අකුරේගොඩ ද්විත්ව ඝාතන විමර්ශනය : පොලීසිය මේ කරමින් ඉන්නේ පරණ වැඩේමද ?

0
2

ලංකාවේ පොලිසිය සතු අවම තාක්ෂනික හා මෙහෙයුම් හැකියාව සහ සාමාන්‍ය ජනතාව පොලිසියට ලබා දෙන අවම සහය යටතේ වුනත්, හදිසියේ මනුස්සයෙක්ව රිය අනතුරකට ලක් කර පලා යන අයෙක් පවා පැය කීපයක් ඇතුළත අත්ඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තියෙනවා.

ඒම තියෙද්දිත්, අකුරේගොඩ දී, මහ දවල්, දෙනෝ දාහක් ගැවසෙන තැනක, වාහනෙකිං බැහැලා T56 වැනි ඕනෑම කෙනෙක්ට ඈත තියා අඳුන ගන්ඩ පුලුවං ගිනි අවියක් ( පිස්තෝලෙ නං දැක්කේ නෑ කියලා හිතමුකෝ) අරං ගිහිං තවත් වාහනෙක හිටපු දෙන්නෙකුට වෙඩි පිට වෙඩි තියලා , ආපු වාහනෙම නැඟලා යනකල් ඔය සිද්ධිය ඇහිං දුටුව කවුරු හරි 119 ටවත් කතා නොකර ඉඳියි කියලා හිතන්ඩ බෑ නේ?

ඒම තියෙද්දිත් කි.මී.100 කට වැඩි දුරක් කිසිම අවුලක් නැතුව ගිහිං, ආපු වාහනෙටත් ගිනි තියලා , අපරාධය ඔප්පු කරන්ඩ තිබ්බ වටිනාම සාක්ෂි තොගයක්ම විනාශ කරලා, ඝාතකයින් පලා ගිහිනුත් දවස් දෙක තුනකට පස්සේ, ඝාතකයින් සහ ඊට අනුබල දුන්නා කියන සෙට්ටෙකක් වරිං වර අත් අඩංගුවට ගනිමින් පොලිසිය කරන මේ මාධ්‍ය සංදර්ශනය ගැන මටනං මෙලෝ විස්සාසයක් නෑ.

දැං ඝාතකයා කියලා මොකෙක්ද එකෙක් අල්ලං , පොලිසිය මේ ඩ්‍රාමා එක පීක් එකටම ගෙනත් තියෙනවා.

පිටපතේ හැටියට, මෑන්ට කරන්දෙනිය සුද්දා කොන්තරාත්තුව භාර දුන් හැටි, ඊට පස්සේ ඒක සැලසුම් කරපු හැටි, ගේම දුන්න හැටි විතරක් නෙවෙයි, ඌ මීට කලිං කරපු වෙඩි තැබීම් බර ගානකිං මිනිස්සු 28 ක් ද, 48 ක් ද කොහෙද මරලා දැම්මයි කියලා පොලිසියට පාපොච්චාරනය කලා කියලා පත නිව්ස් යනවා.

මේවා බලන, අහන දකින ප්‍රේක්ෂකාගාරය සුරතාන්තයට පත් වෙනවා.

“අම්මපා මුං වාගේ එවුං උසාවි දාලා වැඩක් නෑ..ඔය කෝට හරි අරං ගිහිං ඔළුව කුඩු වෙන්ඩ තියලා දාන්ඩ ඕනෑ..!”

ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ජූරි සභාව තමන්ගේ ඒකමතික තීන්දුව ලබා දෙනවා.

නමුත් මේ හරහා මටනං හිතෙන්නේම මේම දේවල් ටිකක්.

01.මනුෂ්‍ය ඝාතන 48 ක් කලා කියන මේකාව ඒ ඝාතන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්ඩ මේ වෙනකල්ම පොලිසියට බැරි වුනේ ඇයි?

02.ඒ කියන අපරාධ නොවිසඳුණු අපරාධ ලෙස C 3 අක්ෂර ගත කර ඇති නඩුද? නැත්තං මේ කියන ඝාතකයා එළියේ ඉද්දී, ඝාතකයා යැයි සැක කරමින් , පදනමක් නැතුව වෙන කොහේ හරි ඉන්න අහිංසකයෙකුට එරෙහිව පවරා තාමත් පවත්වා ගෙන යන නඩු ද? එසේනම් ඒ නඩුවල සැකකරුවන් මුදා හැර, ඒ වෙනුවට මේ සැකකරු ඒ නඩුවල චූදිත වෙනුවට ආදේශ කරනවාද?

