපියල් 200/- ක් දීලා ස්වීප් ටිකට් 05 ක් අරං එනවා.

දැං හෙට ලීසිං වාරිකේ ගෙවන්ඩ මට ප්ලෑන්නෙකක් තියෙනවා.

ටිකක් ලොකු ගානක් ඇදුනොත්, ඔය ඉබාගාතේ යන ඩෝග්ස්ලාට අනාථ නිවාසයක් හදා දීම දක්වා දිවෙන මාර හීන තොගේකුත් මට තියෙනවා.

ලීසිං වාරිකේ හෙට දවස ඇතුළත ගෙවන්නේ කෝමද වගේ සමාරුන්ට පපුව හිරවෙන ප්‍රශ්න මං නං ප්‍රශ්නයක් කර ගන් නෑ.

ඒ වෙනුවට, අර සුනඛාගාර තැනීම වගේ හීන බල බලා මං සපාන්නෙකේ නිදා ගන්නවා.

පහුවදා උසාවි ඇරිලා එන ගමං ලොතරැයි කූඩුවට ගිහිං ප්‍රතිඵල බලනවා.

ටිකට් පහෙං එක්කට දෙක්කට විතර රු.40 ක්, 80 ක් තියෙනවා., සමාර දාට ඒකවත් නෑ.

ඒත් මං සැළෙන් නෑ.😎

ආයෙත් රු.200/- ක ටිකට් අරං ගෙදර යනවා.

හවසට ලීසිං එකේ මලයා කතා කරනවා.

” මාත්තයා වාරිකේ දාලා නෑ නේ?

“ඒකනේ මල්ලී පොඩි ප්ලෑන්නෙකක් ගැහුවා ..හරි ගියේ නෑ නේ.. හෙට බලමු හොඳේ..?”

ලීසිං කොම්පැනිකාරයින්ට තියෙන ප්‍රශ්න අපේ ප්‍රශ්න කර ගන්ඩ ඕන් නෑ නේ..?

එදාටත් අර වාගේම බියර් එකක් කාරිය ගහන ගමං මාලිමාවේ සවෝදරයින්ට සුබ පතලා , සපාන්නෙකේ නිදා ගන්නවා.

ඕම ඕම සතියක් විතර අදිනකොට, රු. 25000 /- ක් 50000 /-ක් විතර එක පාර අය කර ගන්ඩ පුළුවං නඩුවක් කඩා පාත් වෙනවා.

කෝම කෝම හරි මාසේ ඉවර වෙන්ඩ කලිං ලීසිං වාරිකෙයි, කඩවල්වල, බාර් එකේ හිඟ නය අනං මනං ඔක්කෝම ගෙවලා, ගෙදෙට්ට ඕනෑ අඩුම කුඩුම ටිකයි, බියර් ටිං දෙකයි, ටිකට් පහකුයි කාරෙකේ දාගෙන , වෙනදා වාගේම මං ගෙදර එනවා.

ප්‍රශ්නවලට බයේ ඒ ප්‍රශ්නවලින්වත්, ජීවිතෙන්වත්, පලා යන්ඩ හදන්ඩ එපා.!

ඒ වගේම ඒ ප්‍රශ්න කරදර කරනකල්, ඒවා හුදෙක් ප්‍රශ්න විදියටම තියෙන්ඩ අරින්ඩ., ඒවා ගැන කරදර නොවෙන්ඩ, සහ ඒවාට කරදර නොකරන්ඩ.

ඔය ගැන ඉන්ග්ලිස් ප්‍රොවර්බ් එකකුත් තියෙනවා.

මට මතක විදියට,

Don’t trouble troubles till troubles trouble you

~ වසන්ත සිරි වටගොඩ