ප්‍රවීන ගේය පද රචකයෙකු, කවියෙකු, නවකතා කරුවෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු වූ අජන්තා රණසිංහයන්ගේ හය වන වන ගුණානුස්මරණය අද (27) ට යෙදී තිබේ. මේ ඔහු පිළිබඳව කෙටි සටහනකි.
1949 කුරුණෑගල පන්නල තලම්මහර ග්‍රාමයේ උපත ලද අජන්තා රණසිංහ සිය මූලික අධ්‍යාපනය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හැදෑරූ අතර පාසල් අධ්‍යාපනය කරගෙන යන අවධියේම සිය නිර්මාණ දිවිය ආරම්භ කරමින් ”සිළුමිණ” ආදී පුවත්පත්වල ළමා පිටුවලට සිය නිර්මාණ සපයන්නට විය.
ඔහුගේ මාධ්‍ය ජීවිතය ඇරඹෙන්නේ ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වීමත් සමඟය. තීරු ලිපි ලිවීමේ දී, ප්‍රාදේශීය පුවත් සංස්කරණයේදී, පිටු සැකසීමේදී මෙන්ම කවිපිටු නිර්මාණයේදී අජන්තා රණසිංහයන් දැකිවූයේ විශේෂ දක්ෂතාවයකි. 1965 වසරේ දිනමිණ පුවත්පතේ වාර්තාකරණයට යොමු වූ ඔහු අවසානයේ නවයුගය පුවත්පතෙහි සංස්කාරක ධූරයට පත් විය. ඔහු සිය නිර්මාණ දිවියේ මෙන්ම පුවත්පත් දිවියේ ද ඉහළටම යන්නට භාග්‍ය සම්පන්න විය.
නවකතාව හා කෙටිකතාව විෂයෙහිද ප්‍රතිභා සම්පන්න වූ අජන්තා රණසිංහ අතින් නවකතා කිහිපයක් ද රචනා විය. වින්කල් බාස්, ක්‍රිස්තුනි කරුණාකළ මැනව ආදී අගනා ශෛලියකින් ලියැවුණ නවකතා දක්නට ලැබුණ ද හොඳ නවකතා කරුවෙකු ලෙස ඔහු ඇගයීමට පාත්‍ර නොවීය.
තිවංකරේඛා මෙන්ම තුන්පත් රටා අජන්තා රණසිංහ විසින් සිංහල පද්‍ය සාහිත්‍යට එකතු කරන ලද නිර්මාණ වේ.
තිලකරත්න කුරුවිට බණ්ඩාර මෙන්ම කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රාමාණිකයන් සමඟ පංති සගයෙකු වූ ආචාර්ය අජන්තා රණසිංහයන් 1971 වර්ෂයේදී ගී පද රචනා පොතක් ලියා පළ කර, ‘විකසිත පෙම්’ නමින් තවත් කෘතියක් 1975 වර්ෂයේදී රචනා කරනු ලැබීය.
1975 තරම් ඈත කාලයකදී තිස්ස අබේසේකර කලාකරුවා අජන්තා රණසිංහ නම් වූ ගේය කාව්‍ය රචකයා හඳුනායනු ලැබුවේ මෙසේ ය. “දෙවන ලෝක සංග්‍රාම සමයේ අප තරුණ පරපුර වඩාත් ඇදී ගියේ, සිව්පද කවියට නම් ඉන්පසු යුගයේ දී තරුණ චින්තනයට වඩාත් රුචි වූයේ කෙටිකතාව නම් අද තරුණ පරපුරේ ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍යය ගීතය යයි මම සිතමි. එමෙන්ම අප රට මෑත ඉතිහාසයේ වැදගත්ම ජන කොටස හැටියට සඳහන් වන පසුගිය දස වස තුළ තරුණයන් වූ පරපුරේ චින්තනය හොඳින් ප්‍රකට වූ ප්‍රකාශන විධිය ද ගීතයයි. මේ පෙරළියේ ආරම්භය සොයන්නෙකු නවතනු ඇත්තේ අජන්තා රණසිංහගේ ගීත අතරය. මා ඉහතින් කී තරුණ පරපුරේ ලොකු අයියා ඔහු යයි සිතමි. (අජන්තා ගීතාවලී සමරු කලාපය 75.03.16)”
ඔහුගේ අනන්‍යතාවය රුදී තිබුණේ ගීත රචනා කලාව තුළය.