03.යම් නඩුවක සැකකරුවකු හෝ චූදිතයකු පොලිසියට කරන පාපොච්චාරන, නඩු විභාගයේදී කිසිම අයුරකින් එකී චූදිතට එරෙහිව සාක්ෂියක් ලෙස, ඉදිරිපත් කිරීමට කිසිම අධිකරණයක් අවසර නොදෙන බව සහ නඩු විභාගයේදී එවැනි සාක්ෂි අදාළ කර ගැනීම නොකල යුතු බවට සාක්ෂි ආඥා පනතේ 25(1) වගන්තියේ ප්‍රකාශිත විධි විධාන පවතිද්දීත්, චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කරන්නට බැරි මෙවැනි වාගාලාපයන් ජන මාධ්‍ය වෙත ලබා දීමෙන් පොලිසිය බලාපොරොත්තු වන්නේ මොකක්ද?

04.මේ ආකාරයෙන් පොලිසියට කරන පාපොච්චාරන නොව, යම් දිනක මහාධිකරණයක් හමුවේ මේ නඩුව විභාගයට ගත් විට , සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, දුරකථන විශ්ලේෂණ වාර්තා, අදාළ CCTV කැමරා දර්ශන, වැනි පරිවේශනීය සාක්ෂි හැරුණු කොට, ඉතා වැදගත් , ඉතාමත් සූක්ෂමව සහ අපරාධ සාක්ෂි නීතිය ගැන මනා පරිචයක් සහිතව පොලිසිය විසින් අනාවරණය කර ගත යුතු සාක්ෂියක් පොලිසිය විසින් තාමත් අනාවරණය කර ගෙන නැත.

එනම් අපරාධය සඳහා යොදා ගත් ගිනි අවි දෙකය.

සා.ආ.පනතේ 27(1) වගන්තිය යටතේ, සැකකරුවෙක් පොලිසියට කරන ප්‍රකකාශයකට අනුව , එකී අපරාධය සඳහා යොදා ගත් හෝ එකී නඩුවට අදාළ යම් කිසි භාණ්ඩයක් පොලිසිය විසින් අනාවරණය කර ගෙන, එය නඩු භාණ්ඩයක් ලෙස ලකුණු කර ඉදිරිපත් කිරීම නඩු විභාගයේදී වැදගත් සාක්ෂියකි.

නමුත් මේ වෙනකල් රැඳවුම් භාරයේ තියාන ප්‍රශ්න කරන වෙඩික්කරු මීට පෙර කරන ලද ඝාතන 28 ක් හෝ 48 ක් ගැන පොලිසියට පාපොච්චාරනය කරන තරමට පොලිසිය විශ්වාස කරන මට්ටමට පැමිණ ඇතත්, මා දන්නා විදියටනං මේ වෙනතෙක් ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය සඟවා ඇති තැන අනාවරණය කර නැත.

අර ගෝඨාභය රාජපක්ෂලාගේ පාලන කාලය නැවත සිහිපත් කරමින් කර ගෙන යන මේ පොලිස් විමර්ශනයේ අවසානය, ඇතැම් විට සැබෑ ඝාතකයා ලෙස දංගෙඩියට හිස තබන්නට බලාන, සැලසුම් සහගතව පොලිස් අත් අඩංගුවට පත්ව, ආයුධ පෙන්නන මුවාවෙන් එලිමානට ගෙන යන හිඟන්නෙක්ගේ හදිසි මරනයක් සමඟ අවසන් වනු ඇත.

නොඑසේ නම්, දීර්ඝ නඩු විභාගයකින් පසු මේ පොලිස් විමර්ශනයේ පැවති අඩුලුහුඩුකම් මත පදනම් වන , සැකයේ වාසිය චූදිතයින්ට ලබා දීමෙන් පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ඇත.

” සූද්දා එක්ක තිබ්බ සම්බන්ධේ ඉඳං , මේ ගේම විතරක් නෙවෙයි, ගේම් විස්සකට වඩා දුන්නයි කියලා පිලි ගත්ත එකා නිදහස් කලා.., අර වත්තකට පැනලා පොල් ගෙඩි දහයක් හොරකං කරපු එකා මාස තුනකට අච්චු කලා..”

” මොන xx උසාවිද ඕයි මේ?”

කියලා ඔය ප්‍රෙක්ෂකාගාරේ උන්න ඈයෝ එදාට නඩු කාරයින්ටයි, පොලිසියටයි, ඒ නඩුවලට හිටපු ලෝයර්ස්ලටයි දවස් ගානක් යනකල් අමතයි, එයාලට ස්වයංවින්දනයේ යෙදෙන්ඩ පුළුවං තව නාට්ටියක් වේදිකා ගත කරනකල්….

~ වසන්ත සිරි වටගොඩ