පාස්කු ප්‍රහාරය : ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ නිවසෙන් හමුවූ රන් භාණ්ඩ ඉෆ්ලාල්ට මුදාහරින්නැයි CIDයට නියෝගයක්

0
3

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේදී එක් බෝම්බ ප්‍රහාරයක් සිදුවූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් ඇතුළත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් සිදුකරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනාගේ සොහොයුරා සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

“මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා. එහිදී කිසිදු කරුණක් දක්වා නැහැ. පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා සිදුකර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහෙස්ත්‍රාත්වරයා හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත්, එම පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශවයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා” යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.

අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී එය ක්‍රියාත්මක නොකර CIDය නිතිපතිවරයාගේ උපදෙස් පැතීම වැරදි ක්‍රියාවක් යැයිද අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන ජුනි මස 17 කැඳවන ලෙස නියෝග කළේය.