සරළ ගීයෙන්, වේදිකාවෙන්, ගුවන් විදුලියෙන් මෙන් ම චිත්‍රපටයෙන් දිග හැරෙන අජන්තා රණසිංහයන්ගේ ගීත සමුච්චය තුළ දක්නට ලැබෙන්නේ සරළ සුගම බස් වහරයි. ”සරස්වතී මණ්ඩපයට” ළමා ගී රචනා කළ අජන්තා නොබෝ කලකින්ම, ගුවන් විදුලි සරල ගීතයට හා ”ප්‍රබුද්ධ ගී” නමින් හැඳින් වූ නිර්මාණාත්ම සංගීත වැඩසටහනට ද ගේය කාව්‍ය රචනා කළේය.
ගුවන්විදුලියට සම්බන්ධ වීමත් සමඟ අමරදේව, නන්දා මාලිනී, ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, සිසිර සේනාරත්න, එඩ්වර්ඩ් ජයකොඩි, අබේවර්ධන බාලසූරිය, එච්. ආර්. ජෝතිපාල, නීලා විත්‍රමසිංහ, රූකාන්ත ගුණතිලත, සමිතා මුදුන්කොටුව ආදී විශිෂ්ට කාණ්ඩයේ ගායක ගායිකාවන් වෙනුවෙන් මෙන්ම නවක ගායක ගායිකාවන් වෙනුවෙන් ද එකසේ සිය නිර්මාණ ලබා දීමට ඔහු උත්සුක විය.
ලාංකීය ගීත ක්ෂේත්‍රයේ රස මුසු තැන් මෙන්ම හරබර තැන් ද සොයා ගිය ඔහු දෙවරක්ම හොඳම ගීත රචකයාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර තවත් අවස්ථා ගණනාවකදී සාහිත්‍ය සම්මානයට ද පාත්‍ර විය.
අජන්තා රණසිංහයන් රචනා කරන ලද ගීතාවලිය දෙස බැලීමේදී මිනිසෙකුට මෙතරම් වචන හරඹයක් කළ හැකිදැයි යන්න පවා සිතේ. ඔහු විසින් රචනා කරන ලද ගීත සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ද අධිකය. ඉංග්‍රිසි සාහිත්‍යයේ කියවීම හා ජන සාහිත්‍යයේ ආභාෂය ඔහුගේ ගීත නිර්මාණයන් වඩාත් ආකර්ෂණීය වීම සඳහා හේතු වන්නට විය. එකිනෙකට වෙනස් හැඟීම් දනවමින් අජන්තා කළ වියමන ප්‍රශස්තය. ඔහු එකම හැඟීම පවා ඉදිරිපත් කරනු ලැබුවේ වෙන වෙනම රස භාවයන් උද්දීපනය වන අයුරිනි. ඔහුගේ ගීත සාහිත්‍ය තුළ අධ්‍යයනයට පාත්‍ර විය යුතු අංශ දෙකක් පවතී. ඉන් පළමු වැන්න ඔහුගේ ගීත සාහිත්‍ය තුළ දක්නට ලැබෙන විවිධත්වයයි. දෙවැන්න මානවවාදී දෘෂ්ටියයි.
ජය මෙන්ම පරාජය ද දරාගත යුත්තක් බව ජන සාහිත්‍යයේ දක්නට ලැබේ. ඔහුගේ නිර්මාණ තුළීන් හෙළිදරව් වන බෝසත් ගුණධර ගැමි චරිතය ඔහු විඳි අත්දැකීම් හා අත්විඳීම් නිසා උපන්නක් විය හැක. වියෝ වූ පෙමට සාප කරනවා වෙනුවට මානව දයාර්දී ගුණය එමගින් පළ විය. අජන්තා තුළ තිබූ මානවවාදී දෘෂ්ඨිය හා ස්ථානික විඥානය කුමක් ද යන්න පැහැදිලි කර ගැනීමට අමරදේවයන් ගයන බොල් වී අහුර ප්‍රමාණවත් ය.
