ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම තීරණය දැනුම් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවද ඔහු සඳහන් කරන ලදී.
මේ වනවිට 23,000කට අධික වෛද්‍යවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් එක හඬින් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් රජය ඊට නිසි විසඳුම් ලබා දී නොමැති බවයි වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ.
”අපට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට හැකියාව තිබුණත්, රෝගී ජනතාවට හා මහජනතාවට අහිතකර තත්ත්වයක් ඇති කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එබැවින්, අපි මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ජනතාවට අවම හිරිහැරයක් වන පරිදි පවත්වාගෙන යමින් සිටිනවා.ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය අඩු වියදමින් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පද්ධතියක්. ජාතික රෝහල්වල සිට ගමේ ඩිස්පෙන්සරි දක්වා, ප්‍රාථමික සත්කාර ඒකකවල සිට දිස්ත්‍රික් රෝහල් දක්වා විහිදුණු සම්පූර්ණ පද්ධතියක් අපට තිබෙනවා. මේ පද්ධතිය දිගටම පවත්වාගෙන යන්නේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පීඑච්අයිවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ විශාල කැපවීම මතයි.එහෙත් මේ වනවිට මූලික ගැටළු රැසක් පවතිනවා. වෛද්‍ය හිඟය, අනෙකුත් සෞඛ්‍ය සේවක හිඟය, ඖෂධ හිඟය, පහසුකම් අඩුකම සහ පරිපාලන ගැටළු. මේවා විසඳිය හැකි ගැටළු වන අතර, සමහර ඒවා සරල පරිපාලන තීරණයකින් විසඳිය හැකියි. නමුත් එවැනි ක්‍රියාමාර්ග නොගෙන, වෙනත් නව ව්‍යාපෘති හෝ නව ආකෘති හඳුන්වාදීම ප්‍රායෝගික විසඳුමක් නොවෙයි.
”අපි උදාහරණයක් ලෙස කියන්නේ මෙයයි. ගමේ බස් එකක් තිබුණත් එයට ඩ්‍රයිවර් කෙනෙකු නොමැති නම්, අලුත් බස් එකක් ගෙනාවට ගැටළුව විසඳෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඩ්‍රයිවර් කෙනෙක්. එමෙන්ම, පවතින සෞඛ්‍ය පද්ධතියේ මූලික ගැටළු විසඳීම වෙනුවට නව ආකෘති හඳුන්වාදීම ජනතාවට ප්‍රයෝජනවත් නොවිය හැකියි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපගේ මධ්‍යම කාරක සභාව පසුගියදා දීර්ඝව සාකච්ඡා කර තීරණ කිහිපයක් ගත්තා. දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යාමත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල සහ දිස්ත්‍රික් රෝහල්වල පවතින ගැටළු හඳුනා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමත් ඒ අතර වෙනවා. සති දෙකක් ඇතුළත එම කමිටු වාර්තාව ලබාගෙන, එය අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට අපි සූදානම්.
අපගේ අවධාරණය ඉතා පැහැදිලියි. දේශපාලන සංදර්ශන හෝ ප්‍රචාරක ව්‍යාපෘති නොව, පවතින සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමයි අවශ්‍ය. වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් දිරිමත් කර, ඔවුන්ගේ ගැටළු විසඳා දී, සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.”යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


