Life TV නඩුවෙන් ජය – හෙන්රි වර්ණකුලසූරිය

Date:

Life TV ප්‍රධාන විධායක නිලධාරී හා වැඩසටහන් අධ්‍යක්ෂ තනතුරෙන් කිසිදු හේතුවක් නොදක්වා වංචනික ලෙස මා ඉවත් කිරීමට එරෙහිව කම්කරු උසාවියේ මා පැවරූ නඩුවේ තීන්දුව වසර 5 ට පසු අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේ මුට්ටි ඇල්ලූ ආධුනික මේකප් කරන්නෙක් හැර මා බඳවා ගත් අනෙක් සියලු සේවකයින් මා සමඟම ඉවත් කළා.

මාධ්‍ය ආයතනයකට එරෙහිව උසාවි ගිය විට වෙනත් මාධ්‍ය ආයතනයක රැකියාවට බඳවා ගැනීමට පැකිළෙන මාෆියාවට බියෙන් අනෙක් අය පැමිණිලි කළේ නෑ. මා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඔවුන්ගේ උපදෙස් මත කම්කරු විනිශ්චය සභාවේද නඩු පැවරුවා.

නඩුවේ මට එරෙහිව අභූත චෝදනා නැගුවා.

  1. මා ඒ වන විට නිෂ්පාදනය කොට තිබූ වැඩසටහන් රැගෙන ගොස් ඇති බව.
  • උසාවියේ නියෝග මත පුතා කලාත් සමඟ ආයතනයට ගොස් කොම්පියුටර් පරීක්ෂා කළා.
    ඔවුන් කොම්පියුටරයේ hidden files ලෙස සඟවා තිබූ වැඩසටහන් සියල්ල කලාත් සොයාගෙන පෙන්වා ඒ අභූත චෝදනාවෙන් නිදහස් වුණා.
  1. මා ආයතනයේ වටිනා උපකරණ සොරාගත් බව
  • තර්කය වුණේ එසේ සොරාගත්තා නම් ඒ අවස්ථාවේ පොලිසියට පැමිණිලි නොකොට මා නඩු දැමූ පසු උසාවියට කියන්නේ මන්ද යන්නයි. උගත් විනිශ්චයකාරතුමිය ඒ චෝදනාව බාරගත්තේ නෑ.
  1. මා හිතු මනාපයේ ආයතනය වැසූ බව. (ගොං චෝදනාවක්. ඉතා උනන්දුවෙන් වැඩසටහන් නිර්මාණය කරමින් සිටි මා ආයතනය වහන්න මට මංඤ්ඤං යෑ.) විද්‍යුත් තැපෑල උසාවිය පිළිගන්නා නිසා ආයතනය වසා දමන බවට එවකට ලයිෆ් ටීවී අධ්‍යක්ෂ (සියල්ල පසුපස සිටි භ්‍රෂ්ටයා ) දොස්තරයෙකු වන D M ප්‍රියන්ත බංඩාර එවූ email පණිවිඩය පිළිගනිමින් උගත් විනිශ්චයකාරතුමිය ඒ චෝදනාවත් බාරගත්තේ නෑ.

මේ නඩුවෙන් මා ජයග්‍රහණය කළ අතර මගේ හිඟ වැටුප් ගෙවන්නට නියෝග කළා.

මා වන්දි මුදලක් ඉල්ලා තිබුණා නම් වන්දියක් ලබා ගන්නට ඉඩ තිබුණ බව තීන්දුවෙන් පැහැදිලි වුණා. ඒත් මගේ අරමුණ වුණේ වන්දි ගැනීම නොව සිදුවූ අසාධාරණයට, එනම් සේවකයින් හිතූ පරිදි දොට්ට දැමීමට එරෙහිව ආදර්ශවත් නඩු තීන්දුවක් ලබා ගැනීමයි.

ඒ සඳහා ඉතා මැනැවින් පැමිණිල්ල මෙහෙය වූයේ නීතිඥ ඔස්මන්ඩ් ජයරත්නයි.