බොල් වී අහුර
වෙල් හුළගේ ගියසේම
දීගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතක ද අපි බාලේ
මල්වර වියෝ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි වුණි කියාගන්නට හිත බැඳි ආලේ
නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නඟේ
පිට ගං ගොසින් මා අමතක වුණත් නඟ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ
… ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිණි නොගෙනේවා …….
අපේ කාලයේ දී නව ආකෘති මතු කරගත් අජන්තාට සම කළ හැකි ගී පද රචකයෙක් නැති තරම්ය.ඔහු විසින් සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරනු ලබන සංකල්ප රූප යෝජනය මෙහිලා සඳහන් කරණු වටියි. විචිත්‍ර සංකල්පනා ගීතයට අවශ්‍ය ප්‍රසාද ගුණය රැක ගනිමින් ඔහු ශූර ලෙස ඉදිරිපත් කරයි. ඔහු සම්භාව්‍ය භාෂාවේ එන යෙදුම් වඩාත් සරලව සිය නිර්මාණතුලට එකතුකරගනු දක්නට ලැබෙයි.
රන්කෙන්දෙන් බැඳ , විකසිත පෙම්, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට මේ, සිරිමහ බෝමැඩ, ආශා නිරාශා මැවූ, මල්ලියකම් රැඳි, මල් පොකුරු පොකුරු, පෙමාතුර හැඟුම්, ආදර සැමරුම්, සංගීත මඬලේ, කල්පනා ලොව මල්වනේ, මුව මුක්තා ලතා, දේදුන්නෙන් එන සමනලුනේ, වීදි කොණේ මාවත අද්දර, කිරි කවඩි සිනා, හන්තානේ කඳුමුදුන සිසාරා, මල්ලිකා කියා රැවටිලා, පුංචි ගෙලට පෙති ගෝමර, සුවඳ දැනී දැනී, ඉඳුනිල් ගඟුලැල් වැනි ජනප්‍රිය ගීත රැසක ගී පද රචනා ඔහුගේ ය.
වැහි පොද පෙරදා මෙන් වැටේ. මැයි මල්ද පිපෙන්නේ රතට රතේය. එහෙත් පෙරදා මෙන් අප දෙදෙනෙක් නොවේ. මා පමණි. මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ අජන්තා මවන තනිකමත් කොතරම් නම් සුන්දර ද ? සැබැවින් ම නිර්මාණකරුවෙකුට සිතුවිලි පහළවීම කෙතරම් නම් මනරම් ද?
අජන්තා රණසිංහයන් ප්‍රේමසිරි කේමදාසයන් හා මුසු වීම ලංකාවේ ගීත සාහිත්‍යයේ වෙනම අවධියක් ගොඩ නැගීමට සමත්ය. ඒ නොමැකෙන සිහිවටන අතර තමාට පිටු පා පති කුලයට යන සිය සොඳුරු ප්‍රේමවන්තිය පිළිබඳ ලියන ”විකසිත පෙම්” හා මූදු සතකින් ඈත දේශයක තනිව කල්පනා ලොවක් පිළිබඳ ලියන ”රෑ දුරු රට මේ” අමතක කළ නොහැකි සිහිවටනය.
අජන්තා රණසිංහයන් සිය නිසඟ නිර්මාණ කුසලතා සුජාත සුභාවිත ගීතයක් උදෙසා නොකෙලෙස්ව කැප කළ නිර්මාණකරුවෙක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. එහි ගෞරවය නිතැතින්ම ඔහුට හිමිවිය යුතුමය. ඔහුගේ ගීතාවලිය අදටත් අප හට පවසන්නේ සැබෑ කලාකරුවෙකුට විහිද පැතිර යා හැකි අවකාශයට සීමා මායිම් නැති බව යි.
- සශිකලා මධුෂාණී