ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මියගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා – විදෙස් මාධ්‍ය පවසයි

0
3

ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා පළවෙමින් තිබේ.

ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කමේනිගේ මළසිරුර හමුවී ඇති බවකි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මීට පැයකට පමණ පෙර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කමේනි මියගොස් ඇති බවට ලකුණු වැඩිවෙමින් පවතින බවයි. ටෙහෙරාන් හි පිහිටි කමේනිගේ නිවාස පරිශ්‍රයට එල්ල කළ ප්‍රහාර පිළිබඳ අදහස් දක්වමින් නෙතන්යාහු පැවසුවේ “ඒකාධිපති නායකයා ජීවතුන් අතර නැති බවට වන ලකුණු වැඩි වෙමින් පවතිනවා” යනුවෙනි. කෙසේවෙතත් ඔහු එම මරණය තහවුරු කර තිබුණේ නැත.

එසේම අල් ජසීරා, CNN ඇතුළු තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් ද ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ කමේනි මියගොස් ඇති බවකි.

කෙසේවෙතත් ඉරාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිටුවල සඳහන් වන්නේ කමේනි ආරක්ෂිතව පසුවන බවකි. “සතුරා මානසික යුද්ධයකට යොමු වෙමින් සිටී, සියලු දෙනා දැනුවත් විය යුතුය” යනුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයේ මහජන සම්බන්ධතා ප්‍රධානියා සඳහන් කර ඇති බවත් ඔවුන් වාර්තා කර ඇත.