විශේෂයෙන් සාධාරණත්වය, අයිතිවාසිකම් වෙනුවෙන් කෑ මොරදෙන මාධ්‍ය ආයතන තුළ සේවක දඩයම සිදුවන්නේ මුලින් කී මාෆියාවට බියෙන් සේවකයින් ඉදිරියට නොපැමිණෙන නිසයි. මීට පෙරත් මෙවන් තීන්දු කීපයක් ලැබී තිබෙනවා. (එක් උදාහරණයක් නම් මා නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කළ වී එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවෙන් දොට්ට දැමීමට එරෙහිව වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස සිටි වසන්ත දුග්ගන්නාරාල, ලංකා ටෙලෙවිෂන් නෙට්වර්ක් සමාගමට එරෙහිව පැවරූ නඩුවෙන් දුකා ජයග්‍රහණය කළා.)

මේ අවස්ථාවේ ලයිෆ් ටීවී ආයතනය වෙනුවෙන් මගේ ආරාධනයෙන් වැඩසටහන් ඉදිරිපත් කළ බුද්ධදාස විතානාරච්චි, කපිල එම්. ගමගේ, නදී වාසලමුදලිආරච්චි, මනෝරම වීරසිංහ මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කළ ජයන්ත අමරසිංහ හෘදයාංගම ලෙස සිහිපත් කරනවා.

එසේම මා වෙනුවෙන් සත්‍යය පැවසීමට උසාවියේ සාක්ෂි දීමට නොපැකිළව ඉදිරිපත් වූ එවකට ලයිෆ් ටීවී ජ්‍යෙෂ්ඨ සංස්කරණ ශිල්පී ඩිලාන් පෙරේරාට මගේ කෘතඥතාව පළ කරනවා. එසේම මා යටතේ නිෂ්පාදන, කැමරා, අංග රචනා අංශ වල කටයුතු කළ ශිල්පීන්ටත්, ලයිෆ් ටීවී එවකට logo නිර්මාණය කරමින් සජීවීකරණ භාරව කටයුතු කළ කලාත් වර්ණකුලසූරියටත්, පසුතල නිර්මාණයෙන් දායක වූ උදේනි සුබෝධ කුමාරටත් , අංගරචනා වෙනුවෙන් උපදෙස් දුන් නයන උජිත්ට හා වෙනත් ආයතනවල සේවය කරමින් විවිධ උදව් කළ මෙහි නම් සඳහන් නොකරන හිතවත් ශිල්පීන්ටත් ස්තූතියි. (සඳහන් කළ යුතු නම් මග හැරී ඇත්නම් කමන්න.)

මේ ඓතිහාසික නඩු තීන්දුවක්. අසාධාරණ ලෙස හිතුමතේ සේවකයින් දොට්ට දමන මාධ්‍ය ආයතන වලට එරෙහිවන්නට අසාධාරණයට ලක් වූ සියලු මාධ්‍ය සගයින්ට මේ තීන්දුව ශක්තියක් වේවා…අවුරුදු 5 ක් මා නඩු කිව්වේ ඒ ශක්තිය ලබා දෙන්නටයි.

ප.ලි. තවත් නඩුවක් ඇත. ඒ මගේ නොගෙවූ අර්ථසාධක මුදල් අයකරගැනීම වෙනුවෙන් කම්කරු කොමසාරිස් කාර්යාලය Life Television ආයතනයට එරෙහිව නඩු මගට බැස ඇති මා සහභාගි වීමට අවශ්‍ය නැති නඩුවයි. ඒ නඩුවට නොපැමිණෙමින් කට්ටි නොපැන ඒ ගෙවීම් සිදු කිරීමට ලයිෆ් ටීවී ආයතනයට ඥානය පහළ වේවා…! ඒකත් කෙලවර වන්නේ ජයග්‍රහණයෙන්මයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...